නිහඬ ගමනක යෙදෙමින් තමන් දායක වූ ඇඟිලි ගණනකින් මිනිය හැකි කලා නිර්මාණ තුළින් සිය ප්‍රේක්ෂක රසිකයන් ආකර්ෂණය කර ගැනීමට තරම් දක්ෂ රංගන ශිල්පියෙක්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හා සුහද කතාබහකට යොමු වෙනවා. ඔහුගේ කණ්ඩායම මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දහයකට හිමිකම් කියනවා. ඔහු නමින් ප්‍රදීප් රාමවික්‍රම.
ප්‍රදීප් මොනවද 2025 ආරම්භයත් එක්ක අලුත් වැඩ කටයුතු?
2025 කියන්නෙ මම, මම වෙනුවෙන් වැඩ කරන්න ආරම්භ කරන කාලයක් කියල කියන්න පුළුවන්. මම ටිකක් තෝරා බේරාගෙන රංගනය කරන කෙනෙක්. මේ අවුරුද්දෙත් චිත්‍රපටි දෙකකට සහ ටෙලි නාට්‍යකට කැමැත්ත දීලා තියෙනවා. ඒ අතරේ වේදිකා නාට්‍ය කිහිපයක රංග වින්‍යාසය සිදු කිරීමට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මගේ ප්‍රධානම අධ්‍යයන කාර්යයක් වන අභිරූපණ විෂය සම්බන්ධයෙන් අලුත් වැඩක් කිරීමට සූදානමින් ඉන්නවා.
මොකක්ද මේ 2025දී අලුත් වැඩේ?
MIME WITH MAIMA 2025 කියන මගේ MAIMA PRODUCTION ටීම් එකෙන් අභිරූපණය එහෙම නැත්තන් මයිමින්වලින් කරන්න යන නිෂ්පාදනයකට සූදානම් වෙන එක සහ අභිරූපණය අධ්‍යයනය කරන්න කැමති සහ දක්ෂ පිරිසක් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙනවා.
ඔබට කොහොමද මෙහෙම දෙයක් කරන්න අදහසක් එන්නෙ?
අභිරූපණ රංග කලාව කියන්නෙ ලෝකයේ ලොකු වපසරියක් තියෙන කලාවක්. ඒත් අපි තාම මයිමින් එහෙන් මෙහෙන් අල්ලගෙන ටිකක් කරනවා මිසක් ඒ ආර්ට් එක හරියටම තාම මෙහෙට ගෙනත් නෑ. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්නත් කලින් සිට රංගනය, අධ්‍යක්ෂණය ගැන වගේම අභිරූපණය ගැනත් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. විශේෂයෙන් මම ඉන්දියාව සිංගප්පූරුව වගේ රටවලට ගිහින් අභිරූපණය ගැන ඉගෙනගෙන ආවා. 2012 මම Recipe කියල දිගු අභිරූපණ නාට්‍ය නිෂ්පාදනයක් සාර්ථකව සිදු කළා.
අපේ රටේ එවැනි දිගු අභිරූපණ නාට්‍ය නිෂ්පාදන සිදු වෙනවා හරිම අඩුයි සහ ප්‍රේක්ෂකාගාරය රඳවා ගන්නා ආකාරයට සිදු කරන්න අමාරුයි. විශේෂයෙන්ම දැන් බොහෝ පිරිසක් රංගන ක්ෂේත්රයට පැමිණීමට උත්සහ කරනවා. නමුත් අධ්‍යයනය කරල පැමිණෙන පිරිස හරිම අඩුයි. අධ්‍යයනය තුළින් රංගනයට අවතීර්ණ වෙන අයට අභිරූපණය අධ්‍යයනය කිරීම ඉතා වටින එකක්. රංගනයේ සියුම් නිරූපණයන් සඳහා අභිරුපණය අධ්‍යයනය විශාල පිටිවහලක්.
ඒ වගේම තමා සෑම කලාවක්ම ලෝකයේ යාවත්කාලින වෙනවා සහ ඒ ඒ රටවල කලා ශිල්පීන් කලා මාධ්‍යයන් ඒ ඒ අයගේ සංස්කෘතීන් හා ඒ ඒ අනන්‍යතාවන්ට ගොනු කිරීමට හැකියාවක් ඇත් දැයි අත්හදා බැලීම් කරනවා. ඒකෙන් කලාව සෑම කාලයකම නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා. මට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා මේ අභිරූපණ කලාව අපේ දේශීය අනන්‍යතාවයක් එක්ක නිෂ්පාදනයක් සිදු කරල ලෝකෙටම අපේ දෙයක් ගෙනියන්න.
මේ MIME WITH MAIMA කියන නම කොහොමද හැදෙන්නෙ?
මයිම් කියන්නෙ අභිරූපණය කරනවා කියන අදහස සහ මයිමා කියන නම එන්නෙ මගේ විශ්වවිද්‍යාලයෙන්. විශ්වවිද්‍යාලයෙන් ලැබෙනවනෙ කාර්ඩ් එකක්. මට ලැබුණෙ “මයිමා” කියන අන්වර්ථ නම. මම කැම්පස් එනකොටත් අභිරූපණයට විශාල කැමැත්තක් සහ නිතර නිතර ඒ පුහුණුවීම් නිසාම ඒ නම මට වැටුණේ. අදටත් ගොඩක් අය මාව දන්නෙ ප්‍රදීප් කියනවට වඩා මයිමා කියන නමින්.
