මම තෝරන්නේ නිර්මාණ – මනෝජා ප්‍රනාන්දු

 


මනෝජා ප්‍රනාන්දුව මේ දවස්වල පුංචි තිරය හරහා විකාශනය වෙන සසංකාරා වගේම සිටුවර පුවත යන ටෙලිනාට්‍ය ද්විත්වය හරහා දැකගන්න ලැබෙනවා. නිතර දකින්න නොලැබෙන චරිතයක් වුණත් ඇය රඟදක්වන චරිතය හරහා ප්‍රේක්ෂකයන් ඇයට හරියට ආදරය කරන්න පටන්ගන්නවා. ඉතින් ඒ නිසාම අපි අද දවසේ මනෝජාට මේ ඉඩකඩ වෙන්කළා.

මම තෝරන්නේ නිර්මාණ - මනෝජා ප්‍රනාන්දු

කාලෙකට පස්සෙ ටෙලිනාට්‍ය දෙකකින් දකින්න ලැබෙනවා?


ඔව්. මේ දවස්වල මාව ටෙලිනාට්‍ය දෙකකින් දකින්න ලැබෙනවා. ජාතික රූපවාහිනියේ විකාශනය වන චමිල් පතිරණ අධ්‍යක්ෂණය කරනු ලබන සිටුවර පුවත වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සසංකාරා ටෙලිනාට්‍ය දෙකයි.


මුලින්ම සසංකාරා ධම්මි ගැන කතා කළොත්?


ධම්මි කියන්නේ ඇත්තටම හරිම ආවේගශීලි ආදරය සොයන ඒ වගේම ආදරය විඳින්න කැමැති චරිතයක්. ධම්මි ගැන දැනගන්න නම් සසංකාරා බලන්නම වෙනවා.


සිටුවර පුවතට සම්බන්ධ වුණේ කොහොමද?


මට සිටුවර පුවතට ආරාධනා ලැබෙන්නේ චමින්ද උඩවෙල සහ දිනූපා නිරෝෂනී ද අල්විස් නිෂ්පාදිකාවගෙන්.


ඇත්තටම එහි අධ්‍යක්ෂ වන චමිල් පතිරණ තමයි මාව මුලින්ම මේ ක්‍ෂේත්‍රයට හඳුන්වාදුන්නෙත්. ඔහුත් සමග මම කිහිප වතාවක්ම වැඩකරලා තියෙනවා.


මම තෝරන්නේ නිර්මාණ - මනෝජා ප්‍රනාන්දු

එහි ඔබේ භූමිකාව ගැන කතා කළොත්?


සංසකාරාහි ධම්මිගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි සිටුවර පුවතේ පුන්නිගේ චරිතය. පුන්නි කියන්නේ හරිම අහිංසක, කටුක ජීවිතයක් ගත කරන තමන් සේවය කරන සිටුමැඳුරේ පුංචි හාමුට හිතින් ආදරය කරන චරිතයක්. මගේ ජීවිතයට ලැබුණ වෙනස්ම චරිතයක්. ඒ වගේ අහිංසක චරිත මට මීට කලින් ලැබිලා නැහැ. මම හරි ආසාවෙන් හිටියේ වෙනසක් කරන්න. මට ඒ වෙනස පුන්නි හරහා කරන්න පුළුවන් වුණා.


පහුගිය දවස්වල මොනවද කළේ?


පසුගිය දවස්වල කාසි යට ගහක් කියන කෙටි නාට්‍යයේ පුහුණුවීම්වල තමයි හිටියේ. ඒවගේම තවත් කෙටි නාට්‍ය තුනක් එකතු කරලා සින්තටික් හැන්දෑව කියලා කෙටි නාට්‍ය උලෙළක් පවත්වන්න අපි සූදානම් කරලයි තියෙන්නේ. එහි මංගල දර්ශනය ජනවාරි 18 වැනිදා සවස 6.30ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණීභාරත ශාලාවේදී පැවත්වෙනවා.


එක දිගට වැඩ භාර ගන්න අකමැති ද?


එක දිගට වැඩ භාර ගන්න අකමැත්තකටත් වඩා තියෙන්නේ මම නිතරම නිර්මාණ තෝරාගන්න එකයි. ඉතින් නිර්මාණ තෝරලා බේරලා කරන හින්දා එක දිගට බිසීවෙන්නේ නැහැ. එක දිගට වැඩ කෙරෙන්නේ නැහැ. එහෙම නැතිව එකදිගට වැඩ කරන්න අකමැත්තක් නැහැ.


අලුත්ම වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වුණා කියලා ආරංචියි?


ඔව්. 2025 අවුරුද්දේ හා හා පුරා කියලා අපි අලුත්ම වැඩක මුහුරත් උලෙළක් පැවැත්වූවා. අ යන්න යට නිෂ්පාදනයක් යටතේ චාලක රණසූරියගේ අලුත්ම වේදිකා නාට්‍ය වන අටවන බුවනෙක වේදකා නාට්‍යයට මාව තෝරාගෙන තියෙනවා. එහි මම, ජගත් චමිල, අකලංක ප්‍රභාශ්වර, නයෝමි තක්ෂිලා යන ශිල්පීන් රංගනයෙන් දායක වනවා. මට ලැබිලා තියෙන්නේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන තරුණියකගේ චරිතයක්.


