මේ දිනවල ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන ‘ජීවිතයට ඉඩදෙන්න’ වැඩසටහන ඔහුට සුවිශේෂියි. එකී සුවිශේෂත්වයට හේතුවක් වනුයේ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළියක වන ඉෂාරා සඳමිණීත් සමඟම එම වැඩසටහන ඉදිරිපත් කිරීම හේතුවෙනි…. ඉෂාරාගේ සැමියා ලෙසද හඳුන්වන එසේත් නැතහොත් නිවේදකයකු, රංගන ශිල්පියකු, මාධ්‍යවේදියකුද ලෙස ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන ඔහු නමින් අනුර පතිරණයි….වෘත්තියෙන් නීතිඥවරයකු වන හෙතෙම සිය කලා නිර්මාණ දිවිය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.
මේ දිනවල ඔබේ නවතම නිර්මාණ කාර්යයන් මොනවාද…..?
සුපුරුදු විදිහටම “ජීවිතයට ඉඩදෙන්න ” වැඩසටහන කරගෙන යනවා. විශේෂම කාරණය තමයි මගේ බිරිඳ වන ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණී එක්ක වැඩසටහන කරගෙන යාම. සතියට දවස් 3ක් මේ වැඩසටහන කරනවා, ඒ සඳුදා, බදාදා, සිකුරාදා දිනවල. “ජීවිතයට ඉඩදෙන්න “වැඩසටහන එක්ක දිගටම ඉන්නවා. ඒවගේම මගේ රංගනය ඇතුළත් අකිල සඳකැලුම් අධ්‍යක්ෂණය කළ “හදගැස්ම” චිත්‍රපටයත් මෑතකදී ප්‍රදර්ශනය ආරම්භ කළා. ඒවගේම ලාල් ප්‍රියදේවගේ “නුහුරු වෑයම” චිත්‍රපටයේත් මම සුවිශේෂී චරිතයක් කළා. ඒකත් ඉක්මනින් ප්‍රේක්ෂකයාට බලාගන්න පුළුවන් වේවි. ටෙලිනාට්‍ය කිහිපයකටත් රංගනයට ආරාධනා ලැබුණා. ඒදේවල් සමඟත් එකතුවෙන්න බලාපොරොත්තු වෙනවා
රංගන කාර්යයේදී ඔබට හමුවූ සුවිශේෂී පුද්ගල චරිත ගැන සිහිපත් කරනවා නම් ……..?
එහෙම සුවිශේෂී චරිත රැසක්ම ඉන්නවා. මගේ රංගනය ඇතුළත් පළමු චිත්‍රපටය තමයි “සර් ලාස්ට් චාන්ස්” චිත්‍රපටය. රෝයිද සිල්වා මහතායි මට එයට ආරාධනා කළේ. එහි සුවිශේෂී චරිතයක් මම කළේ. එහිදී විජය නන්දසිරි, ලකී ඩයස්, පාලිත සිල්වා, සනත් විමලසිරි, රොඩ්නි වර්ණකුල, නිලන්ති ඩයස්, අර්ජුන් කමලනාත්, ප්‍රියන්න සෙනෙවිරත්න, ප්‍රියන්ත පතිරගේ වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන්ගේ ඇසුර ලබන්නට මම වාසනාවන්ත වුණා. එහිදී අපට බොහෝදේ කතාබහ කරන්න ඉඩහසර ලැබුණා. මම නිවේදනයටත් කැමැතියි. එහි මගේ වීරයෙක් වුණේ හේමනලින් කරුණාරත්න මහතා. ඔහු තමයි මගේ ගුරුවරයා. එහිදී එතුමා මට බොහෝදේ කියාදුන්නා. ඔහුගේ ඇසුර, ආභාසය වගේම මට ඔහු කියාදුන් පාඩම් 2007 ජනවාරි 01වැනිදා සිට අද වනතුරු නිවේදකයකු ලෙස මා ආ මේ ගමන ඒමට විශාල රුකුලක් වුණා. චන්දන සූරියබණ්ඩාර මහතාවත් මතක් කරන්න ඕනේ. අපි නිවේදකයන් ලෙස එළියට එන්න හදන කාලයේ සිටම අද දක්වාම ඔහු අපේ ප්‍රධානියෙක්. එතුමාගේ රටාවට, ශෛලියට මම හරිම ප්‍රිය කරනවා . ඔවුන් මගේ කලා දිවියේ විශාල රුකුලක් දුන් කලාකරුවන්
ඔබේ කලා දිවියේ ආරම්භක අවධියට ගියොත්…..?
