සම්මාන ලැබෙන්නේ තෝරාගත් කොටසකටද කියලත් හිතෙනවා- ගයාන් වික්‍රමතිලක

 

 




ගයාන් වික්‍රමතිලක තමන්ටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් ගොඩනඟාගත් දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. වීර චරිත හරහාත් ප්‍රතිවීර චරිත හරහාත් නොඅඩුව රසික ආදරය දිනාගත් ඔහු ලාංකේය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තබා අවසන්. ඉතින් මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඔහුගෙන්.


මේ දිනවල ඔබේ අලුත් වැඩ කටයුතු කොහොමද?


මේ දිනවල “පාරාදීසේ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් ඉන්නවා. ඒ වගේම ලබන මාසයේ සිට තවත් අලුත් වැඩ කටයුතු දෙකක් පමණ ආරම්භ කරන්න නියමිතයි. ඒ අතරතුරේ මගේ නිර්මාණයක වැඩ කටයුතුත් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ලාංකේය රිදී තිරයේ හා පුංචි තිරයේ නව හැරවුම ඔබ දකින්නේ කෙසේද?


ඇත්තටම ක්ෂේත්‍රය තුළ අලුත් දේවල් බිහිවෙන්න ඕනෑ සහ අලුතෙන් හිතන අය ක්ෂේත්‍රයට එකතු වෙන්න ඕනෑ. ඒ දේවල් මම හරි ධනාත්මකව දකිනවා. මොකද අලුත් වන තරමටම තමයි ඕනෑම දෙයක පැවැත්ම රඳා පවතින්නේ.


ඔබ සිතන ආකාරයට වර්තමානයේ මෙරට කලාකරුවාට ලැබිය යුතු නිසි ඇගයීම් ලැබෙනවාද?


මෙහෙමයි ඉතින් මට පෙනෙන විධියට ඒ දේ එක්තරා තෝරාගත් කොටසකට වෙන් කරන ලද ඇගයීමක් විධියටත් මම දකිනවා. ඉතින් මම හරිම විවෘත මනසකින් හැම දෙයක්ම දකින කෙනෙක්. එක පිරිසක් හැම සම්මාන උළෙලකදීම සම්මානයට පාත්‍ර වනවා දකින්න ලැබෙනවා. නමුත් සම්මාන ලැබිය යුතු පිරිසක් වෙනමත් ඉන්නවා සහ ඒ තැන්වලදී ඔවුන්ව අතහැරිලාදෝ කියලත් හිතෙනවා. නමුත් මම සම්මාන පිළිබඳවත් ඇගයීම් පිළිබඳවත් ඕනෑවට වඩා බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි. තමන්ට තමන්ව අගය ගන්න පුළුවන් නම් හොඳයි කියන තැනක තමයි මම ඉන්නේ. නමුත් ඉතින් ඕනෑම ක්ෂේත්‍රයක නියැළිලා ඉන්න ඕනෑම කෙනකුට ඇගයීමක් තිබෙන්න ඕනෑ. තමන් කරන වෘත්තිය පිළිබඳව කෙනකුට ඇගයීමක්ව, ටිනාකමක් ලැබෙන විට ඔවුන්ට තමන් කරන වෘත්තිය පිළිබඳ තෘප්තිය වැඩිවෙනවා.


වර්තමානයේ බොහෝ දෙනකු සමාජ මාධ්‍ය ඔස්සේ කලා නිර්මාණ විචාරයට සහ විවේචනයට ලක් කිරීම ගැන ඔබේ අදහස?


හැම ක්ෂේත්‍රයක් පිළිබඳවම අත්දැකීම් සම්භාරයක් තිබෙන මිනිස්සු වගේ සමාජ මාධ්‍ය තුළ එක එක පිරිස් අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරනවා. ඉතින් සියයට එකක් දෙකක් වගේ හොඳ ඇගයීම්, හොඳ ප්‍රකාශ, නිර්මාණයන් පිළිබඳව හොඳ විචාරාත්මක දේවල් එක් පිරිසක් සමාජ මාධ්‍යයේ සටහන් කරනවා දකින්නත් පුළුවන්. ඒ අතරේ ඉතින් ගොඩාක් තිබෙන්නේ හරසුන් අදහස් තමයි. ඉතින් ඒ දේවල් ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තබාගන්න අවශ්‍ය නෑ. නමුත් අතහැරලා දාන්න ඕනෑත් නෑ. ඕනෑම අයකුට තමන් වටා එක් වූ රසික පිරිසක් ඉන්නවා සහ ඒ පිරිස ඇතුළේ හොඳ වටිනාකමක්, ඇගයීමක් ලැබෙනවා කියලා මම හිතනවා.


