මම ඔය කාටවත් ‘සර්’ කියන්න යන්නෙ නෑ- කුමාර තිරිමාදුර

 



සිය කලා කෞෂල්‍ය තුළින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මානයට පාත්‍ර වූ ඔහු  අසහාය රංගන කෞෂල්‍යයකින් හෙබි දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා අතරට පැමිණි ඔහු මේ දිනවල විකාශය වන පිරිමි ළමයි ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයාට සමීප වනවා.# අපත් සමඟ කතාබහට එක් වූ ඔහු ප්‍රවීණ රංගන ශිල්පි කුමාර තිරිමාදුර. පිරිමි ළමයි ටෙලි නාට්‍ය  ගැන කතා කරමු?


ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන්නෙ බොහොම සුන්දර මනුස්සයෙක්. පිරිමි ළමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ඔහුගේ. ටෙලි නාට්‍යයේ තිර රචනය සද්දාමංගල සූරියබණ්ඩාරගේ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මට සිනමාවේ ඇතුළේ ලොකු උදව්වක් කරපු  කෙනෙක්. ඉතින් එතුමා මට පිරිමි ළමයි ටෙලි නාට්‍යයටත් කතා කළා. මම හිතනවා අපි දෙන්නා එකතුවෙලා සහයෝගයෙන් ඒ වැඩේ කරගෙන යනවා කියලා. මම මට ලැබෙන ඕනෑම චරිතයක් මගේ පැත්තෙන් උපරිමයෙන් කරනවා. නමුත් මම වැඩි වශයෙන් රූපවාහිනියේ ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැත්තෙ  අපේ හැකියාවට සහ කැපවීමට සරිලන මුදලක් නොලැබෙන නිසයි. පිරිමි ළමයි ටෙලි නාට්‍යයේදී අපි ඉල්ලා සිටි මුදල අපිට ලැබුණා. ඉතින් අපි ආදරෙන් ඒ ටෙලි නාට්‍ය කළා. මම හිතනවා පිරිමි ළමයි ඉතාම ලස්සන ටෙලි නාට්‍යක් වේවවි කියලා.


කලාකරුවකුට  වේදිකාවෙන් ලැබෙන පන්නරය ඉතාම වැදගත්. වර්තමානයේදී බොහෝ නවක කලාකරුවන්ට ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. මේ ගැන ඔබේ අදහස?


අපේ රාජ්‍ය නාට්‍ය උළෙල, තරුණ සේවා සභාවේ නාට්‍ය උළෙලයන් තිබෙනවා. අපි සල්ලි නැතිව, කන්න නැතිව වේදිකාවල නාට්‍ය කළා. වේදිකා නාට්‍යවලට යොමු වෙන්න තරුණයන්ට උනන්දුවක් නැති එකට අපි මොකද කරන්නේ. අපි යාළුවෝ ටික එකතුවෙලා, ‘වේදිකා නාට්‍යක් කරමු බන්’  කියලා ප්ලේන්ටියක් බිබී, පුහුණුවීම් කරල තමයි අමාරුවෙන් වේදිකා නාට්‍ය කළේ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිහක් වෙනවා. මම ක්ෂේත්‍රයට ආවේ අවුරුදු දහසයේදී. නමුත් අපි තවමත් වේදිකාවල රඟපානවා. ඒ දේ අපිට බලහත්කාරයෙන් ඇතුළු කරන්න බැහැ. වේදිකාවෙන් තමයි ආරම්භ කළ යුතු කියන එක තරුණයෝ දැන ගන්න  ඕනෑ. කලාවේ ගර්භාශය තමයි වේදිකාව. මම, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, සරත් කොතලවල අපි හැමදෙනාම ආවේ මේ ගර්භාශයෙන්. වේදිකාවෙන් කලාවට එන එක හොඳ අම්මා කෙනකුගේ කුසෙන් උපදිනවා වගේ දෙයක්. වේදිකාව කියන ගර්භාශය විනාශ කරන්න කාටවත් දෙන්න හොඳ නැහැ.  කලාකරුවාට එතැනින් උත්පත්තිය හදලා දෙන්න කියලා තමයි මම නම් කියන්නෙ.


