මගේ ජීවිතේ තීරණ ගැනීමේ අයිතිය දීල තියෙන්නේ මට විතරයි - උමා අසෙනි

 


ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම ගී පද රචිකාවියක් ලෙස ද ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා ගන්නට සමත් වී සිටින්නීය. සණුක වික්‍රමසිංහ ගයන ‘පෙර වදනක්’ ගීතය මෙන්ම නදිමාල් පෙරේරා ගයන ‘නුරා වසන්තේ’ ගීතය ඇය අතින් ලියවුණු ජනප්‍රියම ගී පද රචනාය. උමා අසෙනි කී පමණින් ඕනෑම අයකු හඳුනන ඇය හොඳ සමාජ දැනුමකින් යුතු සෘජුව අදහස් ප්‍රකාශ කරන තරුණියක් ලෙස ද ජනප්‍රිය චරිතයකි. මේ දිනවල ඩෙල්ෆ් දූපතේ රූගත කෙරෙන ලලිත් රත්නායකගේ නවතම ටෙලි නිර්මාණයට සම්බන්ධ වී සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.


උමා අසෙනි කියන්නෙ මේ වෙද්දි ගොඩක් කාර්යබහුල චරිතයක් නේද?


ඔව්. මේ දවස්වල ඩෙල්ෆ් දූපතේ රූගත කිරීමක ඉන්නේ. ඒත් එක්කම තවත් අලුත් ෆිල්ම්ස් දෙකකට කතා කරලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ චිත්‍රපටයේ ඉතිරි රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නත් තියෙනවා. ලක්මාල් ධර්මවර්ධනගේ කූඹියෝ 2 ඉක්මනින්ම රූගත කිරීම ඇරැඹේවි. මේ සියල්ල එක්ක ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා.


මේ දවස්වල ඔබ ඩෙල්ෆ්වල ලබන අත්දැකීම කොහොමද?


ලලිත් රත්නායකගේ අලුත්ම ටෙලි නිර්මාණය සම්පූර්ණයෙන්ම රූගත කෙරෙන්නේ ඩෙල්ෆ් දූපතේ. මියුසික්වලට කැමති තරුණයින් තුන්දෙනෙක් සහ තරුණියක් ඩෙල්ෆ් දූපතේ ගත කරන කාලය තුළ ඔවුන් අත්දකින සිදුවීම් ඇසුරින් නිර්මාණය වෙන කතාවක්. ඒක මට වෙනස්ම අත්දැකීමක් වුණා.


‘ලලයි ලිලයි ලයි’ වගේ හාස්‍ය උපදවන ටෙලි නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


මාණික්කා වත ටෙලි නිර්මාණයෙන් පස්සේ මට දිගටම ලැබුණේ එකම වගේ චරිත. ඒකෙන් මිදෙන්නත් මට ලොකු ඕනකමක් තිබුණා. ඒ නිසාමයි මං ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නිර්මාණයේ තනුෂ්කාගේ චරිතය භාර ගත්තේ. ඒක බ්ලැක් කමඩි ශාරනයේ එකක්. අපි හිතුවෙවත් නැති විදිහට ඒකෙ හැම චරිතයක්ම මිනිස්සු ආදරෙන් වැලඳ ගත්තා.


ඔබේ ක්ෂේත්‍රයට පිවිසීම සිදු වෙන්නේ වේදිකාව හරහා. ඒ ආ ගමන් මඟ සිහිපත් කළොත්?


මම රංගනයට පිවිසෙන්නේ විශ්වවිද්‍යාල වේදිකාව හරහා. 2013 වසරේ අන්තර් විශ්වවිද්‍යාල නාට්‍ය තරගයෙන් කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් හොඳම නිළිය ලෙස සම්මානිත වුණා. කොළඹ විශ්වවිද්‍යාලය වසර 13කට පස්සේ එවන් ජයග්‍රහණයක් ලැබීමත් එදා විශේෂත්වයක් වුණා. ඊට පස්සේ තමයි මට රංගනය ගැන ආසාවක් ඇති වුණේ. තිළිණ බොරලැස්සගේ ‘අවි කඳුළු’ ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නේ මගේ පළමුවැනි ටෙලි අත්දැකීම විදිහට. ඊට පස්සේ මේනක රාජපක්ෂගේ ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණා. ඊටත් පස්සේ සම්බන්ධ වුණු ‘මාණික්කා වත’ ටෙලි නිර්මාණයේ චරිතය සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම නැඟී එන නිළියට නිර්දේශ වෙද්දි රයිගම් ටෙලීස්වල හොඳම නිළියට නිර්දේශ වුණා.


ඔබ ගී පද රචනයේත් දක්ෂයි. ඔබේ පද පෙළක් මුලින්ම ජනප්‍රිය ගීතයක් බවට පත්වුණු විදිහ මතකද?


