ඉස්සර මගේ වගේ ප්‍රතිරූප රංගනයට ගැළපුණේ නෑ- ප්‍රියන්ත සිරිකුමාර

 


ඔහු ලාංකේය ටෙලිනාට්‍ය කලාව සහ සිනමාව තුළ තම අනන්‍යතාව සනිටුහන් කළ කලාකරුවෙක්. එමෙන්ම තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ ලොකු අයියා, බොහීමියානුවා ටෙලිනාට්‍යයේ චොප්‍රා අයියා වැනි චරිත හරහා ප්‍රේක්ෂක සන්තානය කැලඹූ රංගන ශිල්පියෙක්. කෙසේ වෙතත් ඔහුගේ රූපකාය ලාංකේය ප්‍රේක්ෂකයාට මේ වන විට එතරම් ආගන්තුක නැහැ. අද එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර. මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දිනවල මම රංගනයෙන් දායකත්වය සපයන ජෝ දිසානායක අධ්‍යක්ෂණය කළ බැක්සයිඩ් ටෙලි නාට්‍ය සහ කෝරලගේ සමන් අධ්‍යක්ෂණය කළ අමුතු දොස්තර කියන ටෙලි නාට්‍ය දිත්වය විකාශය වෙනවා. අමුතු දොස්තර ටෙලි නාට්‍යයට වගේම බැක්සයිඩ් ටෙලි නාට්‍යයටත් ඉතා හොඳ ප්‍රතිචාර තිබෙනවා. මම රංගනයෙන් දායකත්වය සපයන බොහෝ නිර්මාණ දැන් ටෙලිවිෂනය ඔස්සේ විකාශය වුණාට. ඇතැම් නිර්මාණ බොහෝ කලකට කලින් රූගත කිරීම් සිදු කරපුවා ඉතින් මේ දවස්වල ලොකු කාර්‍ය බහුලත්වයක් නැහැ.


අමුතු දොස්තර ගැන කතා කරමු?


අමුතු දොස්තර ටෙලි නාට්‍ය කෝරලගේ සමන්ගේ අධ්‍යක්ෂණයක්. කෝරලගේ සමන් කියන්නේ විශිෂ්ට නිර්මාණකරුවෙක්. අපි වගේම බොහෝ කාලයක් පුරා මේ ක්ෂේත්‍රයේ විසල් අයුරින් දුක් කම්කටොලු විඳිමින් බොහෝ දේ හැදෑරූ විශිෂ්ට කලාකරුවෙක්. කෝරලගේ සමන් මේ නිර්මාණය කරන්න විඳින්න ඕන හැම දුකක්ම වින්දා නිෂ්පාදකයෙක් සොයා ගන්න අපමණ වෙහෙසක් දැරුවා. කොහොම හරි අමුතු දොස්තර කියන්නේ වෙනස් ආකාරයක නිර්මාණයක්. අලුත් නිර්මාණකරුවන් වෙනත් මානයකින් ලෝකය දෙස බලනවා. මෑත කාලයේදී තණමල්විල කොල්ලෙක්, කූඹියෝ, සහෝදරයා වගේ කලාත්මක ගණයේ නිර්මාණ ප්‍රේක්ෂකයාගේ දැඩි කතාබහට ලක් වුණා. සමාජ මාධ්‍යජාලා හරහා ඒවා ගැන විචාර කිරීම පවා සිදු වුණා. අමුතු දොස්තර කියන්නෙත් ඒ වර්ගයේ ටෙලි නාට්‍යයක්.


අමුතු දොස්තර හරහා ලාංකේය රාජ්‍ය සේවයේ හරස්කඩක් විවර කරනවා මේ පිළිබඳව ඔබේ අදහස?


විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ ටෙලි නාට්‍ය හරහා කිසිදු ලෙසකින් රාජ්‍ය සේවය විවේචනය කරන්න උත්සාහ දරලා නැහැ. රෝහල් ක්ෂේත්‍රය තුළ සිටින බහුතරය ඉතා ගුණ යහපත් නිලධාරීන්. ඔවුන් සුනාමි ව්‍යසනයේදී රට වෙනුවෙන් කැපවුණු ආකාරය ඉතා අගය කළ යුතුයි. මෙයට තවත් නිදසුනක් ලෙස පසුගිය කොරෝනා කාලය තුළ රටේ සුබසාධනය උදෙසා ඔවුන් මහත් ශ්‍රමයක් දරපු ආකාරය අපිට අමතක කරන්න බැහැ. නමුත් ඉතා සුළුතරයක් සිටිනවා මේ ක්ෂේත්‍රයන් විනාශය කරා ගෙනයන. අපි ඒ සුළුතරය හඳුනා ගන්න ඕන. නැත්නම් ඔවුන් බෝ වෙලා ව්‍යාප්ත වෙන්න පුළුවන්. එහෙම වුණොත් සමස්ත පද්ධතියටම ඉන් හානියක් සිදු වෙන්න පුළුවන්. මේක හුදු සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතාබහ කරන ටෙලි නාට්‍යයක් නෙවෙයි. මේ නිර්මාණය හරහා රටේ සමස්ත පද්ධතිය තුළ තිබෙන ගැටලු පිළිබඳව කතාබහට ලක් වෙනවා.


බැක්සයිඩ් ගැන කතා කරනවා නම්?


ජෝ දිසානායක අධ්‍යක්ෂණය කළ බැක්සයිඩ් කියන්නේ සමාජය දෙස නව මානයකින් බලන්න මං විවර කරන නිර්මාණයක්. සමාජ මාධ්‍යජාලා අද සමාජයට කරන බලපෑම සහ විසල් ගැටලුවක් වෙලා තිබෙන ලිංගිකමය කාරණා පිළිබඳව ඉතා ගැඹුරින් විවරණය කිරීම මේ නිර්මාණය හරහා සිදු වෙනවා.


ඔබ රංගනයෙන් දායකත්වය සැපයූ පීතෘ සහ බැක්සයිඩ් අතර යම් සමානත්වයක් තිබෙනවා නේද?


ඔව් ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ පීතෘ තුළ කතාබහට ලක් වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ලිංගික ගැටලුවක් ඇති වුණු තරුණියකගේ පියෙක්ගේ කතාවක්. බැක්සයිඩ් තුළ කතාබහට ලක් වෙන්නේ එවැනි ගැටලුවක් ඇති වුණු බිරියකගේ ස්වාමිපුරුෂයෙක්ගේ කතාවක්. මේ විධියට බලනකොට මේ නිර්මාණයන් දෙක අතර යම් සමානතාවක් තිබෙනවා. වර්තමාන යුගයේදී සමාජ මාධ්‍ය ජාලා කියන දෙය අපිට නැතිවම බැරි දෙයක් වෙලා. මේ දෙය අපි නිසි අයුරින් කුමන දෙයකටද භාවිත කරන්නෙ කියන එක ගැන අපි දැනුවත් වෙන්න ඕන. ඒ වගේම ලිංගිකත්වය වගේ කාරණයක්


පිළිබඳව අපි සංවේදීව සිතා බලන්න ඕන. විවිධ මිනිසුන්ගේ ලිංගික හැසිරීම් ගැන අපි විවේචනයකින් තොරව කතාබහ කරන්න ඕන. සමාජ මාධ්‍ය හරහා ලිංගිකමය ගැටලු රැසක් ඇති වී තිබෙනවා. ඒ අපි සමාජ මාධ්‍ය අනිසි දේ සඳහා භාවිත කරන නිසා. අපේ වගේ රටවල මෙවැනි ගැටලු ඉතා වැඩියි. ඒ වගේම අපේ වගේ රටවල කාන්තාව මෙවැනි ගැටලු නිසා දැඩි ලෙස හිංසාවන්ට පීඩනයන්ට ලක් වෙනවා. ඔවුන් රැකි රක්ෂා කරන ආයතනවලදී පවා මෙවැනි ගැටලුවලට මුහුණ දෙනවා. මේ ගැන කතාබහ කරන නිර්මාණයක් විධියට බැක් සයිඩ් අපිට පෙන්වා දෙන්න පුළුවන්.


