කැලණි පාලම වේදිකා නාට්‍යයේ රූපවතීගේ චරිතය අපට මතක ය. වසර ගණනකට පෙර ඇය රූපවතී ලෙස රඟපෑ අපූරුව එය දුටු කිසිවෙකුටත් කිසිදිනක අමතක නොවනු ඇත. ආර්. ආර්. සමරකෝන්ගේ නිර්මාණයක් වූ කැලණි පාලමේ චරිත අතර රූපවතීගේ චරිතය බැබළ වූයේ ඇය යි. ඒ හඬ පෞර්ෂය වේදිකාව දෙදරවූ අයුරු අදටත් අප දෙසවන්වල පිරී ඇතැයි හැඟේ. රූපවතී එසේ වුවත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරිය බොහෝ සෞම්‍ය තැනැත්තියකි. මනමේ කුමරියට රඟපාන ඇයම රූපවතී ලෙස රඟපෑවේ කෙසේදැයි ඇයගේ රංග ප්‍රතිභාව පිළිබඳ නොදන්නා කෙනෙකුට අරුමයක් ම ය. ඇය ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාවෙන් කරළියට පිළිපන් ප්‍රතිභාපූර්ණ රංගවේදිනිය මැණිකේ අත්තනායකයි.
“අද කල්පනා කරද්දි සමහර චරිත මම රඟපෑවා නේද කියලා මට ම පුදුම හිතෙනවා තමයි. නමුත් ඉතින් මුල ඉඳලා ම රඟපෑම පිළිබඳ හොඳ අත්තිවාරමක් මගේ ජීවිතයට ලැබුණා. මගේ පියා ඉතා ම දක්ෂ සොකරි රංග ශිල්පියෙක් වූ විල්සන් අත්තනායක යි. මගේ අම්මා රන් මැණිකේ යි. අපේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනයි. අපේ පවුලේ කුමාරි අත්තනායක අක්කාත් වේදිකා නාට්‍ය කලාවට රංගනයෙන් දායක වුණා. අපි ඉපදී හැදී වැඩුණේ මහනුවරයි. පුංචි කාලේ ඉඳලා නාට්‍ය බැලුවා. ගෙදරත් ගැයුම් වැයුම් තිබුණා. ඒ නිසා දෙමව්පියන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. මම මුලින් මහනුවර ඩී. එස්. සේනානායක පාසලෙනුත්, පසුව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙනුත් ඉගෙනීම් කටයුතු කළා. ධම්ම ජාගොඩ ශූරීන්ගේ රංග ශිල්ප ශාලිකාවට 1976දී සම්බන්ධ වෙලා නාට්‍ය හා රංග කලාව පිළිබඳව ඉතා හොඳ පුහුණුවක් ලබා ගත්තා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කාලයක් විදේශගතව සිටියා. ඒ කාලේ එතුමාගේ නාට්‍ය ගැන බැලුවේ ධම්ම ජාගොඩ මහතායි. එහෙම ඉන්න අතරේ මනමේ නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව උදා වුණා. මනමේ නාට්‍යයේ මනමේ කුමරියගේ චරිතය වසර ගණනාවක්ම මම රඟපෑවා. ඒ අතරේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, වෙස්සන්තර, ලෝමහංස, මහාසාර නාට්‍යවලත් මම ප්‍රධාන චරිත රඟපෑවා. දික්තල සහ කාලගෝල නාට්‍යයේ දික්තලාගේ චරිතයත්, කැලණි පාලමේ රූපවතීගේ චරිතයත් නිසා විවිධ විදිහේ චරිත රඟපාන්න මට ලැබුණා. දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා, රංජිත් ධර්මකීර්තිගේ මෝදර මෝල නාට්‍යවල මම රඟපෑ චරිතත් බොහෝ ජනප්‍රිය වුණා. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් වූ චරිත නිසා මගේ රංගන ජීවිතයේ මුල සිට ම වේදිකාව කියන්නේ රංගනය අභ්‍යාස කරන්න මට ලැබුණු හොඳ ම අවස්ථාව යි. ඒ කාලේ අද වගේ සැප පහසුකම් තිබුණේ නැහැ. නමුත් අපි අපට පැවරෙන රංග කාර්ය උපරිම කැපවීමෙන් සිදු කළා. ඒ කැපවීම තමයි අපේ සාර්ථක බවට හේතු වුණේ. අලුතෙන් මේ ක්ෂේත්‍රයට එකතු වන දූ දරුවන්ටත් මම කියන්නේ රංගන ශිල්පය හොඳින් ප්‍රගුණ කරලා, තමන් කරන දේ ගැන හොඳ අවබෝධයකින් සහ කැපවීමකින් යුතුව යොමු වෙලා, උපරිම ශක්තියෙන් කාර්ය ඉටු කරන්න කියා යි. තමන්ගේ නිර්මාණයක් තමන් දකිද්දී තමන්ට ලැබෙන සතුට වෙන මොන දේකින්වත් ගන්න බැහැ. ඒක මහා පුදුමාකාර සතුටක්ම තමයි.”