1999 තුරුණු ශක්ති වේදිකාව මෙහිදී සිහිපත් කරන්න ඕනේ…එහි පළමු තරගය තිබුණේ මගේ පාසල වන පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. එහි මම ජයග්‍රාහකයෙක්.. එතැනින් තමයි මගේ කලා දිවියේ ආරම්භය සිදුවුණේ. ඉන්පසු මම විවිධාකාර උත්සහයන් දැරුවා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට පැමිණියාට පසුවත්. ඒ වෙනුවෙන් නිෂ්පාදන ආයතනවලට ගියා. සම්මුඛ පරීක්ෂණවලට පෙනීසිටියා. වෙළෙඳ දැන්වීම්වල පෙනීසිටියා. ඒවගේ බොහෝදේවල් කළා. ඉන්පසු “සරසවියෙන් ස්වර්ණවාහිනියට” නමින් නිවේදකයන් බඳවාගැනීමේ තරගයක් තිබ්බා. ඒ 2006දී. ඒ තරගයට බොහෝඅය පෙනීසිටියා. එහි සිටින අය තෝරාගෙන තෝරාගෙන අවසානයේ මට තමයි එහි පළමු වැඩසටහන ලැබුණේ. ඒ 2007 ජනවාරි 01වැනිදා. නිවේදකයකු ලෙස මගේ මංගල පියවර එලෙස තැබුවේ “මල් මිටියාවත” නම්වූ ස්වර්ණවාහිනියේ විකාශය වූ වැඩසටහනේ නිවේදන කාර්යය සිදුකිරීම තුළිනුයි….රංගන ශිල්පියකු ලෙස සුරංජන් විජයනාම අධ්‍යක්ෂණය කළ “මකර දඩයම” චිත්‍රපටයේ ඉතා සුළු චරිතයක් කළා. ප්‍රධාන චරිතයක් කළේ රෝයිද සිල්වාගේ”සර් ලාස්ට් චාන්ස්” චිත්‍රපටයේදී. ටෙලිනාට්‍ය ගත්තොත් මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය වුණේ ලිලන්ත කුමාරසිරිගේ “මුතු කිරිල්ලි” ටෙලිනාට්‍යය…
පාසල් සමයේත් කලා කටයුතුවලට එක්වුණාද …..? ඒවායින් ජයග්‍රහණ එහෙමත් ලබලා ඇති……?
පාසලේදී මම නිවේදකයා. නිවේදන කටයුතු රැසක්ම සිදුකළා….පාසල්, දහම් පාසල් නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒවා නිර්මාණය කළා. කථික තරඟ, විවාද කණ්ඩායම්වල සිටියා.. ජයලත් මනෝරත්න මහතා මගේ පියාගේ යාළුවෙක්. මනෝරත්න මහතායි, නිමල් සේදර මහතායි අපේ තාත්තයි නුවරඑළියේ එක බෝඩිමක ඉඳලා තියෙනවා. තාත්තා ඒ ගැන කියනවා. මම කුඩා කාලය් ඉතින් මනෝ අන්කල්ට ලියුම් ලියනවා. මගේ ඔළුවට එන ටෙලිනාට්‍ය, චිත්‍රපට ගැන අදහස් එහෙම ලියනවා. ඒවගේම එතුමා මට පිළිතුරු එවනවා. මට මේ මේ දේවල් කරන්න කියලා, වේදිකා නාට්‍යයක් හදන්න කියලා එහෙම කියනවා. ඒ අදහස් මට කලාකරුවකු වෙන්න ලොකු රුකුලක් වුණා. පාසල් සමයේ තිබූ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වේදිකාව හරිම සුවිශේෂියි. ඒ වේදිකාවේ ආශීර්වාදය මට ලැබුණා කියා මා සිතනවා. තුරුණු ශක්ති නිවේදකයෙක් වෙන්න ලැබුණෙත් උසස්පෙළ පාසල් අවධියේමයි
රංගන කාර්යයේදී අධ්යක්ෂවරයා, තිර රචකයා සහ නිෂ්පාදකවරයා සමඟ ඔබේ ගනුදෙනුව සිදුවන්නේ කෙසේද…..?
