මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබමින් සාර්ථකව තිරගත වන ‘රෝස ආදරේ’ සිනමාපටය දක්ෂ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ හර්ෂ උඩකන්දගේ නවතම සිනමා නිර්මාණයයි. සේද මාවතේ, ෆේස් ටු ෆේස්, ගෝරි, කබඩි මෙන්ම හාස්‍ය රසයෙන් යුත් උලත් එකයි පිළත් එකයි, කොළඹ සන්නිය රිටන්ස් වැනි සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ ඔහු ලොක්කී, ලොක්කී 2 මෙන්ම මේ දිනවල විකාශය වන ප්‍රාර්ථනා ටෙලි නිර්මාණය ඔස්සේ ද ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටියි. ඔහුගේ ගමනට දිරිය දෙමින් සෙවණැල්ල මෙන් ළඟ හිඳින ආදරණීය බිරිය ශලිනි ප්‍රනාන්දු ද ඔබ හොඳින් දන්නා නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියකි. රෝස ආදරේ සිනමාපටයත් සමඟ මේ දිනවල ගෙවෙන ඔවුන්ගේ ජීවිතේ රසමුසු තැන් කතා කරන්නට අද අපි ඔවුන් අපේ කතාබහට එක්කර ගත්තෙමු. රෝස ආදරේ සිනමාපටය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගැනීමේ සතුට භුක්ති විඳින අධ්යක්ෂ හර්ෂ උඩකන්ද පළමුව අප හා අදහස් බෙදාගත්තේය.
හර්ෂ උඩකන්ද කියන්නේ මේ දිනවල අතිශයින් කාර්යබහුල චරිතයක් නේද?
ඇත්තටම ඔව්. රෝස ආදරේ චිත්‍රපටය පසුගියදා රිලීස් වුණා. ඒකෙ ප්රචාරක කටයුතු වගේම ප්‍රාර්ථනා ටෙලි නිර්මාණයේ රූගත කිරීම් සිදු වෙනවා. ඒත් එක්කම තවත් අලුත් නිර්මාණ කිහිපයකට සූදානම් වෙනවා. මේ සියල්ල එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.
රෝස ආදරේ කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබමින් තිරගත වන සිනමා නිර්මාණයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර ඉතාම සතුටුදායකයි. රෝස ආදරේ කියන්නේ මගේ හත්වැනි සිනමා නිර්මාණය. ප්‍රධාන චරිතයෙන් එකතු වෙන නිසල හෙට්ටිආරච්චිගේ කුලුඳුල් සිනමා අත්දැකීම මෙය වීමත් විශේෂත්වයක්. දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි අශෝකමාලා, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ, රූමලී ඇතුළු අලුත්, පරණ, ප්‍රවීණ යන මේ සියල්ලන්ගේම එකතුවක්. පූර්ව ප්රචාරක පටය සමාජ මාධ්‍යයට එකතු කරපු මොහොතෙ ඉඳන්ම ඉහළම ප්‍රතිචාර ලැබුණා. ලංකාවේ ෆිල්ම් ට්‍රේලර් එකක් යූටියුබ්වල ට්‍රෙන්ඩින් වුණු පළමු අවස්ථාවත් මේක. සමහර සිනමාශාලා ආරම්භයේ ඉඳන්ම හවුස්පුල් ලේබලය යටතේ ප්‍රදර්ශනය වුණා කියන්නෙම අධ්යක්ෂවරයකුට ලොකු සතුටක්. ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවම රෝස ආදරේ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳගෙන කියලා දැනෙනවා.
නිසල හෙට්ටිආරච්චි වගේ නවකයෙක් යොදා ගැනීම ගැන මොකද හිතෙන්නේ?
