ඔහු, බුද්ධාලම්භන ප්‍රීතියෙන් අපගේ හදවත් පහන් කරමින් මනරම් ගී ගැයූ “මොහිදින් බෙග්” නමැති අපූරු ගායන ශිල්පියාගේ ආදරණීය පුත්‍ර රත්නයයි. අද හදසර කතාබහ “ඉෂාක් බෙග්” ගායන ශිල්පියා සමඟයි.
අපි මුලින්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරමු?
මේ වෙනකොට නම් මගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තැනක තියෙන්නෙ. අංශභාග රෝගය හැදිලා රාගම රක්තවාතවේදී සහ පුනරුත්ථාපන රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් ඉන්නවා. එකපාරටම ඔළුවට ‘ස්ට්‍රෝක්’ එකක් ආවා. කලින් මෙහෙම වෙලා නෑ. මම ඔස්ට්‍රේලියා ගිහින් ඇවිත් සතියකින් වගේ තමයි අසනීප වුණේ. දැනට මම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් ඉන්නවා. තවම සම්පූර්ණ සුවය ලබා නැහැ. රෝහලේ ඉන්න අතරෙදි ව්‍යායාම කරනවා. තවත් මාස කිහිපයක් රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට සිදුවේවි කියලයි කියන්නෙ.
ඔබ රෝහල්ගත වී සිටින අතරතුර ගීත ගායනා කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ඒ ගැනත් කතා කරමු?
කලා සංගමයේ සභාපතිතුමා ඇතුළු හිතවතුන් කිහිප දෙනෙක් මාව බලන්න රෝහලට ආවා. ඒ අවස්ථාවේදී මම ඔවුන් එක්ක එකතු වෙලා ගීතයක කොටසක් ගායනා කළා. ඒ වීඩියෝව සමාජ මධ්‍යයේ පළ කරලා තියෙන්නෙ මම අසනීපයෙන් බව මගේ රසික රසිකාවියන්ගේ දැනුවත් වීම සඳහා. ඒකෙන් පස්සෙ මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය කතා කරලා මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. රසික ආදරය මට ගොඩක් වටිනවා.
සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔබ කලා කටයුතුවලින් ඈත් වේවිද?
නැහැ. මම කලාව අතහරින්නෙ නෑ. ගායනය සහ මම කියන්නෙ ගහට පොත්ත වගේ. වෙන් කරන්න බැහැ.
ගායන ශිල්පියෙක් ලෙස මෙතෙක් ආ ගමන ගැන කතා කළොත්?
තාත්තා නැතිවුණාට පස්සෙ මම එයාට ලැබිලා තිබුණු සංගීත ප්‍රසංග දෙකකට ගීත ගායනා කළා. මගේ ගායනයත් සමඟ තාත්තට හිටපු රසික පිරිස මාවත් ඒ වගේම ආදරයෙන් පිළිගත්තා. එතැනින් පටන් ගත්ත ගමන තමයි අද වෙනකොට මෙච්චර දුරක් ඇවිත් තියෙන්නෙ. ඊට පස්සේ විදේශ ගතවෙලා මම ගායන ප්‍රසංග පැවැත්වුවා. තාත්තගේ ගීත වගේම මගේම ගීතත් විශාල සංඛ්‍යාවක් මම මේ වන විට ගායනා කරලා තියෙනවා.
ඔබගේ පියා, දිවංගත මොහිදින් බෙග් මහත්මයා විශාල රසික ගෞරවාදරයට පාත්‍ර වූ ගායන ශිල්පියෙක්. ඔහු ගැනත් මතක සටහනක් තබමු?
තාත්තා අද හිටියනම් මාව දැකලා අඬයි, පුතේ මොකද වුණේ කියලා. එයා හරිම ආදරණීය තාත්තා කෙනෙක්. අපි පුංචි කාලෙ ඉඳලම තාත්තා පවුලට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ වගේම තාත්තා රසිකයන් අතර ජනප්‍රිය වුණේ බුදු ගුණ ගීත ගායනා කරලා. ඇත්තටම මට මගේ තාත්තා ගැන ගොඩක් සතුටුයි. මොකද තාත්තට ජාති, ආගම් භේදයකින් තොරව හැමදෙනාගේම ආදරය, ගෞරවය ලැබෙනවා. අද තාත්තා අපි අතර නැහැ. හැබැයි මම හිතනවා ඔහු මා ඇතුළු හැමදෙනාගේම හදවත්වල අදටත් අමරණීයව ඉන්නවා කියලා.
ගායන ශිල්පියෙක් ලෙස ඉදිරියට යන්නට ඔබට පියාගෙන් ලැබුණු සහය මොන වගේද?
