වියට්නාමයේ නෝවා වර්ල්ඩ් මධ්‍යස්ථානයේ 11 වැනි වරට පැවැත්වුණු Mr. World තරගාවලියේ, රටවල් 60 ක තරගකරුවන් සමග කරට කර ගැටෙමින් අවසන් දසදෙනා (Top Ten Finalist) අතරට තේරී පත්වූ, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ තරුණ සිනමාකරුවෙක් වන මේඝ සූරියආරච්චි විසින්, එම තරගාවලියේ Peoples Champion, Best National Costume Awards, Asia & ocenia යන අනු තේමාවන් ද ජයග්‍රහණය කළේය. ඊට අමතරව Talent Show හි අවසන් තරගකරුවන් දසදෙනා අතරටද Beauty with a purpose හි අවසන් තරගකරුවන් තිස්දෙනා අතරට ද තේරී පත්විය. මේඝ මෙම වසරේදීම Mr. World Srilanka 2024 තරගයේ ජයග්‍රාහකයා ද වේ.
වසර ගණනක් මුළුල්ලේ ම මෙම තරගාවලිය වෙනුවෙන් විටින් විට ශ්‍රී ලාංකිකයන් රැසක් සහභාගි වුව ද, ඒ අතරින් මුල්වරට අවසන් තරගය නියෝජනය කළ සහ People’s Champion වැනි ජයග්‍රහණයක් ලැබූ ප්‍රථමයා ලෙස මේඝ සූරියආරච්චි මෙරට නිරූපණ ක්ෂේත්රයේ ඉතිහාසගත වනු ඇත.
ජයග්රහණයෙන් පසු මේඝ වියට්නාමයේ සිට මීවිතට මෙලෙස අදහස් දැක්වීය.
මේඝ සූරියආරච්චි මුලින්ම කිව්වොත් මේ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
Mr. World තරගාවලියේ අවසන් තරගකරුවන් දසදෙනා අතරට එන්න ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒක මා ලැබූ ජයග්‍රහණයක්.
මේ අවස්ථාව ලැබුණේ කොහොමද?
ලංකාවේ මොඩ්ල් ෂොප් ආයතනයෙන් පවත්වපු මිස්ටර් ෆෝ ශ්‍රී ලංකා තරගාවලියේදී මාස එකහමාරක වගේ කාලයක් තුළ පවත්වපු තරගවලින් ජයග්‍රහණය කරලා මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනාගන්නවා. ඊට පසුව තමයි මට මිස්ටර් වර්ල්ඩ් 2024 තරගාවලියට ඉදිරිපත් වෙන්න අවස්ථාව උදාවෙන්නේ.
තරගයට ඉදිරිපත් වෙනකොට හිතුවද මේ තරම් දුර ගමනක් එන්න පුළුවන් වෙයි කියලා?
මම මිස්ටර් ශ්‍රී ලංකා තරගාවලියට සහභාගි වෙන්නේම ඒකට ලොකු සූදානමක් වෙලා. මම මිස්ටර් වර්ල්ඩ් තරගාවලියට සහභාගිවෙන්න සුදුසුකම් ලබාගන්නෙත් මිස්ටර් ශ්‍රී ලංකා හි ලබාගන්නා ලකුණුත් එක්කයි. ලංකාව දිනවන්න බලාපොරොත්තුවක් ඇතිවයි මම මේ තරගාවලියට ඉදිරිපත් වුණේ. මම ගොඩක් කැපවෙන්න බලාගෙනයි මේකට ඉදිරිපත් වුණේ.
මිස්ටර් වර්ල්ඩ් හි සිරිලක මේඝ ය - මට ඕනෑ වුණේ ලංකාව දිනවන්න
අවසන් දහදෙනා අතරට ආපු වෙලාවේ මොනවගේ හැඟීමක්ද ආවේ?
මම හිතන්නේ ඒක වචනයෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ලංකාව වගේ පොඩි රටකින් ලෝකයේ තියෙන ලොකුම තරගාවලියකට ඉදිරිපත් වෙලා මේ තරම් හරි ජයග්‍රහණයක් ගෙන දෙන්න පුළුවන්වීම ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මට ලැබුණු අවස්ථාවෙන් උපරිම දස්කම් දක්වලා අවසන් තරගකරුවන් දසදෙනා අතරට එන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.
මේ ගමන එනකොට මුහුණ දුන් අභියෝග මොන වගේද?
අපිට ඕනෑ වුණේ ලංකාවේ සංස්කෘතිය නියෝජනය කරන ගමන් එය ලෝකයට රැගෙන යද්දී ලෝකයේ අනෙකුත් රටවලට වඩා එය අපිට වෙනස් ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ සඳහා බොහොම කැපවීමෙන් ඉතාම කෙටි කාලයකින් තමයි සූදානම් වුණේ. මගේ නැෂනල් කොස්ටියුම් එක ගැන ගොඩක් කතාබහට ලක්වුණා.
මේ ගමන එන්න ඔබට අතහිත දුන්න අයත් ඇතිනේ?
මේ වෙලාවේ මම ආදරයෙන් මතක් කරන්න ඕනෑ මගේ අම්මා, තාත්තා. නංගි, මල්ලිව වගේම ඥාතීන් සියලුම දෙනාව. එතැනින් එහාට මාත් එක්ක ළඟින් හිටපු මගේ යාළුවෝ සියලු දෙනාම. ඒ වගේම මිස්ටර් ශ්‍රී ලංකා හි සහෝදරයන් සහ සහෝදරියන් සියලුම දෙනාම. ඔය අතරේ මොඩ්ල් ෂොප් ආයතනයේ සංගීතා වීරරත්න මහත්මිය, ධනංජය බණ්ඩාර මහතා, ෂෙරීන් කුමාරතුංග මහත්මිය ඇතුළු සියලුම දෙනාම මතක් කරන්න ඕනෑ. ඒ වගේම මිස්ටර් වර්ල්ඩ් සංවිධානය වගේම මිස්ටර් ශ්‍රී ලංකා තරගාවලියේදී මට හමුවුණ සියලුම තරගකරුවනුත් මතක් කරන්න ඕනෑ. තවද මගේ නැෂනල් කොස්ටියුම් එක නිර්මාණය කරන්න උදව් කරපු නාමල් සහෝදරයාත්, සංඛ අබේසිංහ සහෝදරයාත් මේ වෙලාවේ අමතක කරන්න බැහැ.
දිනේෂ් විතාන