රංගනයේදී මට මූලිකව මුණගැසෙන කෙනා තමයි අධ්යක්ෂවරයා. ඔහු තමයි තිර පිටපත ධාරණය කරගන්න කෙනා. ඒ තිර පිටපත ධාරණය කරගෙන ඔහු රංගන ශිල්පීන් හරහා තිර පිටපත ප්‍රේක්ෂකයාට සමීප කරවන්න උත්සහ කරනවා. ඒ නිසා පිටපතත් අනිවාර්යයෙන් වැදගත් වෙනවා. අධ්යක්ෂවරයාගේ දැක්ම තමයි අපි නිරූපණය කරන්නේ තිර පිටපත හරහා. නිෂ්පාදකවරයා අපට වැදගත්. අපේ මේ කාර්තව්යය හරහා නිෂ්පාදකයාගේ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙනවා. නිෂ්පාදකවරයා සමඟ සෘජුව ගැටෙන්නේ අධ්යක්ෂවරයා සහ තිර රචකයා. එතැනදී රංගන ශිල්පීන්ට නිෂ්පාදකවරයා සමඟ සෘජු ගනුදෙනුවක් නැහැ මගේ දැනීමේ හැටියට. අපි අපේ උපරිමයෙන් නිෂ්පාදකගේ මුදල් ආරක්ෂා කරදිය යුතුයි. ඔහුව රැකගත යුතුයි. අධ්යක්ෂවරයා තමයි අපිත් සමඟ මූලිකව එකතුවෙන්නේ.තිර පිටපත් රචකයාත් එහෙමයි. ඔවුන් දෙදෙනා සමඟයි අපේ මූලික ගනුදෙනුව සිදුවෙන්නේ
“ඉෂාරා සඳමිණී” නම් ඔබේ බිරිඳ සමඟ කලා ලොවේ කටයුතු කිරීම ගැන යමක් කීවොත් …..?
ඉෂාරා සමඟ කටයුතු කිරීම මට ගොඩක් පහසුයි…හේතුව මට ඉෂාරාව හොඳට තේරෙනවා වගේම ඇයටත් මාව හොඳට තේරෙනවා . ඒනිසා සමහර දේවල්වලදී හරිම ලෙහෙසියි . ඒවගේම මිනිසුන් අපෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා කියා මට සිතෙනවා.. “ජීවිතයට ඉඩදෙන්න ” වැඩසටහන තමයි අපි දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට කරන්න පටන්ගත්තේ . ටික කාලයක් ගියාට පසුව මිනිස්සු අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. පවුලක් පවුල් එක්ක කතාබහක් හෝ මවුපියන් සමඟ කතාබහක් කියන දේ තුළ ප්‍රේක්ෂකයාට අමුතු රසයක් තිබෙන්නට ඇති..මට ඉෂාරා එක්ක වැඩකිරීම පහසුවක්..ඇයත් සමඟ නිවේදන කටයුතු කිරීමත් හරිම පහසුයි…
මුල්ම රංගන අත්දැකීම සිහිකළොත් ….?