දක්ෂ රංගන ශිල්පියකුට තම හැකියාවන් පෙන්වීමට අනු චරිතයක් වුවත් ප්‍රමාණවත්ද?


ඔව්. අනු චරිතයක එක දෙබසක්වත් නොතිබුණත් ප්‍රමාණවත්. අපි රංගනය හදාරලා ක්ෂේත්‍රයට පැමිණි අය. ඉතින් ඒ කාලයේ බොහෝ වෙලාවට අපට ලැබුණේ අතුරු චරිත සහ සමහර වෙලාවට ඒ චරිතවලට එක දෙබසක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒ දේවල් වෙනුවෙන් අපි දවස් ගණනාවක් කැප කරලා සෑහීමකට පත්වුණා. නමුත් ඉතින් අද වන විට ක්ෂේත්‍රයට එකතු වන බොහෝ දෙනකු බලන්නේ තමන්ට ලැබුණු චරිතයට දෙබස් තිබෙනවාද, නිර්මාණය තුළ කොයිතරම් චරිතයක් වනවාද වගේ දේවල් තමයි. ඉතින් මම හිතන්නේ ඒ දේවල් මීට වඩා වෙනස් වෙන්න ඕනෑ.


ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටු කරන ඔබ රංගනය තුළ එවන් ස්ථාවරත්වයක් ගොඩනඟා ගත්තේ කෙසේද?


ඇත්තටම තමන් ගැන තමන්ට තිබෙන්න ඕනෑ හොඳ ඇගයීමක් සහ හොඳ වැටහීමක්. හැම දෙයක් ගැනම හොඳ විවෘත මනසකින් දකින්න ඕනෑ. තමන්ට තමන්ගේ අභ්‍යන්තරය පිළිබඳව හරියටම පැහැදිලි වතුර වගේ බලන්න පුළුවන් වෙන්න ඕනෑ. තමන්ගෙ දුර්වලතා, දක්ෂතා වගේම තමන්ගෙන් මේ ක්ෂේත්‍රයට කොයිතරම් දේවල් වනවද කියලා හොඳ වැටහීමක් ඇති කර ගත්තොත් ඒ වගේ තැනකට එන්න පුළුවන්.


කඩාවැටෙන තරුවක් නොවී ක්ෂේත්‍රයේ රැඳෙන තරුවක් වීම පහසු නෑ නේද?


තමන් ඕනෑම ක්ෂේත්‍රයකට අවතීර්ණ වන විට තමන් පිළිබඳව හොඳ වැටහීමකින් අවතීර්ණ වෙන්න ඕනෑ. තමන්ගේ සිරුර පෙන්නන්නවත්, තමන්ගේ ඇඳුම් ටික පෙන්නන්නවත්, තමන්ගේ වාහනේ පෙන්නන්නවත්, සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ බලාපොරොත්තුවෙන්වත් පැමිණීමෙන් ක්ෂේත්‍රයක රැඳෙන්න අමාරුයි. සෑම විටම තමන් නිහතමානී වෙන්න ඕනෑ. මම දකින එක දෙයක් තමයි වර්තමානයේ ක්ෂේත්‍රයට එන සමහර රංගන ශිල්පීන්, ටෙලි නාට්‍ය එකක දෙකක රංගනයේ නිරත වූ රංගන ශිල්පීන් ශිල්පිනියන් අද වන විට සීනියර් ආර්ටිස්ට් කෙනකුට කතා කරන්නවත් දන්නැති තත්ත්වයකට පත්වෙලා. අපි අපේ සීනියර් ආර්ටිස්ට් කෙනකු අපේ ළඟට එනකොට ඉඳගෙන ඉන්න පුටුවෙන් පවා ඉබේටම නැඟිටිනවා. ආධුනිකයකුට වුණත් ප්‍රවීණයකුට වුණත් මේ හැමෝටම ගරු කරන එක තමයි වටින්නේ.


