සිංහල සිනමාවට දවසින් දවස අලුත් තරු පායනවා. 2024 අවසන් වෙලා 2025 උදාවෙන්න ඔන්න තව දවස් දෙකයි තියෙන්නේ. 2025 ආරම්භ වෙලා දවස් දෙකක් ගතවුණාට පස්සේ ඒ කියන්නේ හරියටම 03 වැනිදා සිංහල සිනමාවට තවත් අලුත් තරුවක් පායනවා. කවුද මේ අලුත් තරුව. මේ තරුව තමයි අද අපේ මීවිත මුල් කවරය සරසලා තියෙන්නෙත්. හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ අශෝක් ජයකොඩි නිෂ්පාදනය කළ ‘රෝස ආදරේ’ තමයි 2025 වසරේ මුලින්ම සිනමාව සරසරන්න සූදානමින් ඉන්නේ. ඉතිං රෝස ආදරේ එක්ක 2025 වසරේ සිංහල සිනමාවට පායන අලුත්ම තරුව තමයි නිසල හෙට්ටිආරච්චි. 2025 සිනමාවට පායපු අලුත්ම තරුව නිසල සමගයි මේ කතාබහ.
“ඇත්තටම සතුටුයි. මේක පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක්. මගේ ජීවිතයේ හීනයකට කියලා තිබ්බේ සිනමාවට එනවා කියන එක විතරයි. රෝස ආදරේ සමග සිනමාවට එන්න ලැබීම ගැන හිතාගන්න බැරි තරම් ලොකු සතුටක් මේ වෙලාවේ මට දැනෙනවා”.
මේ සිහිනය සැබෑ වුණේ කොහොමද?
මේක නිකං ඉඳලා සැබෑ වුණ හීනයක් කියලත් කියන්න බැහැ. මම පුංචි කාලේ ඉඳලා හරිම කටුක මාර්ගයක තමයි ආවේ. පුංචි තිරයටත් වඩා මම වැඩිපුර ආදරේ කළේ සිනමාවට. මගේ පවුලේ ගොඩක් අය සිනමාවට ආදරෙයි. ඉතිං මම පුංචි කාලේ ඉඳලා දකින්නේ, බලන්නේ සිනමාවට කැමැති දේවල්. ඒක හින්දා කවදා හරි දවසක සිනමා තරුවක් වෙනවා මිනිස්සුන්ගේ ආදරය දිනා ගන්නවා කියන තැන තමයි හිටියේ. ඒ හීනයට යන පාර හොයාගෙන යද්දී තමයි ‘රෝස ආදරේ’ හමුවුණේ.
පාසල් එහෙම ගියේ ?
මම පාසල් ගියේ තර්ස්ටන් විද්‍යාලයට. 3 වසරේදී පාසලේ උදෑසන රැස්වීමේදී පාන තියා බුදු සාදුට හිමිදිරියේ කියන ගීතයට නර්තනයක් ඉදිරිපත් කරන්න මට අවස්ථාව උදාවුණා. ඒ ඉදිරිපත් කිරීම සිදු කළාට පස්සේ අනෝමා විජේසිංහ නාට්‍ය ගුරුතුමිය මාව පාසලේ නාට්‍ය අංශයට තෝරාගත්තා. එතැනින් පස්සේ මට තවත් සිනමාවට තිබුණ ආසාව වැඩිවුණා.
2025 වසරේ මුලින්ම සිනමාවට පායන තරුව ඔබ?
රෝස ආදරේ කියන්නේ තාරුණ්‍යයත් එක්ක යන සිනමා නිර්මාණයක්. ඒ වාගේම වාණිජමය මට්ටමේ සිනමා නිර්මාණයක්. මෙහි අධ්යක්ෂ හර්ෂ උඩකන්ද මහත්මයාත් හොඳ සිනමා නිර්මාණ හතක් නිර්මාණය කරපු තරුණ දක්ෂ අධ්යක්ෂවරයෙක්. ඒ වගේම තමයි මෙහි නිෂ්පාදක අශෝක් ජයකොඩි මහත්මයාත්. අපිට ඔහුගෙන් හොඳ සහයෝගයක් ලැබුණ මේ සිනමා නිර්මාණය සාර්ථකව අවසන් කරගන්න. රෝස ආදරේ සමග මගේ සිනමා ගමන ආරම්භ කිරීම ගැන මම ඇත්තටම සතුටුවෙනවා.
