සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ, තිලංග සුමතිපාල නිෂ්පාදනය කළ ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය මේ දිනවල සාර්ථක ලෙස තිරගතවනවා. මෙහි ප්‍රධාන භූමිකා සියල්ලම පාහේ නිරූපණය කරනු ලබන්නේ භාරත දේශයේ සිට පැමිණි රංගන ශිල්පීන් සහ ශීල්පිනියන්. ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ගෞතම බුද්ධ මාතාවගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ භාරතයේ සිට මෙරටට පැමිණි සුරූපී රංගන ශිල්පිනියක් වන පාල්ගුණි ඛන්නා. රූගත කිරීම් අවසන් කර භාරතයට ගිය පාල්ගුණි ඛන්නා නැවත පසුගියදා ලංකාවට පැමිණීයේ ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ මංගල දර්ශනයට. ඉතිං අපි ඇයත් සමග පුංචි කතාබහක නිරත වූයේ ශ්‍රී ලාංකේය සිනමා රසිකයන්ට පාල්ගුණි ඛන්නා කවුද යන වග හඳුන්වාදීමටය.
ආයුබෝවන් පාල්ගුණි, වෙල්කම් ටූ යූ ශ්‍රී ලංකා. ඉතිං කොහොමද?
හුඟක් හොඳින් ඉන්නවා. බොහොම ස්තූතියි ඔබේ පිළිගැනීමට.
හොඳයි මම මුලින්ම ඔබව හඳුන්වා දෙන්න කැමැතියි ඉතාමත්ම සුරූපී, ඒ වගේම දක්ෂ ඉන්දියානු රංගන ශිල්පිනියක් විදිහට?
මම ඉන්දියානු රංගන ශිල්පිනියක් තමයි. හැබැයි දැන් ගෞතම බුද්ධ මාතා සිනමාපටයේ රඟපෑවට පස්සෙ මම ශ්‍රී ලාංකීය රංගන ශීල්පිනියකුත් වුණා.
ඔබට මේ අවස්ථාව ලැබුණේ කොහොමද?
මම හරිම වාසනාවන්තයි. සුනිල් සර්. චන්න සර්, විමල් සර් ඉන්දියාවට ඇවිත් සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. එහිදී එයාලා මේ චරිතය සඳහා ගොඩක්දෙනෙක්ව සම්මුඛ පරීක්ෂණයට ලක්කරලා තිබුණා. නමුත් අවසානයේදී මාව තමයි තෝරාගත්තේ. ඒ ගැන කියන්න මට වචන නෑ. මොකද මේ මගේ පළමුවන සිනමා නිර්මාණය. අනිත් කාරණාව තමයි මේ මහා ප්‍රජාපතී ගෝතමී කියන චරිතය වසර දෙදහස් පන්සියයකට පෙර ජීවත් වූ ඉතාමත් විශිෂ්ට කාන්තාවක් වටා ගෙතුණු අපූරු හරිම ගෞරවනීය චරිතයක්. එවැනි චරිතයක් රඟපාන්න ලැබීම මාගේ වාසනාවක්.
මට තව දෙයක් කියන්න ඕන. ඔය සම්මුඛ පරීක්ෂණය තියන දවසේ මම වෙනත් වැඩක ෂූට් එකක හිටියේ. මාව සම්බන්ධීකරණය කරපු කෙනාට මම කිව්වා මං එන එක ෂුවර් නෑ කියලා. නමුත් කොහොම හරි මම ආවා. මට තාම මතකයි පරීක්ෂණය අවසානයේදී සුනිල් සර් කිව්වා හරි අපිට බුද්ධ මාතා හම්බවුණා කියලා. එදා මට දැනුන සතුට වචනයෙන් විස්තර කරන්න බෑ.
ලංකාවේදී ඔබට ලැබුණු ප්‍රතිචාර ?
ඒ ගැන නම් මම කියන්නම ඕනේ. ශ්‍රී ලාංකිකයො හරිම සුහදශීලීයි. ඔවුන් ආගන්තුක සත්කාරයට හරිම කැමැතියි. මට කොයි වෙලාවකවත් හිතුණේ නෑ මම ඉන්නේ මගේ රටේ නෙමෙයි කියලා.
හැම කෙනෙක්ම මාව හරිම ආදරයෙන් බලාගත්තා. අනෙක් කාරණාව තමයි අපේ රටවල් දෙකේම බොහොම ලොකු සමානකම් තියෙනවා. ආගම, සංස්කෘතිය වගේ දේවල් වලින් අපි හුඟක් ළඟයි.
ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ රඟපාද්දී භාෂාව ප්‍රශ්නයක් වුණේ නැතිද?
භාෂාව නොදන්න නිසා ටිකක් අසීරු වුණා. නමුත් කරන්න අවශ්‍ය දේ ඔවුන් ඉතා නිරවුල්ව කියාදුන්නා. මෙහිදී විමල් දේශප්‍රිය සර්ව ඉතා ගෞරවයෙන් මතක් කරනවා. සුනිල් සර් ගැන කිව්වොත් පුදුම හිතෙනවා. අවුරුදු හැත්තෑවක් වගේ වන මනුස්සයෙක්, වැඩකරන හැටි දැක්කහම ඔහුගේ ඒ කැපවීම ඔබ විශ්වාස කරනවාද ඔහු පාන්දර හතරට නැඟිටින්නේ කියලා. එතැන ඉඳලා එක දිගට දිනයේ යොදාගත් දර්ශන සියල්ල අවසන් වනතුරු වැඩ කරනවා. මට ඔහු පිළිබඳව ඇත්තේ මහා ගෞරවයක්. ඔහු හරි නිහතමානී කෙනෙක්. ප්‍රවීණ අධ්යක්ෂවරයෙක් වුණාට නවකයන් සමඟ ඉතාමත් හොඳින් වැඩකරනවා. මගේ මේ චරිතයේ කුමන හෝ සාර්ථකත්වයක් තිබෙනවා නම් ඒ සියල්ල හිමිවිය යුත්තේ එතුමාටයි.
