නිසල හද සසල කළ රෝස ආදරෙන් මතුවූ තරුව -නිසල හෙට්ටිආරච්චි

 



ආදරයට පැහැයක් නැත. ආදරය යනු මෙය යැයි නිර්වචනය කිරීමටද නොහැකිය. ආදරය හදවතේ ගැඹුරුම තැනකින් උපදිනවා යැයි නිතර අපට අසන්නට ලැබෙන සුන්දර කියමනකි. ආදරයට ලියැවුණු ගී පද වැල්, කවි සිතුවිලි බොහෝය. මිහිමත මැවුණු හොඳම ජීවියා වන මිනිසා මෙන්ම සතා සීපාවුන් පවා ආදරය බලාපොරොත්තු වෙති. ආදරයට සීමා මායිම් නැත.


2025 නව වසර උදාවී ගෙවී ඇත්තේ තවමත් දින ගණනකි. අලුත් වසරක් ආදරයකින් පටන් ගැනීමට ලැබීම කෙතරම් අපූරුද, සුන්දරද. ආදරයට පැහැයක් නොමැති වුවත් රෝස පැහැයෙන් ආදරයක් අපට වසර ආරම්භයේදීම හිමිවිය. ආදරයට ලියවුණු ගී වැල් පද වැල් සේම ආදරය පාදක කරගෙන තැනුණු සිනමා සිතුවම්ද බොහෝය. ශ්‍රී ලාංකික සිනමා ලෝලීන්ට අමුතුම ආකාරයක ආදරයක් රැගෙන පසුගියදා රෝස පැහැති ආදර කතාවක් සිනමා තිරය මත දිග හැරුණි. එය සිනමා සහ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද අතින් තැනුණු “රෝස ආදරේ” සිනමා සිතුවමයි.


සිංහල සිනමා අහසේ පායන තරු බොහෝය. සැමදා දිලෙන තරු ඇත. ඉක්මනින් නිවීයන තරු ඇත.


සිනමා අහස බබළවන්නට අලුතින් පෑයූ තරුවක් ඒ අතර වේ.එවැනි තරුවක් රෝස ආදරේ තුළින් අපට හමුවිය. බහතෝරන අවධියේ සිටම සිනමා තරුවක් වන්නට සිනමා අහස දෙස බලමින් සිහින මැවූ ඔහු නිසල හෙට්ටිආරච්චිය. ඔහුගේ එම සුන්දර සිහිනය අද සැබෑවක් වී ඇත. 2025 සිනමාව ආරම්භ වන්නේ රෝස ආදරේ සිනමා සිතුවමිනි.


මේ ආදරණීය චරිතය සරසවිය හමුවට පැමිණියේ තම සිහින ගමන සහ රෝස ආදරේ පිළිබඳ රසවත් තොරතුරු ඔබ හමුවේ තබන්නටය.


පුංචි කාලේ පටන්ද ඔබ කලාවට යොමු වුණේ ?


ඔව් පුංචි කාලේ ඉදන් තමයි. මම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ. මට මතකයි මම හතරේ පංතියේ ඉන්නකොට උදෑසන රැස්වීමේදී “පාන තියා බුදු සාදුට හිමිදිරියේ” කියන ගීතය කිව්වා. රඟපාමින් තමයි ඒ ගීතය කිව්වේ. අක්කා තමයි පුරුදු කළේ. සබකෝලයක් හිතේ තිබුණේ නැහැ. ප්‍රින්සිපල්ටත් තොප්පිය ඇල්ලුවා සල්ලි දාන්න. එදා මගේ ඉදිරිපත් කිරීම දැකල අපේ ඉස්කොලේ නාට්‍ය සහ රංගකලාව උගන්වපු අනෝමා විජේසිංහ ගුරුතුමිය මට කතා කළා. ඩ්‍රාමාවලට එන්න කියලා. ඉන් පසුව තමයි රඟපාන්න තිබූ ආසාව දෙගුණ තෙගුණ වුණේ. මම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක රියැලිටි වැඩසටහනකටත් සහභාගී වෙලා තියෙනවා පුංචි කාලේ. සිංදු කියන්න ගියේ. වට කිහිපයකින් පසුව මාව තරඟයෙන් ඉවත් වුණා. චූටි කාලේ ඉඳන් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටියා. මහේන්ද්‍ර පෙරේරා ඇතුළු ක්ෂේත්‍රයේ දැවන්තයින් කීපදෙනෙක්ගෙන්ම රඟපෑම හැදෑරුවා.


