අතිශය ළාබාල වියේ සිටම කලාවේ අක්මුල් සොයා යෑම ආරම්භ කළ ඇය, අද වන විට ජනප්‍රියම සම්මානය කිහිප වතාවක්ම දිනාගත් රංගන ශිල්පිනියක් වී හමාරයි. රංගනයට අමතරව නර්තනය, ගායනය මෙන්ම නිවේදනය විෂයෙහිද සුහුරු හැකියාවක් ඇත්තියක් වන ඇය මේ වන විට ක්‍රමයෙන් තම රංග පරාසයන්හි වැට කඩුලු බිඳ දමමින් චරිතාංග නිළියක් ලෙසින් ඉස්මතුවෙමින් ජනතා ආදරය වැඩි වශයෙන් දිනා ගනිමින් සිටියි.
2024 වර්ෂය තුළ වඩාත් කතාබහට ලක්වූ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය වූ ඇය 2025 ආරම්භ කළේ වසරේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවමිනුයි. ඇය අන් කවරකුවත් නොව ඔබ අපි කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද්ය. රෝස ආදරේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කියන ගමන්ම කතාව ආරම්භ කරමු?
ඔව්, මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තිරගත කිරීම ආරම්භ කරපු දවස්වලට වඩා මේ වෙද්දී දිවයින පුරාම සිනමා ශාලා විශාල ප්‍රමාණයක් රෝස ආදරේ චිත්‍රපටය වෙනුවෙන් ලැබිලා තිබෙනවා. ඉතින් චිත්‍රපටය නරඹන අයගෙන් මේ වෙද්දී ඉතාමත් ඉහළ, හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මේ වසරේ පළමු චිත්‍රපටය ඔබගේ, රංගන ශිල්පිනියක් ලෙස සිනමාවේ ප්රගමනයට දායක වෙන්නට ලැබීම ගැන ඔබේ හැඟීම?
සතුටුයි. ගිය අවුරුද්දේ රිලීස් වුණු මගේ විසල් ආදරය චිත්‍රපටයත් ඉහළ ආදායම් වාර්තා තබන්නට සමත් වුණා. ඒ හා සමානවම මේ වසරේ රෝස ආදරේ චිත්‍රපටයත් ආදායම් වාර්තාවන් තබයි කියලා මම හිතනවා. මොකද මේ වෙද්දිත් ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම ලංකාවේ සිනමාව නැවත වතාවක් හොඳ පැත්තට හැරෙන ලක්ෂණ තිබෙනවා. මොකද පසුගිය කාලයේ යම්තාක් දුරකට බිඳවැටීමක් තිබුණා. මේ වෙද්දී ඉහළ තත්ත්වයේ සිනමා නිර්මාණ, දක්ෂ, හොඳ නිර්මාණකරුවන්ගේ නිර්මාණ බිහිවෙමින් තිබෙනවා. ඉතින් ඒත් එක්කම නැවත වතාවත් සිනමා කර්මාන්තය යථාතත්ත්වයට පත්වෙලා කලින් තිබුණටත් වඩා හොඳ තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව පෙනෙනවා. ඉතින් ඒ අතර මටත් මේ විධියට නිර්මාණ තුළින් මේ සිනමා කර්මාන්තයට දායක වීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි.
රෝස ආදරේ චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාව පැවරී තිබුණේ නවක ශිල්පියෙක්ට, එය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
ඇත්තටම මම මට ලැබෙන ඕනෑම චරිතයක් අභියෝගයක් විධියට භාරගන්නේ, ඒක මට රඟපාන්න තිබෙන්නේ නවකයෙක් සමඟද ප්‍රවීණයෙක් සමඟද කියන එක මත තීරණය වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම නිසල හෙට්ටිආරච්චි ආධුනික රංගන ශිල්පියෙක් වුණාට, ඔහුගෙන් කෙරෙන්න ඕනෑ කැපවීම සහ එම කාර්යයට ලබා දිය යුතු දායකත්වය උපරිමයෙන් දුන්නා. ඒ නිසා එහි වෙනසක් දැනුණේ නැහැ. ඒ වගේම ඔහු හැම වෙලේම නිර්මාණය සමඟ ඒ තුළම තමයි කාලය ගත කළේ. ඒ නිසාම ඔහු සමඟ වැඩ කිරීම මට පහසුවක් වුණා.
පිරිමි ළමයි හි “නෝරා” ගැනත් කතා කරමු?
නෝරාට මේ දවස්වල ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒකට ඇත්තටම ස්තිතුවන්ත වෙන්න ඕනෑ මට මේ චරිතයට ආරාධනා කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අංකල්ට සහ නෝරා චරිතය ලස්සනට ලියන සද්ධා මංගල සූරියබණ්ඩාර අයියට. ඔවුන් නිසා තමයි නෝරා චරිතය එළියට එන්නේ. මට ලැබුණු වෙනස්ම චරිතයක් තමයි නෝරා. ඒ නිසාම තමයි මම ඉතාම කැමැත්තෙන් ඒ නිර්මාණය භාර ගත්තේ. ඒ වගේම උද්දික අයියත් ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරනවා. හොඳ කාස්ට් එකක්, හොඳ කතාවක්. ඉතින් මේ දවස්වල යන යන තැන ප්‍රේක්ෂකයන් පවා නෝරා කියලා තමයි කතා කරන්නේ.