ඒ තමයි “සර් ලාස්ට් චාන්ස්” චිත්‍රපටය . ඒක හරිම සුවිශේෂී දෙයක්…මගේ පළමු චිත්‍රපටය වූ මෙහිදී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මුණගැසෙනවා. ඒක සිනෙ කැමරාවකින් රූගත කළ චිත්‍රපටයක්. රෝයිද සිල්වා මහතා එක්ක මේ චිත්‍රපටය කරන්න ලැබීම හරිම සතුටක්.ඔහු හරිම කාරුණිකව කියාදෙනවා. මේ චිත්‍රපටය මට ලැබුණේම අහම්බයෙන්. ස්වර්ණවාහිනී වැඩසටහන් ප්‍රසන්ට් කරලා මායි සුරංගි කොඩිතුවක්කුයි තේ එකක් බිබී හිටියේ. එහිදී රෝයි ද සිල්වාට වොෂ් රූම් යන්න වෙලා හදිස්සියේ අපි හිටිය හොටෙල් එකට ආවා. එහිදී මාව දැක්ක ගමන් ඔහු කිව්වා ” මගේ ඊළඟ චිත්‍රපටයට ගැළපෙන්නේ ඔයා, එනවද රඟපාන්න “කියලා මම “හා” කිව්වා. එදාම එහි ඔඩිෂන් එකක් තිබ්බා. මම ඇතුළට යද්දිම සෝමා එදිරිසිංහ මහත්මිය කට්ටිය ඉන්ටර්විව් කරනවා. මාව දැක්ක ගමන්ම “මෙයා තමයි වැඩේට හරියන්නේ” කිව්වා. එහෙමයි චිත්‍රපටය ලැබුණේ .එය අමතක නොවන ලොකු අත්දැකීමක් වුණා
“අනුර පතිරණ” නම් රංගන ශිල්පියාව ඔබට දැනෙන්නේ කෙසේද ……?
මට නිවේදන ක්ෂේත්රයේ බොහෝ අවස්ථා ලැබුණා. රංගන ශිල්පියකු ලෙස මම ආස කරන චරිත මට ලැබී නැහැ කියා මම සිතනවා. මගේ වෙනත් වැඩකටයුතු නිසා මට චරිත මඟහැරිලා තියෙනවා. මම ලංකාවේ නොසිටි කාලයක් තිබ්බා. මම හිතනවා මට යමක් කළ හැකියි කියලා. එයට යම් දවසක මට අවස්ථාව ලැබේවි. එකී අවස්ථාව ලැබුණාම “අනුර පතිරණ” නමැති රංගන ශිල්පියා මීටවඩා ඉදිරියට ඒවි
නිවේදන කලාව තුළ ඔබේ භූමිකාව මොනවගේද ….?
මගේ නිවේදනය ඇරඹෙන්නේ පාසල් කාලයේදීමයි. ඉන්පසු තුරුණු ශක්තිවලට සම්බන්ධ වුණා. ඉන්පසු සරසවියෙන් ස්වර්ණවාහිනියට වැඩසටහනට සම්බන්ධ වුණා. ඒකෙදී හරේන්ද්‍ර ජයලාල් අයියා මාව ඉන්ටර්විව් කළේ. ඒකට ගොඩාක් අය අයදුම් කර තිබුණා. එහිදී “මල් මිටියාවත” වැඩසටහනේ මුල්ම වැඩසටහන කරන්න ලැබුණා. ඉන්පසු විවිධ නාළිකාවල මම වැඩකළා. ඊට පසුව මම කාලයක් යම් නිහැඬියාවකින් සිටියා. ඊටත් පස්සේ සිරසෙන් මට අවස්ථාව හදලා දුන්නා. ඉෂාරා එක්ක දැන් වසර 4ක් පුරා “ජීවිතයට ඉඩදෙන්න” නමින් අතිශය ප්‍රේක්ෂක ප්‍රසාදය මධ්‍යයේ ඒ වැඩසටහන කරගෙන යනවා. බොහෝ ප්‍රවීණයන් කළ ඒ වැඩසටහන කරන්න ලැබීම ලොකු දෙයක් වගේම ආඩම්බරයක්. සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සමඟ අපි දෙන්නට ඒ වැඩසටහන කරන්න ලැබුණා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එකතුවෙන් සිදුකරන එකම සහ දීර්ඝතම කාලයක් සිදුකරන වැඩසටහනක් වෙන්න ඕනි මේක. ඒ හරහා අපට බොහෝදෙනා හමුවුණා. බොහෝදෙනා ගැන කතා කළා. එකම රූපවාහිනී වැඩසටහනකටවත් නොගිය පැරණි කලාකරුවන් ගෙන්වලා එයාලගේ ජීවන තොරතුරු ගැන කතා කිරීමේ හැකියාව අපට ලැබුණා.