මගේ සීයා කවියෙක්. ඒ නිසා මටත් පොඩි කාලෙ ඉඳන්ම ලිවීමේ හැකියාව තිබුණා. පුංචි කාලෙ ඉඳන්ම මං මගේ හැඟීම් වචන බවට පත්කරන්න පුරුදු වෙලා හිටියා. සණුක වික්‍රමසිංහ ගායනා කරන ‘පෙර වදනක්’ ගීතය බිහිවෙන්නේ මගේම අත්දැකීමක් ඇසුරින් ලියවුණු පද පෙළකින්. සණුක ඒකට මෙලඩියක් දාලා ගායනා කළා. ඒ වගේම නදිමාල් පෙරේරා ගායනා කරන ‘නුරා වසන්තේ’ නිර්මාණය වෙන්නෙත් මගේ යාළුවෙක්ගේ අත්දැකීමකින්. මගේ අතින් ගීතයක් ලියවෙන්න සෑහෙන කාලයක් යනවා. එක වචනයක් හරි ගැළපෙන්නෙ නෑ කියල දැනුණොත් මං ඒකට ගැළපෙන හරිම වචනය එනකන් අවුරුදු ගාණක් වුණත් බලන් ඉන්නවා. සණුකගෙ ඊළඟට රිලීස් වෙන්න තියෙන ගීතයත් ඒ වගේ ලියවුණු එකක්. මේ වෙද්දි ගීත 21ක් විතර කරලා තියෙනවා. තවත් ගීත 10ක් විතර එන්නත් තියෙනවා.


උමා අසෙනි කියන්නේ ස්වාධීනව තීරණ ගන්න කෙනෙක් විදිහට ජනප්‍රියයි. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඒ හැකියාව මට ලැබෙන්නේ මගේ තාත්තාගෙන්. ඔහු තමයි මගේ ලෝකේ එකම වීරයා. ඔහු නොහිටින්න මමත් නෑ. අම්මටත් මං උපරිමයෙන්ම ආදරෙයි. “ඔයා ගෑනු ළමයෙක් වුණ පළියටම කසාද බඳින්න ඕන නෑ. ඔයාට ලෝකෙ වටේ යන්න හිතුණොත් ඔයා ඒක කරන්න. හැබැයි හොඳට ඉගෙන ගන්න. සාධාරණව හම්බ කරන්න” කියන එක විතරයි තාත්තා මට කිව්වේ.


උමා අසෙනි කියන්නේ හැමදේම ධනාත්මකව දකින්න කැමැති කෙනෙක් ?


ඇත්තටම ඔව්. මං විශ්වය විශ්වාස කරන කෙනෙක්. විශ්වයෙන් මට ගොඩක් දේවල් ලැබිල තියෙනවා. මම දකින විදිහට විශ්වයෙන් අපිට හැම වෙලේම ලැබෙන්නේ පොසිටිව් දේවල්. ඒව නෙගටිව් කර ගන්න එක අපි කර ගන්න දෙයක්. ඒ නිසා අපිට සිද්ධ වෙන හැමදේම පොසිටිව් පැත්තට පෙරළගන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. එකම දේ අපි හිතන විදිහ වෙනස් කර ගන්න එක විතරයි.


ගැහැනියක් ස්වාධීන විය යුතුයි කියන තැන ඉන්න ඔබ, විවාහය දකින්නේ කොහොමද?


මම මේ මොහොතෙ ජීවත් වෙන කෙනෙක්. මගේ පෞද්ගලික හැඟීමකට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය නෑ කියලයි මට මේ මොහොතෙ හිතෙන්නේ. කොහොමත් මම මගේ ජීවිතේ තීරණ ගැනීමේ අයිතිය දීල තියෙන්නේ මට විතරයි. වෙන කිසිම කෙනෙකුට පවරලා නෑ. ඇයි අපි වෙන කෙනෙක් මත යැපෙන්නේ. මනුස්සයෝ විදිහට ජීවිතේ ෂෙයාර් කර ගන්න සම්බන්ධතා අවශ්‍යයි තමයි. ඒත් ලංකාවේ විවාහය ඇතුළේ අපි බලාපොරොත්තු වෙන්නේ සැමියා අපිව බලාගනීවි කියලා. හදිසියේ සැමියා නැති වුණොත් ගැහැනිය ඔහු මත්තේම සිටිය යුතුයි කියන තැන තමයි තාමත් සමාජය ඉන්නේ. සැමියා නැතිවීම ඇය භාණ්ඩයක් විදිහට පාවිච්චි කරන්න ලැබුණු ලයිසන් එකක් කියලත් සමහරු හිතනවා. අන්න ඒ සියල්ලටම පිළිතුරු තියෙන්නේ ගැහැනියක් ස්වාධීන වීම තුළ විතරයි කියලයි මං හිතන්නේ.


 නාමලී ගමගේ



Previous Post Next Post