මම තාත්තගේ ගීත ගායනා කරනවා. මගේ තාත්තා ජනතාවගේ හදවත් දිනාගත්ත කෙනෙක්. ඔවුන් තාත්තට වගේම එයාගේ ගීතවලටත් විශාල වශයෙන් ආදරය කළා. ඉතින් මම එයාගේ ගීත ගායනා කරනකොට, ඒ ලැබුණු ආදරයම මටත් ලැබෙනවා. බොහෝ දෙනා මාව හඳුනා ගත්තෙ මොහිදින් බෙග් මහත්මයාගේ පුතා විදිහට. ඇත්තටම ඒකට තාත්තාගෙන් ලැබුණු උතුම් දායාදයක්.
ඔබට මොහිදින් බෙග් මහත්මයා සමඟ ඇති අමරණීය මතකයක් ආවර්ජනය කරමු?
මට තාත්තා ගැන තියෙන හැම මතකයක්ම ගොඩක් වටිනවා. තාත්තා අපිව ගොඩක් ආදරයෙන් බලා ගත්තා. අධ්‍යාපනය ලබා දුන්නා. මම සංගීත ක්ෂේත්රයට එන්න කලින් තාත්තා මාව හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් කළා. මගේ තාත්තා නිතරම කියපු දෙයක් තමයි, “පුතේ අන්තිම සිංහලයත් ජීවත් වෙනකම් උඹලා බඩගින්නෙ ඉන්නෙ නෑ” කියන එක. ඇත්තටම මගේ තාත්තට වැඩිපුර ආදරය ලැබුණේ සිංහල ජනතාවගෙන්. තාත්තත් ඒ වගේම සිංහල ජනතාවට ගොඩක් ආදරය කළා.
අනාගතයේ ඔබගේ ගායන වෘත්තිය සහ සංගීත වැඩසටහන් සැලසුම් ගැනත් කතා කරමු?
මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මගේ තාත්තාට උපහාර පිණිස ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම. ඒ ”බෙග් රාත්‍රිය”. ඒක ජනතාව අපේක්ෂා කරපු දෙයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා, සනීප වෙලා ඇවිල්ලා “බෙග් රාත්‍රිය” ඉතාමත් ලස්සනට පවත්වන්න.
ඔබට ආදරය කරන රසිකයන් ගැන ඔබට කියන්න තියෙන්නෙ මොනවද?
ඇත්තටම මගේ තාත්තත් මමත් මේ විදිහට ප්‍රසිද්ධියට පත්වෙලා ඉන්නෙ ශ්‍රී ලංකාවේ ඉන්න අපේ රසික රසිකාවියන් නිසයි. ඉතින් මම අපේ රසික රසිකාවියන්ට ගොඩක් ස්තූතියි කියනවා. ආදරෙයි කියනවා. මම අසනීප වෙලා ඉන්නකොට මගේ රසිකයන් බොහෝ පිරිසක් මට කතා කරලා ඉක්මනට සනීප වෙන්න කියලා ආශිර්වාද කළා. සුබ පැතුවා. මම සනීප වෙලා එනකම් බලාගෙන ඉන්නවා කියලා කියපු බොහෝ පිරිසක් ඉන්නවා. මාව බලන්න රෝහලට ආපු අය ඉන්නවා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා තාත්තාට වගේම මටත් මේ ලැබෙන ආදරය ගැන.
වර්තමාන තරුණ ගායන පරපුරට ඔබ දෙන උපදෙස් මොනවද?
වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් ගායනයට යොමුවෙලා ඉන්නවා. ඇත්තටම ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා, ඇතැම් තරුණ තරුණියන් ගායනය ගැන නිසි අවබෝධයක් නැතිව කටයුතු කරනවා. ගීත විකෘති කරනවා. මගේ තාත්තාගේ වගේම තවත් ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ගීත විකෘති කරමින් ගායනා කරනවා. ඇත්තටම ඒක නොවිය යුතු දෙයක්. ඒක අලුත් ගායන ශිල්පීන්ගේ ලොකු අඩුපාඩුවක්. තමන්ගේ දක්ෂතාවය හදාගෙන කලාවට ප්‍රවේශ වෙන එකයි වැදගත් වෙන්නෙ. එතකොට අලුත් දූ දරුවන්ට දිගු ගමනක් යන්න පුළුවන්. ඒ නිසා අලුතින් ගායන ක්ෂේත්රයට එන තරුණ තරුණියන්ට මම කියන්නෙ තමන්ගේම ගමනක් හදාගන්න නම් ගායනය කියන දේ හොඳට අධ්‍යයනය කරලා, හදාරලා, පුහුණු වෙලා කරන්න ඕනෑ.
සුමියුරු ගී නදින් හදවත්වල ලැගුම්ගත් ඉෂාක් බෙග් ආදරණීය ගායන ශිල්පියාණෙනි, හදසර අපි ඇතුළු ශ්‍රී ලංකාවාසී සියලුම රසික ජනතාව ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!
• මංගලා පවිත්‍රානි