ඔඩිෂන් හතළිහකට විතර ගිහින් තියෙනවා. සුදර්ශී එකේ පෝලිම්වල ඉඳල තියෙනවා. මේ තැනට එන්න ආපු ගමන දුෂ්කරයි. ඒත් ඒ හැමදේම කළේ ආසාවෙන්. ඒ විදිහට ආපු දුෂ්කර ගමනේ විඩාව නැතිවුණා රෝස ආදරේ නිසා.


රෝස ආදරේ ඔබේ පළමු චිත්‍රපටයද ?


ඔව්. මේ මගේ කුලුඳුල් චිත්‍රපටය. ඒත් මීට කලින් මම ටෙලි නාට්‍යවල රඟපාල තියෙනවා.


කෙසේද ඔබට රෝස ආදරේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.


හර්ෂ උඩකන්ද මහතාගේ ” ලොක්කී” ටෙලි නාට්‍යයේ මම රඟපෑවා. ඒ ටෙලි නාට්‍යයේ සිංදුවක් තිබුණා. මම ඒකෙදී මගේ හැකියාව උපරිමයෙන් යොදවා රංගනයේ යෙදුණා. ඒ රූගත කිරීම් අවසන් වුණ ගමන්ම හර්ෂ උඩකන්ද මහතා මා ළඟට ඇවිත් කිව්වා ඔහුගේ ඊළඟ චිත්‍රපටයට මාව ගන්නවා කියලා. ලොක්කි නාට්‍යයේ කොටස් දෙසීයක් තිබුණා. එය අවසන් වුණ පසුව මට රෝස ආදරේ නිෂ්පාදක අශෝක ජයකොඩි මහතා මට කතා කළා. ඔහු මට මේ විදිහට කිව්වා.


“නිසල ඔයාට සුබ ආරංචියක් තියෙනවා කියන්න.


හර්ෂගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔයාව තෝරාගෙන තියෙනවා. දැන් ටෙලි නාට්‍ය කළා ඇති. සිනමා නළුවෙක් වෙන්නත් පුළුවන් ඔයාට. එහෙම ඇහුණාම මට පුදුමාකාර සතුටක් දැනුණේ.


ඔබට නළුවෙක් වෙන්න හීනයක් තිබුණාද ?


ඔව් ඇත්ත. නළුවෙක් වෙන්න පුදුමාකාර ආසාවක් තිබුණා. ඒක හීනයක්. පුංචි කාලේ ඉඳන් ආසයි සිනමාවට. ගොඩක් අය නළුවෝ වෙන්න උත්සාහ කරනවා. ඒත් සිනමා ක්ෂේත්‍රයට එන්න බොහෝම අමාරුයි. ඒ ගමන දුෂ්කරයි. ඒ නිසා මම මුලින්ම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒත් වැඩි කැමැත්ත තිබුණේ සිනමාවට. මම කවදාවත් කියන්නේ නැහැ මම නළුවෙක් වුණේ අහම්බෙන් කියලා. මම හිතාගෙන හිටියා පොඩි කාලේ ඉඳන් සිනමා නළුවෙක් වෙනව කියලා කවදා හරි. මම ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා. එහි ප්‍රතිඵලය තමයි අද භුක්ති විඳීන්නේ. මම සිනමාවේ රඟපානවා කියන එක මට මැජික් එකක් වගේ. තාමත් හීනයක් වගේ.