ඔබ වීර චරිත මෙන්ම ප්‍රතිවීර චරිත ඔස්සේත් එක සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා නේද?


දෙපැත්ත සමබරව කරන එක හරි අමාරු වැඩක්. නපුරු චරිතයක් රඟපෑමත් පෙම්වතාගේ චරිතය රඟපෑමත් හරි අමාරු වැඩක්. මේ දෙක බැලන්ස් කරගෙන ආර්ටිස්ට් කෙනකුට යන්න ලැබෙනවා කියන්නේ වාසනාවක්. ඒ වගේම තමන්ගේ චරිත තෝරා ගැනීමත් බලපානවා. නමුත් ලංකාවේ කවුරු හරි නපුරු චරිතයක් කළොත් ඒ කෙනා ඒ චරිතවලටම කොටුවන ස්වරූපයක් තිබෙනවා.


ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය මතක් කරමු?


මගේ බිරිය චතුරිකාගෙන් ලොකු සපෝර්ට් එකක් තිබෙනවා. ඇයත් එක්ක මේ ගමන යන්න ලැබීමත් ඇත්තටම මගේ ජීවිතයේ වාසනාවක්. ඇත්තටම මම හරිම තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා.


ඔබේ ආදරණීය දූ ආරාධනා පිළිබඳව යම් සිදුවීමක් ගැන පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර අදහස් දක්නට ලැබුණා. ඔබේ අදහස?


ආරාධනා කොහොමත් හැදෙන්නේ සහ හදන්නේ සෝෂල් මීඩියාවල අය දෙන උපදෙස් මත නෙවෙයි. ආරාධනා ඉන්නේ අපේ හදවතේ. ඒ වගේම මම දැකපු දෙයක් තමයි ආරාධනාගේ පින්තූරය මම පළ කරලා මෙහෙම නරක කමෙන්ට්ස් ටිකක් ලැබුණා කියද්දී එයාට අපි දෙන්න වගේම ලංකාවේ තව කොයි තරම් ප්‍රමාණයක් ආදරය කරනවද කියන දේ. ඉතින් ඒ ආදරය මමයි, චතුරිකායි වගේම ආරාධනාත් ලබපු වාසනාවක්. ආරාධනාට හරිම නරක කමෙන්ට්ස් ටිකක් දාලා තිබුණා සිංහලෙන් කතා කරන්න බෑ ඉංග්‍රීසියෙන් විතරයි කතා කරන්නේ කිය කියා. නමුත් ආරාධනා ඒ වැඩසටහනට ගියේ ගොඩක් අසනීපයෙන් ඉඳලා. එයා සිංහලෙන් කතා කරනකොට වචන පැටලිලා ළමයි විහිළු කරලා තිබුණා. ඉතින් එදා ඉඳන් ඉංග්‍රීසියෙන්ම කතා කරනවා. ඉතින් මම දුවට ඒ දෙයට කොයි වෙලාවකවත් බාධාවක් වෙන්නෙ නෑ ඔයා සිංහලෙන් කතා කරන්න කිය කියා. මේ රට ඇතුළේ තව කාගේ හරි ළමයකුට නරක වචනවලින් බනින්න තරම් නරක මිනිස්සු ටිකක් ඉන්නවා. ඉතින් මම ඒ වගේ අය ගැන කතා කරන්නවත් කැමැති නෑ.


ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත්?


ඉදිරියට මම අධ්‍යක්ෂණය කරන නිර්මාණයක වැඩකටයුතුත් ආරම්භ කරන්න නියමිතයි. ඒ දේවල් එක්ක නිදහසේ ඉන්නවා. බොහෝ වෙලාවට ආරාධනා සහ පවුල වෙනුවෙන් වෙලාව වෙන් කරනවා.





Previous Post Next Post