කැමරා අධ්යක්ෂ චන්න දේශප්‍රිය ගැන යමක් පවසනවා නම්, අනිවාර්යයෙන්ම ඔහු ගැන කතා කළ යුතුමයි. මම ඔබට විශේෂ දෙයක් කියන්නම්. මට ලබාදුන් පිටපත තුළ තිබූ සියලු දේ ඉතාමත්ම දර්ශනීය අයුරින් ඔහු තම කැමරාවට හසුකරගෙන තිබුණා. පළමුවරට චිත්‍රපටය නරඹනකොට මට පුදුම හිතුණා. ඒ මම කියවපු පිටපත තුළ තිබුණු කථා වස්තුව අතිශය දර්ශනීයව හා සිනමාත්මකව ගොඩනඟා තිබුණා. ඔහු විශිෂ්ටයෙක්.
ඔබ ඉන්දීය සිනමාවට පිවිසුණේ කොහොමද?
මීට අවුරුදු fදාළහකට කලින් තමයි මම නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට එන්නේ. ඒ වගේමයි මට භරත නාට්‍යම් සඳහා උපාධියක් තියෙනවා. තව මම රඟපාපු තෙලිඟු සිනමාපටයක් ලබන පෙබරවාරි මාසයේ තිරගත වෙනවා. ඒ වගේම මම කෙටි චිත්‍රපටයක රඟපාලා තියෙනවා. එය එන වසරේ කෑන්ස් සිනමා උළෙලටත් තෝරාගෙන තියෙනවා. ඊට අමතරව එය අමර්සන් ප්‍රයිම් හරහා ද විකාශය කෙරෙනවා.
ඔබේ පවුලේ තොරතුරු කිව්වොත්?
මගේ පවුලේ හතරදෙනයි. මගේ අම්මා, තාත්තා හා එකම සහෝදරයා රංගන ශිල්පීන්. ඔවුන් ප්‍රධාන වශයෙන් ටෙලි නාට්‍යවලට සම්බන්ධවෙලා ඉන්නවා. මමත් ඉන්දියානු වෙළෙඳ දැන්වීම් දෙසීයකට වැඩි ප්‍රමාණයකට සහභාගිවෙලා තියෙනවා.
ඔබගේ අනාගත සැලසුම් කොහොමද? ඔබ දිගටම සිනමාවේ රැඳී සිටීවි ද?
අනිවාර්යයෙන්ම. මම මගේ අන්තිම හුස්ම පොද වැටෙන තුරු රඟපානවා. රඟපෑම තමයි මගේ වෘත්තිය. මම එයට ගොඩක් ගරු කරනවා, ආදරේ කරනවා.
ඔබත් එක්ක ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ රඟපාපු ශ්‍රී ලාංකීය කලාකරුවන්ගෙන් ඔබට කොයි වගේ සහයෝගයක්ද ලැබුණේ?
ඇත්තටම කියන්නම්, මම මෙහෙ එනකොට මට ලොකු බයක් තිබුණා. ප්‍රධානතම ප්රශ්නය තමයි භාෂාව. අනික මම මේ කිසිකෙනෙක් අඳුනන්නේ නෑ. හැබැයි ඔබට කියන්න ඔවුන් සියලුදෙනාම මට පුදුම සහයෝගයක් දුන්නා. මට ඒ ගැන හරි සතුටුයි.
පසුගියදා සැවෝයි සිනමාශාලාවේදී ගෞතම බුද්ධ මාතා තිරගත වූ දිනයේ ඔබට ප්රේක්ෂකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර කෙබඳු ද?
අම්මෝ ඒ ගැන කියන්න වචන නෑ. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන එකක් නෑ. මම රඟපාල තිබුණට මගේ තිරගත වුණු පළමු චිත්‍රපටය තමයි බුද්ධ මාතා. මාව පුළුල් තිරයේ දකිනකොට කීපවතාවක්ම මගෙ ඇස්වලට කඳුළු ආවා. ඒ වගේම තමයි අවසානයේදී පැමිණ සිටි පිරිසගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතනවා මේ චිත්‍රපටයට ශ්‍රී ලාංකීය ප්රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා.
නිෂ්පාදකවරයා ගැන යමක් කියන්න කැමැතිද?
අනිවාර්යයෙන්ම. ඔහු තමයි මේ සිනමාපටයේ කොඳු නාරටිය. මෙවැනි දැවැන්ත නිර්මාණයක් කරන එක හිතන තරම් පහසු නෑ. ඔහු සෑම විටකම දර්ශනතලවලට පැමිණිලා අපට අවශ්‍ය කරන සෑම පහසුකමක්ම ලබාදුන්නා. මට දැනගන්න ලැබුණා ඔහුගේ මව සහ පියා චිත්‍රපට නිෂ්පාදකවරුන් කියා. ඒ නිසාම වෙන්න ඇති ඔහු ඉතාමත් දක්ෂ විදිහට මේ දේවල් කළමනාකරණය කළේ. ශ්‍රී ලාංකික සියලුදෙනාටම මගේ ස්තූතිය පිරිනමනවා.