මම පුංචි කාලෙදී ෆිල්ම් එකක් ටීවී එකේ යනකොට හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා කියල අම්මා කියල තියෙනවා. ඒ අතරතුර වෙළෙඳ දැන්වීම් යනකොට අඬනවලු. ෆිල්ම් එක බලන්න නැති නිසා.


රෝස ආදරේ පිටපත ලැබුණාම හිතට දැනුණේ මොනවාද ?


පුදුමාකාර සතුටක් දැනුණේ. පිටපත අතට ලැබුණ වෙලාවේ ඒකට වැඳලා තමයි කියවන්න පටන් ගත්තේ. එක හුස්මට කියවගෙන කියවගෙන ගියා.


නාකොලොප්සි (නිද්‍රාලූව) යන රෝගයෙන් පෙළෙන තරුණයෙක් වටා ගෙතුණු කතාවක් කියවෙන්නේ. අනූජ් කියන තරුණයාගේ චරිතයට තමයි මම පණපොවන්නේ.


රෝගී තරුණයාගේ (අනූජ්) චරිතය කෙසේ විය යුතුද කියල ඔබ කලින් අධ්‍යයනය කළාද ?


ඔව්. මම නාකොලොප්සි රෝගය පිළිබඳ පවා සොයා බැලුවා. අනූජ් කියන චරිතයට මම රූගත කිරීම්වලට පෙර සිටම සූදානම් වුණා. හෝම්වර්ක් කළා කිව්වොත් නිවැරැදියි.


රූගත කිරීම්වලදීත් මම ඒ චරිතයට කිඳා බැහැලම කළා. මට ඕන වුණේ අනූජ් කියන චරිතය මිනිස්සුන්ට දැනෙන විදිහට කරන්න. ‍රඟපාන්න කලින් අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද සමඟ කතාබහ කළා චරිතය ගැන. චරිතයේ හැඩය කෙසේ වියයුතුද කියල.


හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂවරයාගේ ලැබුණ සහයෝගය කෙසේද ?


ලොකු සහයෝගයක් ලැබුණා. ඔහු තරුණ අධ්‍යක්ෂවරයෙක්. සිනමාවේ වෙනසක් කරන්න ආස කෙනෙක්. ඔහු අන් අයගේද අදහස්වලට ගරු කරමින් කටයුතු කරන කෙනෙක් විදිහට තමයි මම ඔහුව දකින්නේ. හැම වෙලාවෙම අනූජ් කියන චරිතය ගොඩනගා ගන්න මට උදව් කළා. ඒ නිසා මගේ මූඩ් එක හොඳීන් තියාගන්න මට පුළුවන් වුණා. ඔහු තුළ තිබෙන මා දුටු සුවිශේෂම ගතිගුණය තමයි කණ්ඩායමක් විදිහට කටයුතු කරන එක.


ඔබත් සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගෙන් ලැබුණ සහාය කොහොමද ?


රෝස ආදරෙන් තමයි මට ඇයව පළමු වතාවට මුණගැසෙන්නේ. දිනක්ෂි මට උපරිම සහයෝගය දුන්නා. කිසිම වෙලාවක ඇඟව්වේ නැහැ ඇය දක්ෂ ජනප්‍රිය නිළියක් කියන එක. හරිම සාමාන්‍ය විදිහට මමත් සමඟ වැඩ කළා. රූගත කිරීම්වලට පෙර සාකච්ඡා කරල තමයි අපි චරිතය අවතීර්ණ වුණේ.


ඒ වගේම තමයි දිල්හානි අක්කා ඇතුළු අනෙක් රංගන ශිල්පීන් සියලුම දෙනා මට සහයෝගය දුන්නා.


ඔබ මේ වනවිටත් ටෙලි නාට්‍ය තරුවක්. එහෙත් සිනමාවට නවකයෙක්. ඒ පිළිබඳ ඔබේ අදහස ?


