ජානු ටෙලි නාට්‍යයේ නෝරා කියන්නේ අපි කවුරුත් ආදරය කරපු අහිංසක චරිතයක්. ඒ වගේම ජානු ටෙලි නාට්‍යයේ නෝරා වගේම රජගෙදර නේහා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ලේඛිකාවක්. ඇය නමින් ඉෂිණි විජේසිංහ. ඉෂිණි මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ප්‍රේම රස්තියාදුවේ ඇනා ලෙසින්.
මේ කාලයේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
මේ වෙද්දී මම රඟපෑ “ජානු“ සහ “රජගෙදර“ නිර්මාණ දෙකම අවසන් වෙලා තියෙනවා. ඒ එක්කම මගේ අලුත්ම ටෙලි නාට්‍යය වන ප්‍රදීප් රසාංග අධ්‍යක්ෂණය කරන “ප්‍රේම රස්තියාදුව“ ටෙලි නාට්‍යයේ විකාශන කටයුතු පසුගිය 23 වනදා සිට ආරම්භ වුණා. එහි රූගත කිරීම් කටයුතුත් තව සිදු වෙනවා.
ප්‍රේම රස්තියාදුවේ ඔබේ භූමිකාව ගැන කිව්වොත්?
එහි මගේ චරිතය ඇනා. ප්‍රවීණයින් රැසක් එක්ක මගේ චරිතය ගොඩ නැගිලා තියෙන්නේ. මම මෙතෙක් නොකරපු විදියේ වෙනස්ම චරිතයක්. මම හිතනවා මගේ ඒ වෙනසට ප්‍රේක්ෂකයන් කැමැති වෙයි සහ ඒ වෙනස හරි ආදරෙන් භාරගනීවි කියලා. මොකද ඒ චරිතයත් මට ලැබුණු අභියෝගාත්මක චරිතයක්.
මේ වනතෙක් ලැබුණු චරිත ගැන කිව්වොත්?
“ජානු“හි නෝරා වගේම “රජගෙදර“ නේහා කියන්නේ මට ලැබුණු අභියෝග විදියට මම දකින්නේ. ඒ හැම චරිතයක් තුළම මගේ පොඩි කොටසකුත් තිබ්බා. එතැනින් එහාට අනිත් හැම දෙයක්ම මම ඒ චරිත වලට එකතු කර ගත්ත දේවල්. මම කරපු හැම චරිතයකටම හරි ආදරෙයි.
වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණේ නෝරාට ද?
අදටත් ඉස්සරහටත් මම මොන චරිත කළත් මිනිසුන්ට මම නෝරා වලාකුළු විදියට මතකයේ තියෙයි කියලා මම විශ්වාස කරනවා. ළඟම ඉන්න අයත් මට කතා කරන්නේ නෝරා වලාකුළු කියලා. ඇත්තම කිව්වොත් නෝරා වලාකුළු කියන්නේ මම ලියපු පොතක චරිතයක්. පසුව තමයි ඒ නම “ජානු“ ටෙලි නාට්‍යයට ඒක අරගත්තේ. ඉතින් නෝරා තමයි හැම දෙයකටම මුල.
ජානු එකට අවස්ථාව ලැබුණේ නැත්නම් නිළියක් නොවෙන්නත් තිබ්බ ද?
ජානු ටෙලි නාට්‍යයට එන්න කලින් වෙනත් නාළිකාවක ටෙලි නාට්‍යක ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහින් තේරිලා හිටියේ. හැබැයි ඊට පස්සේ චරිත දෙකම ගත්තම මට දැනුණේ මුලින්ම මාව නෝරා විදියට ප්‍රේක්ෂකයින් දැක්කොත් හොඳයි කියලා හිතුණ නිසා තමයි ඒ චරිතය හරහා ටෙලි නාට්‍ය කලාවට පිවිසෙන්නේ.
සිනමාවට තවම ඇරයුම් නැද්ද?
ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඉන් තෝරා බේරා ගත්තු එක නිර්මාණයකට දායකත්වය දෙන්න හරි ආසාවෙන් ඉන්නවා. දැනට වැඩි විස්තර මුකුත් කියන්න බැහැ. ඒක සර්ප්‍රයිස් එකක්. ලස්සන, සුන්දර චරිතයක් වෙයි. ප්‍රේක්ෂකයන්ට කියනවා හරි ආදරෙන් බලන් ඉන්න කියලා.
චරිතවලදී සීමාවන් තියෙනවා ද?
ඔව්. මගේ ජීවිතේ ඇතුළේ දී සහ මගේ රංගන ජීවිතේ ඇතුළේ මම සීමාවන් දාගෙන ඉන්නවා. ඒක මම හිතනවා මගේ රංගන ජිවිතේ පැවැත්මට සහ මගේ පෞද්ගලික ජිවිතේ පැත්තෙනුත් හොඳක් වෙයි කියලා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් රංගන ශිල්පිනියක් නම් සීමා තියෙන්න බැහැ. එයා ඒක කරන්න ඕනේ කියලා. ඒත් මම හිතන හැටියට එහෙම නැහැ රංගන ශිල්පිනියක් වුණත් සීමාවන් තියෙන්න පුළුවන්. ඒ සීමාවන් ඇතුළේ තමන්ගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් නම් එයයි විය යුත්තේ.
ප්‍රේක්ෂක ආදරේ දැනෙන්නේ කොහොමද?
අදටත් මට හිතාගන්න බැහැ ඒ ආදරේ තරම කොච්චර ද කියලා. මඟ තොටේදී හමුවුණාම අතින් අල්ලලා මුහුණ අල්ලලා ඒ අයගේ ආදරේ ප්‍රකාශ කරනවා. මම ඒකට ගරු කරනවා. මම හිතුවට වඩා ගැහැනු පිරිමි පාර්ශ්ව දෙකෙන්ම මාව වැලඳගෙන තියෙනවා. මට ඒකට හරි සතුටුයි සහ මම ඒ ආදරේ විඳින්න කැමැතියි.
අනුෂා රණසිංහ