වේදිකා රංගනය වෙනුවෙන් සම්මාන රැසක් දිනූ ඇය “මිණිසළඹ” නාට්‍යයේ පත්තිනි චරිතය වෙනුවෙන් 1981 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. 1987දී කලාශූරී සම්මානය ද 1991 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළේ ජූරියේ විශේෂ සම්මානය ද ඇයට පිරිනැමිණි. වේදිකා නාට්‍ය රංගන ක්ෂේත්‍රය උදෙසා ඉටු කළ අනභිභවනීය මෙහෙය අගයමින් 2017 වසරේදී මොරටුව මහා නගර සභාවේ “සාහිත්‍යාංජලී” සාහිත්‍ය කලා මහෝත්සවයේදී මොරටු කලාකරුවකු වෙනුවෙන් පිදෙන ‘මොරටුපුත්‍ර අභිනන්දන’ සම්මානය ද ඇයට පිරිනැමිණි.
“වේදිකාව වගේ ම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මුල් කාලයේදී නූර්ති, නාඩගම්, නාට්‍ය ගීත ගුවන්විදුලියේ මම ගායනා කළා. පසුව සරල ගී ගායනයටත් යොමු වෙලා ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් බවටත් පත් වුණා. පස්සෙ කාලෙක ගීත කිහිපයක් පටිගත කළා. ප්‍රසංග වේදිකාවල ගීත ගැයුවා. නිසි පුහුණුව ලබාදෙමින් අපේ රංග ප්‍රතිභාව මතු කළ අපේ පැරණි නිර්මාණකරුවන්ට අදටත් මං පින් දෙනවා. ඉස්සර අද වගේ නෙවෙයි. සංගීත ප්‍රසංග රට පුරා ම නිතර ම තිබුණා. ඒවත් ප්‍රතික්ෂේප නොකර පුළුවන් විදිහට ඒවාට සහභාගි වුණා. රූපවාහිනී වැඩසටහන්වලින් ආරාධනා ලැබුණා ම ඒවාටත් ගියා. බලාගෙන යද්දි ඒ කාලේ නොකළ දෙයක් නෑ. අපට ඕනෑ ම දෙයක් කරන්න ලොකු ශක්තියකුත් තිබුණා. කොච්චර කාර්යබහුල වුණත් අපට වෙලාවත් තිබුණා.” ඇය සිය සුන්දර අතීත මතක එකින් එක පෙළ ගැස්වූයේ එලෙසිනි.
“ඒ විතරක් නෙවෙයිනේ… ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගනයටත් සම්බන්ධ වුණා. පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙන් මම බොහෝ සේ ජනප්‍රිය වුණා. මිහිකතගේ දරුවෝ, මනෝමන්දිර, සඳගල තැන්න, ඇල්ල ළඟ වලව්ව, යශෝරාවය, පරණ ටවුම, නෙල්ලි ගෙදර, නොමැරෙන මිනිස්සු, නියං කුරුල්ලෝ වගේ ටෙලි නාට්‍ය පනහකට වැඩි සංඛ්‍යාවක මම රඟපෑවා. මට මතක හැටියට මම අන්තිමට ම රඟපෑවේ හිරු නාළිකාවෙන් විකාශය වුණු “හතේ කල්ලිය” නාට්‍යයේ යි. අපි කවදාවත් මුදලට ඉස්සර වුණේ නැහැ. ලැබෙන මොන චරිතය වුණත් උපරිම කැපවීමෙන්, චරිතයට සාධාරණත්වය ඉටු කළා. අපට නිසි මඟ පෙන්වමින්, නිසි පුහුණුව ලබාදෙමින් අපේ රංග ප්‍රතිභාව මතු කළ අපේ පැරණි නිර්මාණකරුවන්ට අදටත් මං පින් දෙනවා. ඒ වගේ ම සහෝදර කලාකරුවන්ගේ සහාය අපට උපරිමව ලැබුණා. ඒ හැමෝම කුහකකමක් නැතුව අත දුන්න නිසා තමයි අපට මේ ගමන එන්න පුළුවන් වුණේ. අත දෙන්න හිටපු අය කකුළෙන් ඇද්දා නම් මේ ගමන එන්න වෙන්නේ නැහැනේ. කකුළෙන් ඇදපු අයත් නොසිටියා නොවෙයි. නමුත් ඒ තැන්වලදී නැගී සිටින්න අපටත් මානසික ශක්තියක් හැදිලා තිබුණා. එකිනෙකාට මඩ ගහගෙන, එකිනෙකාගේ ආත්ම ගරුත්වය කෙලෙසගෙන යන ගමනක් අපට තිබුණේ නැහැ. අපි හැමෝම එකට මේ ගමන ආවා. අපි හැමෝටම එකිනෙකාට අනන්‍ය වූ කුසලතාවන් තිබුණා.”