ඔව්. මම පුංචි කාලේ ඉදන් රඟපාල තියෙනවා. කැමරාව මට හුරුයි. ඒත් සිනමාවේදී කැමරාව ඉදිරියට යනකොට මට අමුතුම හැඟීමක් දැනුණා. මම සබකෝලයක් තියෙන කෙනෙක් නෙවෙයි. මම හැමවෙලාවෙම හිතන දෙයක් තමයි මට දෙයක් කරන්න පුළුවන් කියන එක. ඒ නිසා ටෙලි නාට්‍යවල වගේම සිනමාවේත් කාටත් දැනෙන චරිතයක් වෙන්න තමයි මට අවශ්‍ය.


ඔබ රංගනයෙන් දායකවන ඉන්දියානු සිනමා නිර්මාණය ගැන දැනගන්නටත් ප්‍රේක්ෂකයන් කැමති වේවි. ඒ පිළිබඳ සඳහන් කරන්න පුළුවන් ද ?


ඔව්. ඒ ආරංචිය ඇත්ත. ඉන්දියාව, ශ්‍රී ලංකාව සම්බන්ධ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකේ වැඩ බොහෝ දුරට අවසන් වෙලා තියෙනවා. ආදරයත් මුසුවූ ඇක්ෂන් ෆිල්ම් එකක්. මහන්සි වෙලා කරපු වැඩක්. එහි රූගත කිරීම් කළේ සියයට අසූවක් ලංකාවේ සහ සියයට විස්සක් ඉන්දියාවේ. අවසන් රූගත කිරීම් තියෙන්නෙත් ඉන්දියාවේ. ළඟදීම ආයෙත් එහි වැඩ ආරම්භ වේවි.


රංගනයට අමතරව ඔබ දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක්. ඒ ගැනත් විස්තර කළොත් ?


ඔව්. මම කරාටේ ක්‍රීඩාවට දක්ෂයෙක්. ජාත්‍යන්තර ජයග්‍රහණය හිමිකරගෙන තියෙනවා. 2016 වසරේදී ආසියාතික කරාටේ ශූරතාවලියේ දෙවන ස්ථානය හිමිකර ගත්තා. 2017 දී ලෝක කරාටේ ශූරතාවලිය නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. නළුවෙක් වෙන්න මට ක්‍රීඩාවත් බලපාන්න ඇති කියල හිතනවා. චිත්‍රපටවල සටන් ජවනිකා කරද්දී මගේ ක්‍රීඩා දැනුමත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.


කලා කටයුතුවලට අමතරව ඔබ කිසියම් රැකියාවක නිරත වෙලා හිටියද?


රඟපාන අතරේම මම පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. පිරිමි ළමයෙක් වුණාම කිසියම් වැඩක නිරත වෙන්න ඕන. තමන්ටම කියල පොඩි හරි ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. ඒත් මම වැඩිපුරම ආස කලාවට. දැන් රංගනය වෙනුවෙන් තමයි කාලය යොදවන්නේ.


රෝස ආදරයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. මංගල දර්ශනය තිබුණ දවසේ සිට මේ දක්වා හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. එදා මංගල දර්ශනය තිබුණ දවසේ අපේ දක්ෂ ජනප්‍රිය නළුවෙක් වූ චන්න පෙරේරා අයියා වාඩිවෙලා හිටියෙ මා ළඟ. ෆිල්ම් එක ඉවර වුණ ගමන් ඔහු මට සුබ පතල මෙහෙම කිව්වා.


” මල්ලී මම බොරුවට නෙවෙයි මේ කියන්නේ. ඔයා දක්ෂ විදිහට රඟපාල තියෙනවා”


ඇත්තටම මට එහෙම අහද්දී හරිම සතුටුයි. එවැනි කෙනෙක්ගෙන් මට ලැබුණ ප්‍රතිචාර ගොඩක් වටිනවා. ඒ වගේම තමයි ඇවිත් හිටිය බොහෝ දෙනෙක් මට සුබ පැතුවා. මගේ රංගනය වෙනුවෙන්.