ප්‍රියන්ත සිරිකුමාර කියන වේශ නිරූපණ ශිල්පියා ගැන මතකය අවදි කරමු?


මම රංගනයට තිබෙන ආශාව නිසාම මේ ක්ෂේත්‍රයට ආවා. මම මුලින්ම වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ වුණා. එවිට රංගනය පමණක් නෙවෙයි මෙය විශාල පරාසයක් පුරා විහිදෙන විවිධ දේවල් තිබෙන කර්මාන්තයක් කියන දෙය මට වැටහුණා. නළුවෙක් වෙන්න තිබෙන සරල ආශාවට එහා ගිය  ගැඹුරින් පිරි  විෂයක් කියලා මට වැටහුණා. ඉතින් මගේ තිඹිරි ගෙය වුණේ නාට්‍ය කලාව. ඉස්සර මගේ වගේ ප්‍රතිරූපය රංගනයට ගැළපුණේ නැහැ.


නමුත් කල්යත්ම පෙනුම කියන දෙය එයට බලපාන්නේ නැති බව මට වැටහුණා. පසුකාලීනව අපිව එහෙම පෙනුම කියන දෙය රංගනයට බලපාන්නේ නැති බව ප්‍රේක්ෂකයාට වටහා දුන්නා. මේ විෂය ක්ෂේත්‍රය තුළ විශාල කාලයක් රැඳී සිටීමට අවශ්‍ය නිසා තමයි මම මේ ශිල්පය ප්‍රගුණ කළේ. දැන් මම ටෙලිනාට්‍ය කලාව තුළ වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස කටයුතු කරන එක නවත්තලා ගොඩක් කල්. ඒ මම රැඳී සිටින ක්ෂේත්‍රය තුළ කාර්ය ගොඩක් කිරීම උචිත නැහැ කියා මට සිතෙන නිසා. නමුත් මම වෙළෙඳ දැන්වීම් කර්මාන්තය තුළ වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.


සිඩ්නි ඩයස් සහ වාලම්පූරි ගැන කතා කරනවා නම්?


මම මේ ක්ෂේත්‍රය තුළ විශාල කාලයක් කටයුතු කළා. නමුත් මේ වන විට මම දායකත්වය සපයන නිර්මාණ විශාල ප්‍රමාණයක් නිකුත් වීමට නියමිතව තිබෙනවා. අපි එකපාරටම එහෙම තැනකට ආවේ නැහැ. ඒකට යම් කාලයක් ගත වුණා. ඉතින් මම රංගනයෙන් දායක වුණු ඉදිරියේදී තිරගත වීමට නියමිත නිර්මාණයක් තමයි වාලම්පූරි කියන්නේ. ලක්මාල් ධර්මරත්න කියන්නේ ඉතා විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්. ඔහුට ලෝකයත් සමඟ තරග කිරීමට හැකි විසල් විභවයක් තිබෙන නිර්මාණ කිරීමේ හැකියාවක් තිබෙනවා. වාලම්පූරි කියන්නෙත් එහෙම නිර්මාණයක්. ඉතින් එය තිරගත වනතුරු ආශාවෙන් බලා සිටිනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කියමු?


මම රංගනයෙන් දායකත්වය සැපයූ නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙනවා. ලක්මාල් ධර්මරත්නගේ වාලම්පූරි, අනුර ජයවර්ධනගේ මාරියා, ලලිත් රත්නායකගේ රිවස්ටන් ඇතුළුව සිනමා නිර්මාණ 6ක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.


ගිහාන් සචින්ත



Previous Post Next Post