අදටත් මං රියැලිටි තරුවක් තමයි -සංඛ දිනෙත්

 



කලා අඹරට රියැලිටි තරු පායා ඒම දැන් දැන් සුලබ දසුනකි. එවන් තරු විවිධ වර්ණයෙන් කලා අඹරේ දිලෙමින් පෙළහර පාන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. සංඛ දිනෙත් ද සැමදා දිලෙන එවන් තරුවකි. පසුගියදා නෙළුම් කුලුන එළිමහන් පරිශ්‍රයේදී පැවැති Shaan & Sanka සජීවී ප්‍රසංගය ඔස්සේ ඔහු ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් වීය. ජාත්‍යන්තර ගායන තරුවක් හා ශ්‍රී ලාංකේය ගායන තරුවක් එකම වේදිකාවක් මතට ගෙන ආ සුවිශේෂී අවස්ථාවක් ලෙස එය ඉතිහාශයට එක්වනු ඇත.


සංඛ පසුගියදා සංගීත කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් පසුකළා නේද?


ඔව්. ඉන්දීය ජනප්‍රිය ගායක ශාන් මුකර්ජි (ශාන්) එක්ක මං කළ Shaan & Sanka සජීවී ප්‍රසංගය පසුගිය 27 වැනිදා නෙළුම් කුලුන එළිමහන් පරිශ්‍රයේදී පැවැත්වුණා. ඇත්තටම ඒක ඉතිහාසගත ඉවෙන්ට් එකක් බවට පත්වුණා. මේ හරහා ඊළඟ පරම්පරාවට හොඳ මාවතක් විවර වුණා කිව්වත් හරි.


මේ තරම් දැවැන්ත ප්‍රසංගයක් ශ්‍රී ලංකාවේ සංවිධානය වෙන්න කොහොමද?


ශාන් එක්ක ප්‍රසංගයක් කරන්න මට ආරාධනා ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන නෙතිත් ඇතුගල සහ ඩිල්ෂාන්ගෙන්. මුලින්ම මේක ඔස්ට්‍රේලියාවේ කරන්නයි සැලසුම් කළේ. ඒත් අපේ ඉල්ලීමට Shaan & Sanka ප්‍රසංගය ශ්‍රී ලංකාවේ පවත්වන්න ඔවුන් කැමැති වුණා. ඉන්දියාවේ ලොකු පිරිසක් ඉන්න නිසා මේක ඔස්ට්‍රේලියාවේ තිබුණ නම් ඔවුන්ට ලොකු ආදායමක් ලබන්න පුළුවන්කම තිබිලත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට මේ අත්දැකීම දෙන්න ඔවුන් තීරණය කිරීම ගැන මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


ශ්‍රී ලංකාවේ මෙවන් සජීවී ප්‍රසංගයකට සහභාගි වෙන්න ලැබීම ගැන ශාන්ගේ අදහස මොකක් ද?


ශාන් කියන්නේ ජාත්‍යන්තරයේ ආදරය දිනූ ගායන ශිල්පියෙක්. ඉන්දීය සුපිරි තරුව වන ෂාරුක් ඛාන්ට හඬ දුන්න කෙනෙක්. මං වගේ ලංකාවේ සාමාන්‍ය කෙනෙක් එක්ක මේ වගේ ප්‍රසංගයක් කරන්න කැමැත්ත ප්‍රකාශ කිරීමම අගය කළ යුතුයි. ලංකාවේ මිනිස්සුන්ට එදා ඔහුගේ හදවත සොරාගන්න හැකියාව ලැබිල තියෙනවා. ඔහුට අපේ මිනිස්සු ගැන ලොකු ආදරයක් ඇති වෙලා. ඔහු ගොඩක් සතුටු වුණා. අදටත් මාත් එක්ක කතා කරද්දි ලංකාවේ මිනිස්සුන්ගේ සිනහව ගැන ඔහු ගොඩක් ආදරෙන් මතක් කරනවා. මං ශාන්ගේ ගීත ගායනා කළා වගේම එදා ඔහුත් මගේ ගීතයක් ගායනා කරන්න තරම් නිහතමානී වුණා. ඒ වගේම ඉන්දියාවේ ඉඳන් ශාන්ගේ ෆෑන්ස්ලා ලොකු පිරිසක් ආවා. එදා ඔවුන් සංඛගේ ෆෑන්ස්ල කරල යවන්නත් මට හැකියාව ලැබුණා.




දැන් අපිටත් ජාත්‍යන්තරය හා කරට කර පෑහෙන්න හැකියාව තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?