යම්කිසි කෙනෙක් සාර්ථකත්වය කරා යන ගමනේදී යහපත් මෙන්ම අයහපත් ප්‍රතිචාරත් ලැබෙන්න පුළුවන්. ඔබටත් එවැනි අත්දැකීම් තිබෙනවාද ?


මේ වනවිටත් මට යහපත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒත් මම එක අවස්ථාවකදී කියපු දෙයක් නිසා පිරිසක් වැරදි මතයක ඉන්න බව පේනවා.


මම පුරුද්දක් විදිහට අතේ කළු පටියක් බඳීනවා. මම මධ්‍යම පාන්තික කොල්ලෙක්. ඒ දේ පෙන්නුම් කිරීමක් තමයි කළු පටියෙන් නිරූපණය කෙරෙන්නේ. එය කාට හෝ විරෝධය පෑමට කරන දෙයක් නෙවෙයි.


එදා රෝස ආදරේ මංගල දර්ශනය දවසේ මම කියපු දෙයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. ඒ නිසා තමයි මම ගැන ඇතැම් අයගේ හිත්වල වැරදි මතයක් හටගෙන තියෙන්නේ. එදා මම ඇඳල හිටියේ ලස්සන ඇඳුමක්. මම කොහොමත් ලස්සනට අඳීන පලඳීන කොල්ලෙක්. එදා මම කිව්වෙ මෙන්න මෙහෙම දෙයක්.


” කොළඹ නගරයේ තිබෙන ලස්සන ලස්සන උස ගොඩනැගිලි අතරේ පුංචි පුංචි ගෙවල් ඒ පොළොවේ තිබෙනවා. මේ ලස්සන අඳුමෙන් ඒ උස් ගොඩනැගිලිත් කළු පටියෙන් ඒ පුංචි ගෙවල්වල ඉන්න පිරිසත් නියෝජනය කරනවා.”


ඒ කතාව මම කිව්වේ කාගැනවත් ද්වේෂයෙන් හෝ ඉරිසියාවෙන් නෙවෙයි. මම මධ්‍යම පාන්තික කොල්ලෙක් වුණාට මට පන්ති භේදයක් නැහැ. ඒ උස් ගොඩනැගිලිවල ඉන්නෙත් අපි වගේම මිනිස්සු.


මම කියපු කතාවේ ලොකු අරුතක් තියෙනවා. මගේ ගම කොල්ලුපිටිය. එය කොළඹට තදාසන්න නාගරික ප්‍රදේශයක් කියල කවුරුත් දන්නවා. ඈත ඉඳන් කොළඹ නගරය දිහා බලන විට පේන්නේ හරි ලස්සනට. නවීකරණය වූ උස් ගොඩනැගිලි නිසා. ඒත් ඒ මහපොළොවේ තිබෙනවා පුංචි නිවාසත්. ඒ පුංචි ගෙවල්වල ඉන්න අයටත් ලොකු හීන තියෙනවා. මාත් එක්ක හිටපු සමහර යාළුවො හිතාගෙන හිටියා කවදා හරි ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක නියෝජනය කරන්න. එහි නායකයා වෙන්න. සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙක් වන ලයනල් මෙසී එක්ක එකට සෙල්ලම් කරන්න. මගේ හීනය වුණේ ලංකාවේ දක්ෂ ජනප්‍රිය සිනමා නළුවෙක් වෙන්න. ඒ හීනය සැබෑ කරගන්න මම ආපු ගමන දුෂ්කරයි. ඒ වගේ හීන අර පුංචි ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට තියෙනවා. ඉතින් ඒ කොළඹ නගරය ඈතින් පේනකොට සුරපුරයක් වුවත් එහි පුංචි නිවාස වලින් පිරීගිය ජනාවාස පරිසරයකුත් තියෙනවා. ඒත් බැලූ බැල්මට ඒව පේන්නේ නැහැ. ඒක හරියට මහමුහුදේ පතුලේ සැඟවුණු මුතු වගේ. මතුපිටින් අපිට ලස්සනට මුහුද පෙනුණට මුහුදු පතුලේ තියෙන ලස්සන, වටිනාකම පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඒ ජනාවාස පරිසරයත්. ඒ පරිසරයේත් ඉන්නවා ලෝකය දිනන්න පුළුවන් කොල්ලො කෙල්ලෝ. වටිනා චරිත ඉන්න පුළුවන් . අන්න ඒ අය වෙනුවෙන් තමයි මම එදා මගේ හඬ අවදි කළේ.