ඔබේ රංගන පරාසය මෑත කාලීනව විශාල වශයෙන් පුළුල් වෙලා. ඒ වෙනස ගැන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම මට හරිම සතුටුයි. මම රංශන ශිල්පිනියක් විධියට ක්ෂේත්රයට ඇවිත් වසර 16ක් වෙනවා. හැම කාලෙදීම මට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. නමුත් ටේක් කෙයාර් නාට්‍යයත් එක්ක තමයි බොහෝ අය මගේ රංගනය ගැන කතා කරන්න පටන් ගත්තේ. ඒ වෙනුවෙන් මම අනුශ්ක රසාංජ ද සිල්වා මල්ලිට ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහු නවක අධ්යක්ෂවරයෙක්, නවක තිර රචකයෙක් විධියට අවදානමක් අරගෙන මාව විශ්වාස කරලා ඒ චරිතය මට භාර දුන්නා. මම හිතන විධියට ටේක් කෙයාර් නාට්‍ය මගේ ජීවිතයේ එක්තරා කඩයිමක්. ඒ වගේම නෝරාගේ චරිතයත් වෙනස්ම විධියේ චරිතයක්. ප්‍රේක්ෂකයා මීට කලින් මෙවැනි චරිත හරහා මාව දැකලා නැහැ. ඉතින් මට හරිම සතුටුයි. මේ වගේ චරිතවලට මාව දැන් දැන් හරි තෝර ගන්න එකට. මම අලුත් චරිත අත්හදා බලන්න, අභියෝග භාර ගන්න කැමැති කෙනෙක්. ඉතින් ඒකට අවස්ථාවක් එනතුරු මම ඉවසීමෙන් බලාගෙන හිටියා.
විවාහයෙන් පස්සේ බොහෝ රංගන ශිල්පිනියන් ජනප්‍රිය කැටගරියේ රැඳෙනවා අඩුයි. නමුත් ඔබ මෑතකදිත් ජනප්‍රියත්වය වෙනුවෙන් සම්මානිත වුණා?
දැන් තියෙන ප්ලැට්ෆෝම් එක්ක මේ ක්ෂේත්රයට එන එක තරමක් දුරට පහසු වෙලා. නමුත් මේ තුළ දිගටම පැවතෙමින් ජනප්‍රියත්වය රඳවා ගැනීම අසීරුයි. ඒ වෙනුවෙන් අපි නොනවත්වා වෙහෙසෙන්න ඕනෑ. හොඳ නිර්මාණවලට දායක වෙන්න ඕනෑ, ඒ වෙනුවෙන් සියයට සියයක් දායක වෙන්න ඕනෑ. සමහර වෙලාවට අපේ පෞද්ගලික ජීවිතයේ කැප කිරීම් පවා කරන්න සිද්ධ වෙනවා. ඒ හැම දෙයකම ප්‍රතිඵලයක් තමයි සම්මානවලින් අත්විඳින්නේ. ජනප්‍රියත්වය රැක ගැනීම ලේසි නැහැ. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න, කැපකිරීම් කරන්න අවශ්‍යයි. ඉතින් ඒ දේවල්වල ප්‍රතිඵල ලැබෙද්දී ගොඩක් සතුටුයි. ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා තමයි අපි පැවතෙන්නේ. ඉතින් ඔවුන් දිගින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.
මේ වසර තුළ වේදිකාව වෙනුවෙන් වෙන් කරලා තිබෙන කාලය මොන වගේද?
වේදිකාව තුළ අපේ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් නාට්‍යය වේදිකාගත වෙනවා. ඊට අමතරව තවත් අලුත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදී එහි පුහුණුවීම් ආරම්භ කරනවා. වේදිකාව වෙනුවෙන් විශාල වශයෙන් කැපවෙන්න අවශ්‍යයි. ඉතින් තිබෙන කාර්යබහුලත්වය එක්ක වේදිකාව තුළ භාරගෙන තිබෙන්නේ එපමණයි.
අවසන් වශයෙන් මේ වසරේ ඔබව ප්‍රේක්ෂකයා අතරට අරගෙන එන නිර්මාණ ගැනත් මතක් කරමු?
මේ දවස්වල පිරිමි ළමයි ටෙලිනාට්‍යයට සහ හසුන් සමීර අයියා අධ්‍යක්ෂණය කරන පාරාදීසේ කියන ටෙලි නාට්‍යයට දායක වෙනවා. පාරාදීසේ නාට්‍යයේ චංචි එහෙමත් නැත්තම් චංචලාගේ චරිතයටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චංචි කියන්නේ වෙනස්ම විධියේ චරිතයක්. ඉතින් මේ දිනවල එකිනෙකට වෙනස් චරිත නිසා ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙනවා. ඊට අමතරව අලුත්ම ටෙලි නාට්‍යයක වැඩ ආරම්භ කළා. චාමර ජයවීර අයියා තමා ඒක අධ්‍යක්ෂණය කරන්නේ. ඒ නිර්මාණයේ මම, සාරංග, යුරේනි, චානුක ප්රබුද්ධ වගේ ලොකු පිරිසක් රඟපානවා. ඒ වගේම අලුත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරන්න තිබෙනවා. මේ දවස්වල ඒ වෙනුවෙන් සූදානම් වෙනවා.