මම හීන මවපු ජීවිතයේ ජීවත් වෙනවා - රවීන් කණිෂ්ක

 

 



රවීන් කණිෂ්ක කිව්වහම මේ වෙනකොට කවුරුත් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමට ඔහු ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල රවීන් කණිෂ්ක රංගනයෙන් දායක වුණු සෝලෝටවුන් චිත්‍රපටය තිරගත වෙනවා. ඔය අතරේ රවීන් ටෙලිනාට්‍ය කලාවෙන් රඟපෑමට රැගෙන ආ සාරංග මෙන්ඩිස්ගේ කුලුඳුල් සිනමා නිර්මාණයටද රංගනයෙන් සම්බන්ධ වෙනවා. ඔය අතරේ ඔහු ගායනය වෙනුවෙන් වැඩිපුර කාලයක් වෙන්කරන්නත් සූදානම් වෙනවා. ඒ නිසාම අපි රවීන් වෙනුවෙන් මේ ඉඩකඩ වෙන්කරන්න හිතුවා.

රවීන් බෑන්ඩ් එකක් පටන්ගත්තා කියන්නේ ?


බෑන්ඩ් එකක් පටන් ගත්තේ සැබෑ ජීවිතයේ නම් නෙමෙයි. අපේ අලුත්ම චිත්‍රපටයෙන් තමයි බෑන්ඩ් එකක් පටන්ගත්තේ. ඒ පටන් ගත්තු බෑන්ඩ් එක දිවයින පුරා සිනමාහල්වල මේ දවස්වල තිරගත වෙනවා.


සෝලෝටවුන් ෂූටින් අත්දැකීම්?


අපේ සම වයසේ කොල්ලො ටිකක් හිටියේ. අපේ භාෂාවෙන් කියනවා නම් පිස්සො ටිකක් හිටියේ. අපි හිනාවෙලා තමයි වැඩේට එන්නේ. අපි ඒ තරම් විනෝදයෙන් තමයි මේ වැඩේ කළේ. මෙහි අධ්‍යක්ෂවරයාත් අපිට බොහොම ළඟ හිතවත් සහෝදරයෙක්. මුළු රූගත කරපු කාලයම අමතක නොවන කාලයක් තමයි.


සෝලෝටවුන්වලට ලැබෙන ප්‍රතිචාර?


හොඳයි. සංගීතය සහ නර්තනය කියන දෙකත් එක්ක යන චිත්‍රපටයක් හින්දා වගේම මම ගොඩක් නියැළෙන ක්ෂේත්‍රයන් දෙකක් හින්දා ගොඩක් අයට මේකෙන් මාව වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්. මොකද මාව දන්න ගොඩක් දෙනෙක් දන්නේ සංගීතය කියන කලාවත් එක්ක ඉන්න කෙනෙක් කියලා. මගේ සංගීතය, ගායනය, නර්තනය කියන හැම එකක්ම දකින්න පුළුවන් චිත්‍රපටයක් තමයි සෝලෝටවුන් කියන්නේ. ගොඩක් අය කියන්නේ අපිට හුරුපුරුදු රවීන් අපි මේකෙන් දකිනවා කියලයි.


මේ ආරාධනාව ලැබුණහම මොකද හිතුණේ?


ඇත්තටම මට කතාව ගැන අවබෝධයක් තිබුණේ නෑ. මට මුලින්ම කතා කළේ චතුරංග අයියා. ඔහුගේ දුරකථන ඇමතුමට තමයි මුලින්ම හා කිව්වේ. මොකද මට චතුරංග අයියා ගැන එච්චරට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු මගේ සහෝදරයෙක් වගේ. අනික චතුරංග අයියා හොඳ වැඩකට ඇරෙන්න මට කතා කරන්නෙත් නැහැ. ඉතිං ඒ විශ්වාසය උඩ ඒකට මගේ කැමැත්ත දුන්නා.


ඔය අතරේ අලුත්ම චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබුණා නේද?


සාරංග මෙන්ඩිස් අයියාගේ කුලුඳුල් සිනමා නිර්මාණය, ඔහුට පවුල වගේ ඉන්න කණ්ඩායමත් එක්ක කරන චිත්‍රපටයක්. අපි ටෙලිවිෂන් එකේ ලොකු පෙරළියක් කරපු කණ්ඩායමක් නේ. ඉතිං ඒ කණ්ඩායමට සිනමාවෙත් ලොකු පෙරළියක් කරන්න පුළුවන් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.


මේ ආපු ගමන ගැන පසුවිපරමක් කළොත්?