හැබැයි එදා මම හිටපු තත්වයත් සමඟ මගේ කතාව වේගවත් වෙන්න ඇති . ඒ නිසා වෙන්න ඇති මම ගැන වැරදි මතයක් ගොඩනැගෙන්න ඇත්තේ. එදා මම හිටියෙ කලබලෙන්. මට සුබ පතන්න, මාත් එක්ක කතා කරන්න ගොඩක් අය බලාගෙන හිටියා. ඒ නිසා මගේ කතාව වේගවත් වුණා. මගේ හිතේ තිබුණ සතුටත්, මගේ හීනය සැබෑ වුණා නේද කියන හැඟීමත් එක්ක මගේ හඬත් වෙනස් වෙන්න ඇති. කොහොම වුණත් අදටත් මම එදා හිටපු සරල, සාමාන්‍ය කොල්ලම තමයි.


යම් පිරිසක් අතරේ ඔබ ගැන කුමන මතයක් ගොඩනැගී තිබුණත් , ඔබට ආදරය කරන පිරිස වැඩියි. ඒ අයට කුමක්ද කියන්න තියෙන්නේ.


කෙනෙක් කියන දේ සියයට සියයක් නිවැරැදියි කියල හැමෝම පිළිගන්නේ නැහැ. ඒක මටත් අදාළයි .උදාහරණයක් විදිහට ගත්තොත් විවිධ ආගමික මත දරන අය තමයි ලෝකේ ජීවත් වෙන්නේ. එකම ආගමික මත දරන අය පමණක් ලෝකේ ජීවත් වෙනවානම් විවිධ ආගම් වලට බෙදීමක් වෙන්නේ නැහැනේ. ඔක්කොම එකම මතයක් දරනවා නම් මේ ලෝකේ තිබිය යුත්තේ එකම ආගමක් පමණයි. ඒ නිසා මිනිස්සුන්ට විවිධ මත විවිධ අදහස් දරන්න පුළුවන්.


මම ගැන කොහොම හිතාගෙන හිටියත් මට ආදරය කරන රසිකයන්, ප්‍රේක්ෂකයන්, නැදෑ හිතමිතුරන් මා සමඟ ඉන්නවා. කාලයත් සමඟ වැරදි මත දුරුවේවි. මම යන ගමන සීරුවට මම යනවා.


මම මගේ ප්‍රේක්ෂකයන්ට ආදරෙන් කියන්නේ මගේ නිර්මාණ නරඹන්න. විශේෂයෙන් රෝස ආදරේ නරඹන්න. මට ඔබගේ ප්‍රතිචාර ලබා දෙන්න. මම කාටත් එක වගේ ආදරය කරන කොල්ලෙක්.


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද ?


මට එකම එක හීනයක් තියෙනවා. කවදා හරි සිංහල සිනමාව ලෝකයට හුරු කරන එක. ඒක තමයි මගේ ලොකුම හීනය සහ බලාපොරොත්තුව.


අපේ සිංහල භාෂාව තේරුම් ගනිමින් අපේ සිංහල චිත්‍රපට ලෝකවාසී සිනමා ලෝලීන්ට නරඹන්නට හුරු කරන්න පුළුවන් නම්. අන්න ඒ කටයුත්ත කිරීමේ පුරෝගාමියා මම වෙන්න හීන දකිනවා. මම මේ ගමන කොහොම හරි ආව වගේ ඒ දේ කරන්නත් උපරිමයෙන් කැපවෙනවා.


මම අහල තියෙනවා අපේ සිංහල සිනමාව තමයි ශීඝ්‍රයෙන් දියුණු වූ සිනමාව කියල. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ගැන අපි කවුරුත් කතා කරන්නේ හරි ආඩම්බරයකින්.