සිනමාවට ඔබේ දායකත්වය මොනවගේද ….?
ඔව්, මම ටෙලිනාට්‍යවලට වඩා කරලා තිබෙන්නේ චිත්‍රපට. මගේ ආරම්භය “සර් ලාස්ට් චාන්ස් ” චිත්‍රපටය. ඉන්පසු “උදුම්බරා”, මේ දිනවල තිරගත වන “හදගැස්ම” ඉදිරියේදී තිරගතවීමට නියමිත “නුහුරු වෑයම” ආදී චිත්‍රපටවල රඟපෑවා…මම ටෙලිනාට්‍යවලට චිත්‍රපටවලට කැමැතියි කිව්වත් හරි. එහි ඇති සංවිධිතභාවයත් එක්ක තිර පිටපතත් එක්ක එහි රංගනයට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමට ඇති හැකියාව එක්ක චිත්‍රපටයට මගේ කැමැත්ත වැඩියි
ඔබේ බිරිඳ රංගන ශිල්පිනියක්…..ඇගෙන් ඔබේ නිර්මාණ දිවියට ලැබෙන ආලෝකය මොනවගේද …..?
නිවේදනය සහ රංගනය යන ක්ෂේත්‍ර දෙකේම අපි දෙන්නම සක්‍රියව සිටින නිසා අපි දෙන්නට අපි දෙන්නව හොඳට තේරෙනවා. අපි දෙන්නටම දෙන්නගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. අපේ ගෙදර ඉෂාරා අර වැඩේ කළ යුතුයි, මම මේ වැඩේ කළ යුතුයි කියලා දෙයක් නැහැ. දෙන්නම අවස්ථාවත් එක්ක ඒ දේවල් කළමනාකරණය කරගන්නවා. බබාගේ වැඩත් කරනවා…ඒනිසා ඉෂාරාගෙන් මට ලොකු සහයක් ලැබෙනවා. රංගනය පිළිබඳ සමහර අවස්ථාවලදී ඉෂාරාට මට වඩා අත්දැකීම් තිබෙනවා. නිවේදනය පැත්තෙන් ගත්තොත් එහි අනිත්පැත්ත. ඒ නිසා අපි දෙන්නටම අවස්ථාව ලැබෙනවා. ලකී ඩයස් මහතාගේ “සීතල ගිනි දැල්” ටෙලිනාට්‍යයේ අපි දෙන්නම රඟපෑවා. විශ්ව ලංකාගේ “ලේළි” ටෙලි චිත්‍රපටයේත් අපි දෙන්නම රඟපෑවා.
ඔබලාගේ දේශීය වෛද්‍ය නිෂ්පාදන ව්‍යාපාරය ගැනත් කීවොත් ……..?