MIME WITH MAIMA 2025 ආරම්භයට සූදානම කොහොමද?
තාම ප්‍රචාරණ කටයුතු පමණයි සිදුවන්නෙ. පෙබරවාරි මුල සිට අධ්‍යයන කාර්ය ආරම්භ කිරීමට සූදානම් සහ අප වටා පිරිසක් එකතු වෙමින් සිටිනවා විෂයය අධ්‍යනය සඳහා. කාටහරි මේ පිළිබඳව අධ්‍යයනයට උනන්දුවක් තියෙනවා නම් 0701344886 Whatsapp අංකයට පණිවිඩයක් එවලා වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.
මේ වසරේ ඔබේ රංගනය සහ අධ්‍යක්ෂණය පැත්තෙන් වැඩ කටයුතු කොහොමද?
ඔව් මේ වසරේ මම රංගනය වගේම මගේම ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානමින් ඉන්නවා. ඒකෙ වැඩ කටයුතුත් කරමින් ඉන්නෙ. ඒ ගැන ලොකුවට විස්තරයක් කියන්න අමාරුයි. හේතුව දැනට ඒක හෙමින් සීරුවේ කරන වැඩක්.
කොහොමද මේ ක්ෂේත්රයේ වැඩ කරද්දි තියෙන තරගය සහ බාධක?
මං හිතන්නෙම කලාකාරයෝ අතර තරගයක් තියෙන්න බෑ. කලාකාරයා හෝ ශිල්පියා කියන්නෙම නිරන්තරයෙන් සංවේදී මනුස්සයෙක්. හැමෝම අලුත් දේවල් අපේ ඕඩියන්ස් එකට දෙන්න ඕනි. මම දැනන් හිටියෙ නෑ මට තරගයක් තියෙන, අධ්‍යක්ෂණයෙන් කවුරු හරි මාව පහුකරන් යනවද, මගෙ කකුලෙන් අදිනවද කියල. මම ගියේ ඉදිරිය බලාගෙන ඉදිරියටම විතරයි. පහුගිය කාලසීමාවේ මගෙ ඉදිරියත් වැහිලා යන තරම් අඳුරු ආවරණ ආවා. ඒ ගල් මුල් නින්දා අපහාස කෙනෙහිලිකම් එක්ක. හැබැයි ඒවා තමයි මට මඟ හැරිලා තිබුණ දේවල් ආයෙත් මතක් කරල මං වෙනුවෙන් හිටගන්න මට හයියක් දුන්නෙ. එතකම්ම මම ප්‍රමුඛස්ථානය දුන්නෙ අවට ලෝකයට විතරයි.
පහුගිය කාල සීමාවේ ක්ෂේත්රයේ කරපු කලා කටයුතු පිළිබඳ සෑහීමකට පත්වෙනවද?
අනිවාර්යයෙන්ම මම පහුගිය කාලෙ වැඩිපුරම කළේ රංගනයටත් වඩා ඉගැන්වීම් කටයුතු. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් විදියට ඉගැන්වීම් කටයුතු කරනවා. පහුගිය කාලයේ ප්‍රසන්න ජයකොඩි මහතාගේ අධ්‍යක්ෂණයෙන් “එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යයේ මම කරපු රංගනය සඳහා රයිගම් ටෙලි සම්මාන උලෙළේ ජූරීයේ විශේෂ සම්මානයක් ලබා ගැනීමට මට හැකි වුණා. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා මගේ ගුරුවරයා සමඟ MP Actor’s Studio එකේ මම ඉගැන්වීම් කටයුතු කළා. එහිදී මට කණ්ඩායම් කිහිපයක් සමඟ වැඩ කිරීමට සහ එහි මගේ සිසුන් වෙනුවෙන් සහ ආයතනය වෙනුවෙන් විශාල ජයග්‍රහණ රාශියක් ගෙන දෙන්නට මට හැකියාවක් ලැබුණා. විශේෂයෙන් මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ “මිලිටරි ඩිලිවරි” නම් කෙටි නාට්‍ය නිෂ්පාදනයටත් “රස්නා පෙර නිමිත්තක්” දිගු නාට්‍ය නිෂ්පාදනයටත් සම්මාන දහයක් ලබා ගැනීමට හැකි වුණා.
කොහොමද ඔබේ මේ වැඩකටයුතුවලට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය?
මගේ බිරිඳ උදයංගනී. එයා වැඩ කරන්නෙ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ. මට දැන් අවුරුද්දක සුරතල් දියණියක් ඉන්නවා. එයා ස්කයිලා රාමවික්‍රම. මගේ ජිවිතයේ පළවෙනි තැන මම දෙන්නෙ මගේ පවුලට. එතැනින් එහාට තමා ඉතිරි හැමදේම. ඒත් සමහර තැන්වලදි මගේ කාර්යබහුලත්වයත් එක්ක යම් යම් අඩුපාඩු වෙත්දි බිරිඳ ඒවා නිරාකරණය කර මගේ ගමනට විශාල සහයෝගයක් දෙනවා. මට මාව අමතක වෙන තැන් වලදි එයා තමයි මාව හරි පාරට යොමු කරන්නෙ.
යසන්තා ගේබ්‍රියල්