නිසල මට මුලින්ම හමුවෙන්නේ මගේ ලොක්කි ටෙලි නිර්මාණයේදී. ඔහුගේ දක්ෂතාව එදාම මං හඳුනගත්තා. රංගනයට විතරක් නෙවෙයි ඔහු නර්තනයට වගේම ෆයිටින්වලටත් ගොඩක් දක්ෂයි. ඒ ඔක්කොටම වඩා ඔහුගේ තියෙන උනන්දුව තමයි මේ තැනට එන්න ලොකුම හේතුව. ඔහුට ලොකු වුවමනාවක් තිබුණා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. රෝස ආදරේ චිත්‍රපටය හරහා නිසලගේ හැම ටැලන්ට් එකක්ම එළියට දාන්න අවස්ථාව ලැබුණා කියල මම විශ්වාස කරනවා. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදක අශෝක ජයකොඩි කියන්නෙත් නිසලගෙ මිත්‍රයෙක්. ඒ සම්බන්ධතාව ගොඩනැඟෙන්නෙත් ඔහු හරහා. ඒකත් මතක් කරන්න ඕන.
ඔබේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
මේ දිනවල විකාශය වන ප්‍රාර්ථනා ඇරුණම තවත් ටෙලි නිර්මාණයක් කරන්න සූදානමින් ඉන්නවා. ඒත් එක්කම චිත්‍රපට පෙළක් හැදෙන්න තියෙනවා. වෙලාව කළමනාකරණය කර ගන්න එක තමයි ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. උන්මාද චිත්‍රා නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ සූදානමක් තියෙනවා. ඒත් එක්කම හාස්‍යජනක චිත්‍රපටයකටත් සූදානම් වෙනවා. කොහොමහරි මේ අවුරුද්දේ ඉතාම ඉක්මනින් තවත් චිත්‍රපටයක් තිරගත කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
විවාහ වෙලත් දැන් ටික කාලයක් වෙනවා. කොහොමද ඇයත් එක්ක ගෙවෙන ජීවිතේ?
බොහොම අපූරුවට හරිම ආදරෙන් ජීවිතය ගලාගෙන යනවා. ශලිනි කියන්නේ හරිම ආදරණීය බිරියක්. අපි හරි ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා.
ඔබේ කලා කටයුතුවලට ඇගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
ලොකු සහයෝගයක් ලැබෙනවා. රංගන දායකත්වය ලබාදෙන්නෙ නැති නිර්මාණවලදී ඇය තිරය පිටුපස ඉඳන් නිෂ්පාදන අංශයෙන් හරි නිෂ්පාදන විධායක අංශයෙන් හරි උදව් කරනවා.
කලාකාරිනියක් බිරිය වීම ඔබට කොහොමද දැනෙන්නේ?
ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. අපි දෙන්නම කලාව එක්කම ඉන්න නිසා ලයිෆ් එකේ ලොකු නිදහසක් නැති වුණත් නිදහසක් ලැබෙන වෙලාවට ජීවිතේ විඳිනවා. කලාව කියන්නෙ ඒ වෙලාවට අපි කතා කරන්නෙම නැති මාතෘකාවක්. ඇය කලාකාරිනියක් වීම මගේ කලා කටයුතුවලට ලොකු රුකුලක් වුණා කිව්වොත් හරි. ඇය මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. එහෙම බිරියක් ලැබීම මගේ වාසනාවක් කියලයි මං සලකන්නේ.
ඒ ආදරණීය හමුවීම ගැනත් කියමු?
ඇය මට මුලින්ම හමුවෙන්නේ 2021 වසරේ ලොක්කී ටෙලි නිර්මාණයේදී. ලොක්කිගේ චරිතයට රංගනයෙන් දායක වුණේ ඇය. එදා අපි අතර ඇති වුණු බැඳීම කාලයත් එක්ක වැඩිදියුණු වෙලා හොඳම යහළුවන් බවට පත්වුණා. අවුරුදු හතරක් පහක්ම අපි එකිනෙකාගේ දුක සැප බෙදාගෙන හොඳම යාළුවෝ වගේ හිටියා. ඒ තේරුම් ගැනීම නිසාම ආදරවන්තයින් බවටපත් වෙලා කෙටි කාලයක් ඇතුළත විවාහ වුණා. දැන් සැමියා බිරිය විදිහට හරිම සතුටින් ඉන්නවා.