1981 දී රත්නවීර ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද “සුද්දා” චිත්‍රපටයට දායකවීමෙන් පසු සිනමාවද ඇයගේ රංග කාර්ය බහුලත්වය දෙගුණ තෙගුණ කළා වූ කලා මාධ්‍යයක්ම බවට පත් විය. රිදී නිම්නය, බිරිඳ, මංගල තෑග්ග, ඔක්කොම රජවරු, වන බඹරා, ඇසළ සඳ, සුරබිදෙන, සුජාතා, ධවල පුෂ්පය, සූර දරුවෝ, සත්කම්පා, සෙයිලම, සප්තකන්‍යා, යකඩ පිහාටු, ගින්දරී, වන් ෂොට්, පාර්ලිමන්ට් ජෝක්ස් ආදී වශයෙන් වූ චිත්‍රපට දෙසීයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති ඇය බොහෝමයක් සිනමා නිර්මාණවලදී සහාය රංගනයට එක් වූවාය. ලැබුණු චරිතය කුමක් වුවත් එයට සාධාරණය ඉටු කරන්නට ඇය උගත් ශිල්පය ඇය නිර්ලෝභී ව හසුරවා ගත්තාය. චරිත තුළ ජීවත් වෙමින් ප්‍රේක්ෂක මනසෙහි ඒවා නිදන්ගත කරවූවාය. ඒ අපූර්වත්වය තවත් දශක ගණනාවක් ගෙවී ගියත් මැකී වියැකී නොයන්නේ එබැවිනි.
“රාජා අත්තනායක සමඟ විවාහයෙන් පස්සේ අපි රත්මලානට පදිංචියට එනවා. අපට පුතාලා දෙන්නෙකුයි, දුවෙකුයි ඉන්නවා. පොඩි පුතා, එයාගේ බිරිඳ, දූවරු දෙදෙනා එක්ක මොරටුවේ පදිංචිව ඉන්නේ. ඒ නිවසේ තමයි බොහෝ කාලයක් තිස්සේ මම ඉන්නේ. පොඩි පුතාගේ පොඩි දුව සශිනි අත්තනායක කලා කටයුතුවලට ලොකු නැඹුරුවක් තියෙනවා. භරත නැටුම් කලාව ඇය වැඩි වශයෙන් හදාරනවා. රඟපෑමටත් දක්ෂයි. මං ආ මඟ යන කෙනෙක් ඉන්නවා කියන සතුටත් මට තියෙනවා. පසුගිය කොවිඩ් කාලෙ නම් හරිම අමාරුවෙන් තමයි ගෙදරට හිරවෙලා කාලය ගෙව්වේ. අපට එහෙම ගෙවල් ඇතුළට වෙලා ඉඳලා පුරුදු නැහැනේ. නොයෙකුත් කලා කටයුතුවලට, යාළුවෝ මුණගැහෙන්න නිතරම එළියට යනවානේ. හැබැයි ඒ දවස්වල අපි ඉස්සර රඟපෑ ටෙලි නාට්‍ය නැවත විකාශය වුණා. ඒ නිසා ඒවා බලමින් සිටියා. ඇත්තටම අපි ඉස්සර රඟපෑවාට ඒ නාට්‍ය ගෙදර ඉඳලා නිදහසේ බලන්නවත් ඉස්පාසුවක් ඒ කාලේ අපට තිබුණේ නැහැ. ඒ අතීතය මොන තරම් සුන්දරද කියලා ඒවා බලද්දි මතක් වෙනවා. අපි දර්ශන තලයකට ගියාම හැමෝම එකා වගේ හිටියා. අම්මා තාත්තා කියන දේ අහන ළමයි වගේ අපි අධ්‍යක්ෂයි, කැමරා ශිල්පියායි කියන දේ ඇහුවා. වෙස් ගන්වලා අවසන් වනතුරු බොහොම ඉවසීමෙන් වෙස් ගැන්වීම් ශිල්පියාට අවනත වෙලා සිටියා. අපට ලැබුණු පිටපත අපි හොඳින් අධ්‍යයනය කරලා තමයි දර්ශන තලයට ගියේ. ඒ විනය, සංයමය හැමෝගෙම තිබුණා. අපට ලැබුණු චරිතය මඟින් නිර්මාණයට සාධාරණය ඉටු කළා. ඒවා සාර්ථක නිර්මාණ බවට පත්වුණා. අපේ රංග කාර්ය අපි උපරිම කැපවීමෙන් කළා. අනේ මට මේක කර ගන්න බැරි වුණා කියලා දුකක් නැහැ. හැම වර්ගයකම වගේ චරිත රඟපාන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ආපහු හැරිලා බලද්දි ජීවිතයේ හිස්තැන් නැහැ. දුක් වෙන්න දේවල් ඉතිරි වෙලා නැහැ. ඒ නිසා ම ආත්ම තෘප්තියත් උපරිම ව තියෙනවා. දැන් ඉතින් පොඩි පොඩි අසනීප, අපහසුතා තියෙන නිසා ගෙදරට ම වෙලා ආගමික කටයුතුවල යෙදෙමින්, දරුවෝ එක්ක ඉඳ හිට නාට්‍ය ගීයක් ගයමින්, සතුටින්, විවේක සුවයෙන් ඉන්නවා.”