රෝස ආදරේ හමුවන්නේ කොහොමද?
මම හර්ෂ උඩකන්ද අධ්යක්ෂවරයාගේම ලොක්කිගේ කතාව කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. මේ නාට්‍යයේ ගීතයක් තිබුණා. ඒක අපි මහන්සිවෙලා නිර්මාණය කළා. ඊට පස්සේ තමයි හර්ෂ උඩකන්ද මහත්මයා කිව්වේ මගේ ඊළඟ චිත්‍රපටයට මාව ගන්නවා කියලා. ලොක්කිගේ කතාව අවසන් වෙනවාත් එක්කම රෝස ආදරේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමාගෙන් මට දුරකථන ඇමතුමක් එනවා අපේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට ඔබ ගන්න තීරණය කළා. ඒ පිළිබඳව සාකච්ඡා කරගන්න එන්න කියලා. ඔන්න ඔහොම තමයි මට අන්තිමේ රෝස ආදරේ හමුවෙන්නේ.
නිසල් මේ දවස්වල රිදී තිරයේ දිනක්ෂිගේ පෙම්වතිය?
ඇත්තටම ගොඩක් සතුටුයි. දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඒ වගේ රංගන ශිල්පිණියක් සමඟ මගේ ප්‍රථම සිනමා නිර්මාණය කරන්න ලැබීම ගැන සතුටුයි. ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. තිරයේදී දකින මගේ පෙම්වතිය විදිහට රූගත කිරීම්වලදීත් ලොකු සහයෝගයක් ලැබුණා.
රෝස ආදරේ රූගත කිරීම්වලදී මුහුණදුන් අභියෝග?
රෝස ආදරේ මට හම්බවෙනකොට මම චිත්‍රපටවල රඟපාලා නැහැ. ටෙලිනාට්‍යවල විතරයි රඟපාලා තිබුණේ. රිදී තිරයේ වැඩ කරනවා කියන එකම ලොකු අභියෝගයක්. මම හරියට රඟපෑවෙ නැත්නම් චිත්‍රපටය තිරගත වෙන දවසට මම ෆේල්වෙනවා. මගේ පළමු චිත්‍රපටයෙන්ම මම ෆේල්වෙන්න කැමැති වුණේ නැහැ. ඒ හින්දා ගොඩක් දේවල් අධ්‍යයනය කරමින් පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තු දේවල් පාවිච්චි කරමින් අධ්යක්ෂ හර්ෂ උඩකන්ද සමගත් කතාබහ කරමින් මගේ වැඩේ මම උපරිමයෙන් සිදුකළා. රෝස ආදරේ කියන්නේ අපි බැහැලා කරපු වැඩක්.
සිනමාවට අලුත් ආරාධනා ලැබිලා තියෙනවාද?
ඔව්. මේ වෙනකොට සිනමාපට දෙකක වැඩකටයුතු ආරම්භ කරලයි තියෙන්නේ.
2025 අවුරුද්දේ ගැන මොකද හිතන්නේ?
ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන අවුරුද්දක් කියලත් පැහැදිලිවම පේන්න තියෙනවා. ස්වභාදහම විසින් ලබාදුන්න තෑග්ග හරියට පාවිච්චි කරලා ප්‍රේක්ෂකයන්ට හරි දේ හරි විදිහට දෙන්න තමයි සූදානම් වෙන්නේ. 2025 පටන් ගන්නකොටම රෝස ආදරෙන් මගේ සිහිනය සැබෑවෙනවා.
ඔබව මිනිස්සු මොනවිදිහට පිළිගනීවිද?
මම විශ්වාස කරන දෙයක් තියෙනවා. හැමෝම මාව අවාබෝධ කරගෙන සියයට සියයක් පිළිගන්න එකක් නැහැ. ඒක බුදුරජාණන්වහන්සේටත්, ජේසුතුමාටත්, අල්ලා දෙවියන්ටත් වුණත් පොදුයි. මාව සියයට සියයක් විශ්වාස කරාවි කියලා කොයිමවෙලාවකවත් මට කියන්න බැහැ. ඒ වුණාට යම් පිරිසක් මාව අවබෝධ කරගනීවි කියලා හිතනවා. 2025 මගේ ආරම්භය කියලා තමයි කියන්න තියෙන්නේ.
දිනේෂ් විතාන