හොඳම යාළුවා බිරිය වීම ජීවිතේට දැනුණෙ කොහොමද?
ඒක ජීවිතේට ලොකු සතුටක්. එයාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. මගේ හැමදේකටම උදව් කරනවා. ඒ වගේම මගේ වැඩවලට සම්පූර්ණ නිදහස දීල තියෙනවා. කිසිම වාරණයක් නෑ. ඒ තේරුම් ගැනීම අවබෝධය මගේ සාර්ථකත්වයට ලොකු රුකුලක් වුණා කිව්වත් හරි. කසාද බඳින්න කලින් හිටිය මමමයි කසාද බැන්දට පස්සෙත් ඉන්නේ. එයාටත් මං හිතන්නේ ඒ විදිහමයි. ඒ අවබෝධය තමයි ලොකුම සාර්ථකත්වය වුණේ. හොඳම යාළුවා බිරිය වෙනව කියන්නෙම ලොකු සාර්ථකත්වයක්. මොකද අපි දෙන්නගේ සිතුම් පැතුම් අපි දෙන්න හොඳට දන්නවා. ඒ බොන්ඩ් එක ගොඩක් වැදගත්.
හර්ෂගේ ආදරණීය බිරිය ශලිනි ප්‍රනාන්දු ප්‍රේක්ෂක ඔබ මුලින්ම හඳුනා ගන්නේ දෙවනි ඉනිම ටෙලි නිර්මාණයේ ලිහිණි ලෙසිනි. එදා දෙවනි ඉනිම ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඇය ලොක්කී වන්නේ ඉන් අනතුරුවයි. ලොක්කී ඇගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ හර්ෂගේ හමුවීමත් සමඟිනි. හර්ෂගේ කැදැල්ලට පැමිණිදා සිට ඇය පුංචි තිරයේ දකින්නට නොසිටියාය. “විවාහයෙන් පස්සේ ශලිනි රංගනයට සමුදීලා. බොහෝදෙනා සිතුවේ එලෙසිනි. එය සැබෑවක් දැයි අපි පළමුව ඇගෙන් විමසා සිටියෙමු.
ශලිනි මේ දවස්වල දකින්නම නැත්තේ රංගනයට සමුදීල වත්ද?
විවාහයෙන් පස්සේ මං අලුත් නිර්මාණයක් භාර ගත්තෙම නෑ. මං හිතන් හිටියා විවාහයෙන් පස්සේ ටික කාලයක් නිදහසේ ඉන්නවා කියලා. ඒත් එක්කම මං ටිකක් මහත් වෙන්න ගත්තා. ඒ නිසා නිර්මාණයකට සම්බන්ධ වෙන්න හිතුණෙ නෑ. මේ දවස්වල ආයෙම කෙට්ටු වෙමින් ඉන්නවා. බලමුකෝ.. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
පහුගිය දවස්වල හර්ෂගේ රෝස ආදරේ සිනමාපටය රිලීස් වුණා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ ගැන මොකද හිතෙන්නේ?
පහුගිය දවස්වල හර්ෂගේ ෆිල්ම් එකේ වැඩක් එක්ක මාත් කාර්යබහුල වුණා. පහුගිය මාස හයේ හර්ෂ ගොඩාක් මහන්සි වුණා. ඒක මං ඇස් දෙකෙන් දැක්කා. මං රංගනයෙන් දායක වුණේ නැතත් තිරය පිටුපස ඉඳන් ප්‍රඩක්ෂන් පැත්තෙන් ඔහුට සහයෝගය ලබාදුන්නා. ෆිල්ම් එකක් කරනවා කියන එක ලේසිපහසු වැඩක් නෙවෙයි කියන එක මං හොඳටම තේරුම් ගත්තා. ඒකෙ පිටුපස තියෙන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. මං ඒ වගේ අත්දැකීමක් ලබපු පළමු අවස්ථාව මේක. ෆිල්ම් එකේ වැඩත් බලාගෙන
හර්ෂටත් උදව් කරගෙන හරි ලස්සනට වැඩේ කරගෙන ගියා. ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි.