චරිතයක් තෝරා ගනිද්දී මොනවද සලකා බලන්නේ?


ඇත්තටම මම චරිත නෙමෙයි තෝරන්නේ. මම තෝරන්නේ නිර්මාණ. මට චරිත තේරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මම හිතනවා රංගන ශිල්පිනියක් වුණහම ඕනෑම චරිතයක් කරන්න හැකියාවක් තිබිය යුතුයි කියලා. රංගන ශිල්පිනියකට චරිත කරන්න බැහැ කියන්න බැහැ. නමුත් මම තෝරාබේරා ගන්නේ නිර්මාණ පමණයි. ඉතින් ඒ වෙනුවෙන් නිර්මාණයේ අධ්‍යක්ෂ කවුද?, පිටපත කාගෙද? කියන තවත් කාරණා සලකා බලනවා.


නිළියක් නොවුණා නම් මොනවා කරාවි ද?


පුංචිම කාලේ ඉඳලා අපි කාලෙන් කාලෙට අප්ඩේට් වෙනවා. පුංචිම කාලේ මම හිතාගෙන හිටියා ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා. ඊට පස්සේ කාලයක මම ගුවන්සේවිකාවක් වෙනවා කියලත් හිතාගෙන හිටියා. ඊළඟට තරුණ වියට පා තබනකොටම වගේ මම හිතපු දෙයක් තමයි නීතිඥවරියක් වෙනවා කියලත්. ඒ වගේ විවිධ දේවල් හිතිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම කෙනකුගේ ජීවිතයේ විවිධ අවධිවල විවිධ අදහස් හිතෙන්න පුළුවන්. නමුත් මම පුංචි කාලේ ඉඳලාම කලාවත් එක්ක හිටපු නිසා කලාව ඇතුළේ ජීවත්වෙන්න ඕනෑ කියලා මම හිතුවා. නිළියක් නොවුණා නම් මම මොකක් කරාවිද කියලා එකපාරටම හිතාගන්න අමාරුයි. අනිවාර්යයෙන්ම මම මොනවා හරි කරාවි.


රංගනය ඔබේ වෘත්තිය ද?


ඇත්තටම රංගනය මගේ වෘත්තිය කියන්න අමාරුයි. මොකද මම නිතරම නිර්මාණවලට දායක වෙන්නේ නැතිකෙනෙක් නිසා. කොහොමත් ලංකාවේ කාලයක් තිස්සේ මේ පවතින ආර්ථික, දේශපාලනය මත ලංකාවේ රංගනය කියන එක වෘත්තීය මට්ටමේ තියෙනවා කියලා මට කොහොමත් කියන්න අමාරුයි. ඉතින් ඒ නිසා නිර්මාණ කොහොමත් තෝරාගෙන බේරාගෙන කරන මම වගේ පුද්ගලයෙක්ට රංගනය මගේ වෘත්තිය කියලා කියන්න අමාරුයි. දැනට මේ දේවල් විතරයි කරන්නේ.


වැඩිපුර ආදරේ වේදිකාවට ද?


ඇත්තටම මම වේදිකාවටයි, සිනමාවටයි එකහා සමානව ආදරෙයි.


ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ?


ප්‍රේක්ෂක ආදරය තමයි මම හිතන්නේ කලාකරුවකුට තියෙන ලොකුම වටිනාකම. මොකද ගොඩක් වෙලාවට නිර්මාණ හරහා අපි කොච්චර දක්ෂ වුණත් ප්‍රේක්ෂක ආදරය නැතිනම් වැඩක් නැහැ කියලා එකක් හිතෙනවා. ප්‍රේක්ෂක ආදරය කියන්නේ මෝටිවේෂන් එකක්. ඉතින් ප්‍රේක්ෂක ආදරය හරි වටිනවා. ඒ ආදරය නැතිව කලාකරුවකුට ඉන්න ටිකක් අමාරුයි. හැබැයි ප්‍රේක්ෂක ආදරය නැතිව කිසිදෙයක් කරන්න බැහැ කියලා එකක් නැහැ. නමුත් ප්‍රේක්ෂක ආදරය ලැබුණොත් තමන් කරන වැඩේ ඊටත් වඩා හොඳින් සතුටින් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.


විශේෂ වූ ආදරයක් ගැනත් හිතන්න කාලය හරි නේද?


ඇත්තටම මට මේ වෙනකොට විශේෂ වූ ආදරය කියලා එකක් නැහැ. මට විශේෂ ආදරයකට තවමත් ඉන්නේ මගේ පවුලේ අය සහ මගේ සුරතල් සතුන් ටිකයි.


දිනේෂ් විතාන



Previous Post Next Post