මට මං ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. මං හීන මවපු ජීවිතයේ අද මම ජීවත්වෙනවා. ලිවින් ද ඩී්‍රම් කියන එකේ මම අද ඉන්නවා. තව ඉස්සරහට මට කරන්න දේවල් බොහෝමයි. මම හිතන්නේ මම ගමන තවම පටන් ගත්තේ නැහැ කියලා. දැන් තමයි මගේ සංගීත ජීවිතය පටන් ගන්න යන්නේ, ඒකට වෙලාවක් වෙන් කරගන්නේ. තව මට මගේ ජීවිතයේ භාගයක් විතර තියෙනවා ගෙවන්න. ඒ ඉතුරු භාගෙත් මෙච්චර කල් ආව වගේ බොහොම සිහිකල්පනාවෙන් තමයි ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නේ.


ජනප්‍රියත්වය එක ලෙස රඳාපවත්වාගෙන යන රහස මොකක්ද?


ඒක ඉතිං නොහිතා ඉන්න එක. ඒක උගැඹුරු දෙයක්. ඒක හිතන්න ගියොත් ඒ ජනප්‍රියත්වයට අපි හිරවෙනවා. නොහිතා ඉඳිද්දී ජනප්‍රියත්වය අපි ඈඳගන්නේ නැතිව අපේ විදිහට බොහොම සරල විදිහට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ජනප්‍රියත්වය කියන්නේම ලොකු වගකීමක්. මොකද අපේ පුංචි චලනයක් පවා බලාගෙන ඉන්නවා, රටක ලෝකයක මිනිස්සු. එයාලා අපි කරන කියන හැමදෙයක් ගැනම බලාගෙන ඉන්නේ. අපි කරන පොඩි වැරැද්දක් වුණත් ඒක ලොකුවට සමාජයට පේනවා. ඉතිං පොඩි වැරැද්දක්වත් නොවී ජීවත්වීමේ වගකීම අපිට තියෙනවා කියලා මම හිතනවා. මම ජීවත්වෙන්න උත්සාහ කරන්නේ කාටවත් ඇඟිල්ලක් දික්කරලා මොනවත් කියන්න බැරිවෙන්න. අපි කොහොම හිටියත් ඇඟිල්ල දිගුකරන මනුස්සයා ඇඟිල්ල දික්කරනවා.


රවීන්ගේ ගායකයාගේ වැඩකටයුතු?


දැන් තමයි එයාගේ වැඩකටයුතු මම පටන් ගත්තේ. මීට කලින් මම වෙනත් වෙනත් කාර්යයන් එක්ක කාර්යබහුල වෙලා හිටියේ. ඒ අතර රංගනය වෙන්න පුළුවන්, නිවේදනය වෙන්න පුළුවන්, මගේ ඉගෙනීම් කටයුතු වෙන්න පුළුවන්. දැන් තමයි මම සංගීතයට මුල්තැන දීලා මගේ ගායකයාව හරි තැන ස්ථානගත කරන්න පටන්ගත්තේ.


රවීන් කණිෂ්ක ඩී්‍රම් ස්ටාර් තරගයට ඉදිරිපත් නොවුණා නම්?


මම සාමාන්‍යයෙන් මගේ හිතේ දෙයක් තියෙනවා නම් ඒක මෙන්න මේ විදිහට කරන්න ඕනෑ කියලා මගේ හිතට ආවොතින් ඒක කරන්නම ඕනෑ කෙනෙක්. ඒක හැර මට වෙන ඔප්ෂන් හරියන්නේ නැති කෙනෙක්. ඒ වගේ දේවල්වලදී මම ලද දෙයින් සෑහීමකට පත්වෙන්න බැරි කෙනෙක්. ඩී්‍රම් ස්ටාර් හරා නාවනම් මොනයම් හෝ ක්‍රමයකින් මම මේ ඉන්න තැනට එන්න තිබුණා. කිසිම දෙයක් හරිගියේ නැතිනම් මම ඊළඟ ආස දේ තමයි මෝටර් සයිකල්, වාහන වගේ දේවල්. සමහර වෙලාවට ධාවන ශූරයෙක් වෙන්නත් තිබුණා. නැතිනම් වාහන අතගාන මිකැනික් කෙනෙක් වෙන්නත් තිබුණා. මම ඒවත් එක්ක ඉන්න හරි ආසයි. ඒ කෙසේ වෙතත් මම අද මේ ගෙවන ජීවිතයට එන්න මොනයම් හෝ ක්‍රමයක් හදාගනීවි, මම ඩී්‍රම්ස්ටාර් එකට සම්බන්ධ නොවුණා නම්.


දිනේෂ් විතාන



Previous Post Next Post