ලංකාවේ ඇතැම් නාට්‍ය උළෙලයන්වල විශාල වැරැදි සිද්ධ වෙලා තිබෙනවා. මම මොනරාගල ගිය වෙලාවක දරුවෙක් මුණගැසුණා. ඒ දරුවත් සමඟ කතා කරන විට, ඔවුන්ට ඇතැම් නාට්‍ය උළෙලයන්වලදී යම් යම්  අසාධරණ සිදු වුණා කියනදේ කිව්වා. දැන් ඒ දරුවා ත්‍රීවීලර් හයර් යනවා. මේ ඇතැම් නාට්‍ය උළෙලයන්වල විනිශ්චය මණ්ඩලවල ඉන්න අයට එදා ඉඳලම තමන්ගේ ක්ෂේත්‍රය වෙනුවෙන් ගෞරවනීය දෙයක් කරන්න බැරි වුණා. ඇතැම් විනිශ්චය මණ්ඩලවල බත් එකට බැළමෙහෙවරකම් කරන බත් බැලයෝ ඉන්නවා. කොවිඩ් වසංගතය කළේ මිනිසුන්ගේ මානසික තත්ත්වය සකස් කළේ කලාකරුවා. ඉතින් කලාකාරයෝ වෙන්න බලාපොරොත්තුවෙන් ඈත පිටිසර ගම්වලින් එන තරුණ තරුණියෝ වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්. ඔවුන්ට වෙන අසාධාරණකම් ගැන හැමෝම කතා කරන්නේ කාර් එකේදි, බාර් එකේදි විතරයි. නමුත් ඉන් එහාට කිසිකෙනෙක් ඔවුන්ට වෙන අසාධාරණකම් ගැන කතා කරන්නෙ නැහැ.


ඔබ දකින ආකාරයට ලාංකේය කලාකරුවාට නිසි ඇගයීමක් ලැබෙනවාද?


ඉන්දියාවේ නළු නිළියෝ, ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව මිලට ගන්නවා. ඉන්දියාවේ නළු නිළියො ඉන්නේ එවැනි තැනක. නමුත් අපට ඒ තත්ත්වය හදලා දුන්නැහැ. අපිව ගත්තෙ නිකන් ඡන්ද රැස්වීම්වලට පමණයි. ලංකාවේ දේශපාලනඥයෝ එයාලගේ වැඩ සඳහා අපේ රටේ නළු නිළියන්ව භාවිත කළා පමණයි. ගාමිණීලා, විජේලා, ජෝලා සකසා ගත් ලෝකය දේශපාලන රැස්වීම්වලට ගිහින් අපේ කට්ටියම නැති කර ගත්තා. ඒ දේවල් නිසා අපිට තිබුණු ගෞරවය නැති වුණා. කලා නිර්මාණයක් වෙනුවෙන් අධ්‍යක්ෂවරයාගෙන් හෝ නිෂ්පාදකවරයාගෙන් අපි යම් මුදලක් ඉල්ලුවොත්, ඔවුන්ට අපි ඉල්ලන ඒ වටිනාකම ලබා දෙන්න බැරි නම් ‘ඔයා ඕන්නැහැ වෙන කෙනෙක් ගන්නම්’ කියලා අපිව අපහසුතාවට පත් කරනවා. මම වැඩකට දසදහසක් ඉල්ලුවොත්, තුන්දසට ඒ වැඩේ කරන කෙනෙක් හිටියොත් එයාව තමයි ගන්නේ. මෙහෙම කොහොමද මේ කලාව කරගෙන යන්නේ. අද මට තුන්දාහට රඟපාන්න බැහැනෙ. ඉතින් ඒ මට්ටමට ඇතැම් අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු පමණක් නෙවෙයි නාළිකා පවා හැඩගැසුණා. බහුතරයක් නළු නිළියෝ හෑල්ලුවට ලක්වෙලා. දැන් දක්ෂයන්ගෙන් වැඩක් නැහැ.


වර්තමානයේ කලාව තුළ නියැළෙන නවකයන් ඔවුන්ගේම අන්‍යතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරනවාද?


අනන්‍යතාව හදාගන්නවා කියලා කියන්නේ කෙනෙක් කලාව පිළිබඳ අධ්‍යයනය කරන්න ඕනෑ කියන එකට. 1947 කඩවුණු පොරොන්දුවේ රුක්මණී දේවියි,  බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයි රඟපෑම් කළ  චිත්‍රපටවල පවා විස්තර ටික මම කියනවා. ඒ වගේම ගාමිණී ෆොන්සේකා ගැන දන්නවා. දැන් ඉන්න නවක පරපුර අපි රඟපෑම් කළ චිත්‍රපටයක්වත් දන්නෙ නැහැ. ඕනෑම දෙයක් අධ්‍යයනය කරන්න ඕනෑ. ඉගෙන ගන්නෙ නැතිව කිසිම විෂයක් කරන්න බැහැ. ඉගෙන ගන්නෙ නැතිව කලාව තුළින් තරුණ පරම්පරාවක් හදන්නේ කොහොමද? අපි අදටත් පොත්පත් කියවනවා. කුමක් හෝ  ෆිල්ම් එකක් බලනවා.  කලාව කියන්නේ ඉගෙන ගන්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හිතමු අවුරුදු විස්සෙ විසි දෙකේ ගැහැනු ළමයෙක් රඟපාන්න එනවා කියලා. එයාගෙ ටෙලි නාට්‍ය දෙකක් විකාශය වන විට, තවත් අලුත් ළමයි ක්ෂේත්‍රයට එනවා. කලින් පැමිණි ළමයා දසදහසකට රඟපාන විට, අලුතෙන් එන ළමයි පන්දහසට රඟපානවා. ඉතින් කොහොමද මේ කලාව ගොඩනඟන්නේ. නමුත් මාව, සරත් කොතලාවලව, ටෝනි රණසිංහව ඒ විධියට ගන්න බැහැ. ඉතින් ඒ නිසා ඉගෙන ගන්නෙ නැතිව අධ්‍යයනය කරන්නේ නැතිව කිසි කෙනකුට කිසිම විෂයක් කරන්න බැහැ.


මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ කෙනකු විධියට වර්තමාන මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ ඔබ දකින්නේ කෙසේද?


මාධ්‍ය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තිබෙන්නේ. මාධ්‍ය නාළිකා, පත්තර එක් එක් පක්ෂයට පක්ෂපාති වෙලා තමයි කතා කරන්නේ. මගේ ‘ද නිවුස්පේපර් චිත්‍රපටයේ’ මේ ප්‍රශ්නෙට උත්තරේ තිබෙනවා. අපි හිතන්නේ කර්තෘ එහෙම නැති නම් මාධ්‍යවේදියා තමයි වැඩ්ඩා කියලා. නමුත් කවුරු පත්තරේ කර්තෘ වුණත්, පත්තරේට මුදල් ගෙවන පත්තරේ අයිතිකරුට අනුව තමයි පත්තරේ සෑම දෙයක්ම තීරණය වෙන්නේ. මාධ්‍යවේදියත් සේවය කරන්නේ තමන්ට වැටුප් ගෙවන ආයතන ප්‍රධානියා යටතේ. නමුත් මම ගැන දැනගත යුතු දෙයක් තිබෙනවා. මම දැන් කිසි කෙනකුට සර් කියන්නෙ නැහැ. සරත්චන්ද්‍රට, ගාමිණි හත්තොටුවේගමට, සුගතපාල සිල්වාට මම සර් කියලා කතා කළා. නමුත් දැන් මම තමයි බොස්. දැන් සර් කියන්න කිසි කෙනෙක් මට  නැහැ. මහින්දට, රනිල්ට, අනුරට කුමාරට මම සර් කියනවද? මගේ පාසලේ සර් කෙනෙක් හමුවෙලා කතා කළොත් නම් මම සර් කියනවා. ඒක මගේ මනුස්සකම. එහෙම නැතුව මම කාටවත් සර් කියන්නෑ. මොකටද සර් කියන්නේ? මනෝ අයියා හිටිය නම් මනෝ අයියා කියනවා, ජැක්සන් අයියා හිටිය නම් ජැක්සන් අයියා කියනවා. කාටවත් සර් කියන්නෙ නැහැ. මම බිය නැතිව ජීවත් වෙන මිනිහෙක්. 


කලාකරුවා දේශපාලනයට යොමු වීම ගැන ඔබේ අදහස?


දැන් අපේ සුදු ඇඳගෙන හොරු ඇවිදින් වේදිකා නාට්‍යයෙන් දේශපාලනය සම්බන්ධයෙන් යම් යම් අදහස් ප්‍රකාශ කරනවා. නිර්මාණයක් තුළින් එවැනි අදහසක් ඉදිපත් කිරීමට අපිට අයිතියක් තිබෙනවා.  ඒ හැර කිසි කෙනෙක් දේශපාලනය කියන මඩගොහොරුවට බහින්න එපා කියලා සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාත් කිව්වා. තවත් ඉතින් අපට කාගේ දෙයක්ද අහන්න තිබෙන්නෙ.


නවතම දේශපාලන වෙනස ගැන මොකද හිතෙන්නේ?


අපි අවුරුදු හැත්තෑවක් හැත්තැ පහක් කොළපාට, නිල් පාටවලට රැවටිලා ජීවිත ගත කළා. ඒ හැමෝම එකතුවෙලා අවුරුදු ගාණක් තිස්සේ රට බංකොලොත් කළා, හොරකම් කළා. රතු පාට ආණ්ඩුවක් දකින්න මම ආසයි. මොකද මම මැක්සිම් ගෝර්කිගේ  පොත් කියවපු, වානේ පන්නරය ලැබූ හැටි බලපු, පෙරළූ නැවුම් පස, පියවරු සහ පුත්තු පොත් කියවපු කෙනෙක්.  මම  මියයන්න කලින් රතු පාට ආණ්ඩුවක් දැක්කා. එයාලා දැන ගන්න ඕනෑ ලැබුණු අවස්ථාවෙන් හරි ලස්සන ආණ්ඩුවක් හදා ගන්න.  මේ දේශපාලන වෙනසට මගේ නම් කිසි විරෝධතාවක් නැහැ.


නයෝමි ෂර්මිලා



Previous Post Next Post