හර්ෂ උඩකන්ද කියන්නේ චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය ආධ්යක්ෂවරයෙක්. අතිශයින් කාර්යබහුල දිවියක් ගෙවන ඔහුත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?
ඇත්තටම හර්ෂ එක්ක ගෙවන ජීවිතේ හරිම සුන්දරයි. විවාහ වෙන්න කලින් අවුරුදු හතරක් පහක්ම අපි හොඳම යාළුවන් විදිහට ඇසුරු කළා. එතැනදි අපි අපේ සිතුම් පැතුම් අවබෝධ කර ගත්තා. ජීවිත අත්දැකීම් බෙදාගත්තා. ඒ නිසා ආදරවන්තයින් වෙලා ලොකු කාලයක් අපිට බලාගෙන ඉන්න ඕන වුණේ නෑ. කෙටි කාලයකින්ම අපි විවාහ වුණා. ඒ නිසා ආදරවන්තයින් විදිහට අපිට ඇවිදින්න විනෝදවෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. කොතරම් කාර්යබහුල වුණත් දැන් අපි කොහොමහරි වෙලාවක් හදාගෙන විනෝදවෙනවා. නිදහසේ ඇවිදින්න යනවා. ටුවර් යනවා. ජීවිතේ හරි සුන්දරව විඳිනවා.
රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයට එකතු වුණු ඔබ මේ වෙද්දි ප්‍රඩක්ෂන් පැත්තෙන් දක්ෂතා දක්වනවා. අධ්‍යක්ෂණය පැත්තට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
අනේ නෑ. මම මහත්තයගේ රස්සාවට අතගහන්න යන්න නෑ. ඒක අපි බාහිරින් දකිනව වගේ ලේසිපහසු වැඩක් නෙවෙයි කියන එක මං පහුගිය දවස්වල අත්දැක්කා. ඒක ලොකු පීඩනයක්. ආසාව තිබුණු පළියට කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. හොඳ පැෂන් එකක් වගේම හොඳ දැනුමක් අවබෝධයක්, හැදෑරීමක් එක්ක කරන්න ඕන වැඩක්. හර්ෂට ඒ හැකියාව දක්ෂතාව තියෙනවා. ඔහුගේ ගමන පැහැදිලියි. හර්ෂගෙ තව වැඩ ටිකක් ඉදිරියට එන්න තියෙනවා. ඒවටත් උදව් කරගෙන ඔහුට ඔහුගේ ගමන යන්න උදව් කරන එක තමයි මගේ එකම ආසාව.
ඔබ ක්ෂේත්රයට එන්නේ දෙවනි ඉනිම හරහා. ලිහිණි කියන්නේ ඔබේ ජීවිතේ ප්‍රබල සන්සිධිස්ථානයක් කිව්වොත් හරි නේද ?
ඔව්. දෙවනි ඉනිම කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් හරි. දෙවනි ඉනිමෙන් පස්සේ තමයි මට ලොක්කී ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඊටත් පස්සේ ලොක්කී 2ට සම්බන්ධ වුණා. ඒ ටෙලි නිර්මාණ තුනම මං හරිම ආසාවෙන් සම්බන්ධ වුණු ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්ත ටෙලි නිර්මාණ. මේ තරම් කාලයක් ගිහිල්ලත් අදටත් ලිහිණිට ලැබෙන ප්‍රතිචාර දැක්කම පුදුම සතුටක්, ආඩම්බරයක් දැනෙනවා.