අවුරුදු විස්සක තිහක වෙලේ ඉඳන්ම ජාත්‍යන්තර ජාත්‍යන්තර කියලා ගොඩක් දෙනෙක් කෑගැහුවට ජාත්‍යන්තර කියලා වෙනම එකක් නැහැ. අපි මේ ඉන්නෙත් ජාත්‍යන්තරයේ තමයි. අපි හැමදාම කතා කළේ අපේ පැටිකිරිය ගැන විතරයිනේ. නමුත් මං හිතන්නේ ජාත්‍යන්තර සබඳතාවලදී අපිට හදාගත යුතු තැන් ගොඩක් තියෙනවා. ඒක ගොඩක් ඉස්මතු වෙන්නේ මේ වගේ අවස්ථාවලදී. ශාන් කියන්නේ නිතරම ජාත්‍යන්තරය එක්ක ගැටෙන කලාකරුවෙක්. ලෝකය පුරා කෑගහල, ඔල්වරසන් දෙන ප්‍රේක්ෂකාගාරයක් ඔහු වටා තියෙද්දිත් රු. 25,000 ටිකට් අරන් ආපු අපේ ප්‍රේක්ෂකයෝ බිරාන්ත වෙලා වගේ එදා ඔහු දිහා බලන් ඉඳලා. ශාන් අපේ ඕඩියන්ස් එකෙන් අහලත් තියෙනවා ඇයි ඔයාල එන්ජෝයි කරන්නෙ නැත්තේ කියලා. ඊට දවස් දෙකකට පස්සේ තිබුණු කුමාර් සානුගෙ ප්‍රසංගයේදීත් ඔහු අහල තියෙනවා, ඇයි ඔයාල හිනාවෙන්නෙ නැත්තේ, එන්ජෝයි කරන්නේ නැත්තේ කියලා. ඇත්තටම අපි ජාත්‍යන්තරට යන්න හිතනවා නම් ඔවුන් හා මුහුවෙන්න හිතනවා නම් මේ තත්ත්වයෙන් මිදෙන්න ඕන. ඇත්තටම අපේ මිනිස්සුන්ට ඕනකම තිබුණත් දෙයක් නිදහසේ විඳින්න තාමත් බයයි කියන එක තමයි මට දැනෙන්නේ. ඒක ශාන්ටත් එදා දැනිලා තිබුණා.


Shaan & Sanka ප්‍රසංගයේදී ඔබට ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?


ප්‍රසංගය අතිශයින් සාර්ථකයි. අන්තිමට අපිට ටිකට් දීගන්නත් බැරි තරම් පීක් වුණා. අපි ස්ටේජ් එකේ අඩි 60ක රෑම්ප් එකක් ගැහුවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම ඒක අඩි 30ක් කරන්න වුණා. හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක ආදරයක් එදා ලැබුණා. ඔවුන් මාව හොඳින්ම වින්දා කියලා මට දැනුණා. ගිටාර් වගේ ද්‍රව්‍යමය වශයෙන් ගොඩක් දේවල් ලැබෙද්දිත් මං ඔවුන්ට පුන පුනා කිව්වේ මේ දේවල් ලැබුණා නොලැබුණා මං ඉන්නේ ඔයාලගේ ආදරය නිසා කියන එක. ඇත්තටම ජාත්‍යන්තරයේ කෙනෙක් ලංකාවේ කෙනෙක් එක්ක මුහුවෙද්දි අපේ රටේ ඕඩියන්ස් එකෙන් මීට වඩා වාව් එකක් ඔහුටත් තියෙන්න ඕන කියන තැන මම ඉන්නවා. එදා ශාන්ට ඒ වගේ චියර් එකක් ලැබුණ ද කියන ප්‍රශ්නාර්ථයක් මගේ හිතේ තියෙනවා. හෙට දවසේ මට වඩා දක්ෂයෙක් මේකෙන් එළියට ඇවිත් පිටරට මිනිස්සු එක්ක ස්ටේජ් එකක හරි හරියට පෆෝම් කරන්න ඕන. කෑගහන්න, බදාගන්න, ඔල්වරසන් දෙන්න කොටින්ම ඔවුන් උස්සන් යන්න පුළුවන් ඕඩියන්ස් එකක් පහළ ඉන්නව කියන විශ්වාසය ඔවුන් තුළ ගොඩනැඟෙන්න ඕන. ඊළඟ ෂෝ එකේදිවත් ඒක එහෙම වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.


රියැලිටි තරුවක් විදිහට ඔබ මේ ආපු ගමන දිහා ආයෙම හැරිලා බැලුවොත්?


අදටත් මං රියැලිටි තරුවක් තමයි. අද මං ලබපු සාර්ථකත්වය මෙතෙක් මේක කරපු, කරන්න උත්සාහ කරපු අය අතරේ බෙදෙන්න ඕන. මේක මගේ වැඩක් නෙවෙයි. මේක අපේ වැඩක්. මම නිතරම නියෝජනය කරන්නේ මගේ ලංකාව. මට සංගීතය උගන්වපු පාලකී බෞද්ධානන්ද ඇතුළු ගුරුවරුන් අදටත් මං ගෞරවයෙන් සිහිපත් කරනවා. මං හිතන්නේ කලාකරුවෙක් ළඟ නිතරම නිහතමානීකමයි, සෘජුකමයි කියන දෙක තියෙන්න ඕන. ඒ දෙක ඇතුළෙ ගොඩක් දේවල් තියෙනවා. අපේ රටේ සමහර මිනිස්සු ඔය දෙක පටලවාගෙන තේරුම් ගැනීමේ තමයි වරද තියෙන්නේ. නමුත් මං බලාපොරොත්තු වන හැමදේ තුළම තියෙන්නේ ඔය දෙක විතරයි.


 නාමලී ගමගේ



Previous Post Next Post