ඔව්, අපිට අපේ නමින්ම “ආයුර්වේ”කියලා ව්‍යාපාරයක් තිබෙනවා. අපිම අපේ නිෂ්පාදන ප්‍රමාණයක් එළිදක්වනවා. ව්‍යාපාර කටයුතුවල පරිපාලනය, එහි අධ්යක්ෂ ලෙස වගකීම් රැසක් මම සිදුකරනවා. ඒ වෙනුවෙන් මම අධ්‍යාපනයත් ලබා තියෙනවා. දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විවිධ දේ ඉගෙනගෙන තිබෙනවා එහි නිෂ්පාදන කටයුතු පිළිබඳ. මේක අපි දෙන්නම එකතුවෙලා සිදුකරන්න ඕනේ කියන හැඟීමෙන් දෙදෙනාගේම එකතුවෙන් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ
ඔබ දෙදෙනාගේ එකතුවෙන් සිදුකෙරෙන යූ ටියුබ් නාළිකාව ගැනත් ප්‍රේක්ෂකයන් දැනගන්න කැමැති ඇති……?
අපේ යූ ටියුබ් එකත් “ආයුර්වේ” නමින් හඳුන්වලා තිබෙන්නේ. ඒකත් දෙන්නගේම එකතුවෙන් කරගෙන යන්නේ. ඉෂාරා කතා කරන වේලාවට එහි කැමරාව පිටුපස සංස්කරණයෙන් ඉන්නේ මම. මම කතා කරද්දී ඉෂාරා කැමරාව පිටුපසින් ඉන්නවා. කලා ක්ෂේත්රයේ ලද අත්දැකීම් සමඟ එය හරි පහසුවක්. අපේ අරමුණ තිබෙන්නේ මේ රටේ මිනිස්සුන්ට යම් වටිනාකමක් සහිත දෙයක් ලබාදීමයි…
ලේඛන කලාවට නැඹුරුවූයේ නැද්ද….?
තවම නම් නැහැ. හැබැයි පොතක් එළිදැක්වීමේ සිහිනයක් තිබෙනවා. කුඩා කල සිටම පොතක් ලිවීමේ වුවමනාවක් මට තිබුණා. ඒ දවස්වල සිටම විවිධ අත් පිටපත් මම ලියා තිබෙනවා . පොතකට අදහසක් තිබුණත් ඒ සඳහා මට කාලය හෝ විවේකය ලැබිලා නැහැ. හැබැයි ඒක ලියන්න ඕන කියන සිහිනය සිතේ තියෙනවා. ඉක්මනින්ම එයත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා
හඬකැවීම් කලාවට දායකවූයේ නැද්ද…..?
විවිධ අවස්ථාවල දායක වුණා. ඒවා සුවිශේෂී මතක හෝ දීර්ඝව යන චරිත නෙවෙයි. විවිධ වෙළෙඳ දැන්වීම්වලට, විවිධ නාළිකාවල යම් යම් දේවලට හඬකැවීමෙන් දායක වුණා
ඔබේ වෘත්තියත් එක්ක කලා කටයුතු සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද ….?
වෘත්තියෙන් මම නීතිඥවරයෙක්. හැබැයි මගේ මූලික අවධානය, ප්‍රමුඛතාව දී තිබෙන්නේ කලාකටයුතුවලට සහ ව්‍යාපාර කටයුතුවලට. වෘත්තියේ යම් යම් කටයුතු කරගෙන යනවා…එහි ඇති නිදහස මගේ නිවේදන , රංගන, ව්‍යාපාර කටයුතුවලට ලොකු පිටිවහලක් වෙනවා.
අද වනවිට කලා ක්ෂේත්රයට සම්බන්ධ වන තරුණ පිරිස පිළිබඳ ඔබේ දැක්ම කවරාකාරද …..?