ඒත් අද එහෙම තත්වයක් නැහැ. වර්තමානයේ කතා කරන්නේ සිනමාශාලා අඩුකම, ප්‍රේක්ෂකාගරයක් නැතිකම වගේ යල්පැන ගිය දේවල් ගැන.


එහෙම දෙයක් නැහැ. වර්තමානයේ දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන් නිතරම යාවත්කාලීන වෙනවා. දක්ෂ තරුණ නිර්මාණකරුවන් ඉන්නවා. රංගන ශිල්පියෙක් විදිහට, සිංහල සිනමාවට ආදරය කරන කොල්ලෙක් විදිහට සිංහල චිත්‍රපට ලෝකයම බලන තැනකට පත්කරන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා.


ඔබේ පවුලේ විස්තර ?


අම්මා, තාත්තා, අක්කා සහ මම තමයි පවුලේ ඉන්නේ. එයාල ඔක්කොම උදව් කරනවා මට. මගේ පවුලේ සියලුම දෙනා සිනමා රසිකයෝ. මගේ අම්මා තාත්තා, සිනමාවේ දැවැන්තයන් වූ ගාමිණි ෆොන්සේකාගේ විජය කුමාරතුංගේ හොඳම රසිකයන්.


මගේ අම්මා ශ්‍රීමතී පෙරේරා. ඇය උතුර දකුණ ෆිල්ම් එකේ ගාමිණී ෆොන්සේකා මහත්මයා සමඟ පුංචි චරිතයක් රඟපාල තියෙනවා. තාත්තා රෝහණ හෙට්ටිආරච්චි. ඔහු ඉතාමත් ප්‍රිය කරනවා සහ ආදරය කරනවා සිංහල සිනමාවට. අක්කාත් ලොකු සහයක් දෙනවා මගේ ගමනට. ඒ වගේම එයා මට ගොඩාක් ආදරෙයි.


ආදරය ඔබටත් දැනෙනවාද ?


ඇයි නැත්තේ. ආදරය අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. මටත් සුන්දර ආදර කතා තිබුණා. ඒත් මම ජීවිතයේ පළමුතැන දුන්නේ රංගනයට.ඒ නිසා මගේ ආදර කතාවලට තිත තියන්න සිදුවුණා. ආදරය විඳීන ගමන් රංගනය කරන්න අමාරුයි.ආදරය කරනවානම් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ආදරය දෙන කෙනා වෙනුවෙන් කාලය වෙන්කරන්න ඕන. ඒ නිසා දැන් මම ආදරය කරන්නේ රංගනයට පමණයි.


රෝස ආදරේ වෙනුවෙන් මොනවා ද කියන්න තියෙන්නේ ?


ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නේ ගිහින් බලන්න රෝස ආදරේ. මගේ රංගනයේ හොඳ වගේම වැරදිත් පෙන්වා දෙන්න. ලස්සන ආදර කතාවක් තමයි රෝස් ආදරේ. ඒ වගේම රෝස ආදරේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද මහතාට, නිෂ්පාදක අශෝක ජයකොඩි මහතාට සහ රෝස ආදරේට සම්බන්ධ වූ සෑම දෙනාවම ආදරයෙන් මතක් කරනවා. රෝස ආදරේ තමයි මගේ ජීවිතයේ ලැබුණ ලොකුම තෑග්ග.


දුෂ්කර ගමනක නිමාවෙන් පසු සැබෑ කරගත් සුන්දර සිහිනය සමඟ සිනාසෙන මේ අපූරු තරුණයා සිංහල සිනමාවේ බැබළෙන තරුවක් වනුඇත. ඔහු තුළ සිනමාවට ඇති අසීමිත ආදරය, ඒ වෙනුවෙන් කරන කැපකිරීම, බලාපොරොත්තු ඔහුව ඉහළට ඔසවා තබනු ඇත.




Previous Post Next Post