අද ගොඩක් දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. ඒවගේම මේ ක්ෂේත්රයට පිවිසෙන්න යම් සුවිශේෂී ක්රමවේදත් දැන් තිබෙනවා. සමාජ මාධ්‍ය, විවිධ රියැලිටි තරග තිබෙනවා. රූපවාහිනී නාළිකාත් දැන් වැඩියි. ඒවගේ අවස්ථා දැන් තරුණ අයට තිබෙනවා. අපට ඒ කාලයේ එවැනි ලොකු අවස්ථා රැසක් තිබුණේ නැහැ. අපි ඒ කාලයේ සරලවම කීවොත් කට්ටක් කෑවා. ක්ෂේත්රයේ යම් කාලයක් පවතින්න ඕන කියන අදහස අපේ තිබුණා. අපට වඩා දක්ෂ පිරිසක් අද ඉන්න බව පේනවා. ඔවුන් නිසි කළමනාකාරීත්වයකින් ඒ කියන්නේ තමුන් ගැන කළමනාකාරීත්වයකින්, ක්ෂේත්රය පිළිබඳ යම් අධ්‍යයනයක් සමඟ අත්දැකීම් එකතුකර ගනිමින්, පොතපත කියවමින්, පැරණි කරුණු, වර්තමාන කරුණු සහ අනාගතය පිළිබඳ දැක්මකින් ඉදිරියට යනවානම් මේ කලාව තුළ ඉදිරියට පියවරක් තබන්න පුළුවන් වේවි කියා මම සිතනවා . මොවුන්ට නිසි මඟපෙන්වන, මොවුන්ගේ බුද්ධිය, අත්දැකීම් වර්ධනය කරන බොහෝ දේ සිදුවෙනවා නම් මේ තරුණ පිරිසගෙන් විශාල ප්‍රයෝජනයක් ගතහැකියි
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද …..?
ලොකු ආසාවක් තිබෙනවා. ඒත් කාලය පිළිබඳ විශාල ගැටලුවක් තිබෙනවා. වේදිකාව වගේ දෙයකදී විශාල කැපකිරීමක් කරන්න ඕනේ…වේදිකාවේ සිටින සෑම රංගන ශිල්පියකුටම, ශිල්පිනියකටම අතිශයින්ම ගරු කළ යුතුයි. ඔවුන්ගේ කැපකිරීම අති විශාලයි…හරිම බරයි. මට එසේ බරක් දෙන්න පුළුවන්කමක් නැහැ කියා දැනෙන නිසා ඒ අසාධාරණය මම කළ යුතු නැහැ. යම් දවසක් ඒවි මගේ තෘප්තිය වෙනුවෙන් ඒ කාලය මට කැපකළ යුතුයි කියා සිතෙන….එදාට මම වේදිකා නිර්මාණ එක්ක එකතුවේවි
ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් …..?
මගේම නිර්මාණයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. එය සිනමා හෝ ටෙලි නිර්මාණයක් වේවි. ඒවගේම අලුත් වැඩසටහන් කිහිපයක් ගැනත් සිතේ අදහසක් තිබෙනවා. ලැබෙන ඉඩත් එක්ක ඒවා ප්‍රේක්ෂකයාට දැකගන්න ලැබේවි. රංගනය පැත්තෙනුත් මගේ කර්තව්‍යයන් රැසක් ඉදිරියේදී දක්නට ලැබේවි
පවුලේ විස්තර කොහොමද …..?
මමයි ඉෂාරායි ඉසස් යා සිදුප්‍රී සඳුමිණී පතිරණ දුවයි ඉන්නේ…අපි තුන්දෙනා හරි සතුටින් ඉන්නේ..ඉසස් යා කලාවට යම් කැමැත්තක් දක්වන බව පේනවා. විශේෂයෙන් චිත්‍ර අඳීන්න එයා හරි දක්ෂයි. නර්තනයට, ගායනයට දක්ෂතාවක් නැඹුරුවක් තියෙනවා. රඟපෑම් ගැන නම් ඇය තවම මුකුත් කියලා නැහැ. එයාට එයාගේ අධ්‍යයන කටයුතු සමඟ එයාගේ ගමන යන්න අපි ඉඩදීලා තියෙන්නේ. යම් දවසක ඇගේ හැකියාව සමඟ ඇය කැමැති ක්ෂේත්රයකින් ඉදිරියට යන්න තීරණය කළොත් අවශ්‍ය උපකාරය අපි කරනවා.