නිම්මි මනෝහාරිව ඔබ මුලින්ම හඳුනාගන්නෙ ‘නාඩගම්කාරයෝ’ නිසා. එහි පොඩ්ඩිගේ චරිතය ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. මෑතකදි ‘වියළි’ හරහා ද ඔබ හමුවට පැමිණි නිම්මි දැන් ‘පිරිමි ළමයි’ තුළින් දැකගන්න ලැබෙනවා. අපේ මේ කතාබහ ඒ වෙනුවෙන්.
නිම්මි මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකින් දකින්න ලැබෙනව?
ඔව්, මම රංගනයෙන් දායක වන ‘පිරිමි ළමයි’ සහ ‘වියළි’ කියන ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල විකාශය වෙනව.
කොහොමද රසික ප්‍රතිචාරය?
පිරිමි ළමයි ටෙලි නාට්‍යය නම් මෑතකදි තමයි ආරම්භ වුණේ. ඒකට මේ වනවිට ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. වියළි ටෙලිනාට්‍යයේ චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර විවිධයි.
‘වියළි’ අත්දැකීම ගැන කතා කළොත්?
වියළි ටෙලි නාට්‍යය ගත්තොත් එහි අවසන් කොටස් කිහිපය තමයි මේ දවස්වල විකාශය වෙන්නෙ. මේ ගැන කතා කළොත්, වියළි කියන්නෙ මගේ රංගන ජීවිතයේ මට ලැබුණ ලොකුම අත්දැකීමක්. වියළි මට ලැබෙන්නෙ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට පස්සෙ. මෙහි රූගතකිරීම් කරන්නෙ මීට අවුරුදු තුනකට කලින්. ඒ කොටස් පහළොවයි. ඉතිරි කොටස් ටික රූගත වෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි මාසයේ. ආරම්භයේදී නවකයෙක් විදිහට ෂූටිං පටන්ගත්ත නිම්මි නෙමෙයි මෑත කාලයේ ෂූටිං පටන්ගත්තාම හිටියෙ. මොකද මේ නාට්‍යය හරහා මගේ හැකියාවන්, කුසලතාවන් යම්කිසි දුරකට ප්‍රගුණ කර ගත්තා කියල මට හිතෙනව.
නාඩගම්කාරයෝ සහ වියළි නිම්මිගෙ රංගන ජීවිතේ මොන වගේ තැනකද තියෙන්නෙ?
නාඩගම්කාරයෝ කියන්නෙ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ වගේම වියළි කියන්නෙ මගේ රංගන ජීවිතය වෙනස් මානයකට ගෙනගිය නාට්‍යය.
අවසානයේ නයෝමිට මොකද වෙන්නෙ?
වියළුණු හිත් තෙමන්න පුළුවන් ආදරයෙන් විතරයි. කථාව පටන්ගන්නෙ වියළුණු හිත්වලින් වගේම කථාවේ අවසානයත් වියළුණු හිත්වලින්ම අවසන් වේවි. ඒ වගේම නයෝමිටත් ආදරය අහිමි වේවි.
පිරිමි ළමයි ටෙලියේ මැණිකා මොන වගේ චරිතයක්ද?
මැණිකා කියන්නෙ බෙර වාදන ශිල්පියකුගේ බිරිඳ. ටිකක් වයසින් මුහුකුරා ගිය චරිතයක්. මේ බෙර වාදකයා උදේ ඉඳන් දේවාලෙට වෙලා බෙරගහල දෙවියන්ට යාතිකා කරල, හවසට කසිප්පු වාඩියට ගිහින් සප්පායම් වෙලා ගෙදරට එන්නෙ. ඔහු එවැනි චරිතයක්. ඉදිරියේදී මගේ චරිතය මොන වගේ පැත්තකට යයි ද කියල මම දන්නෙ නැහැ. නමුත් කතාව ගැන කියන්න තියෙන්නෙ හරිම විනෝදජනක, කාටත් රසවිඳින්න පුළුවන් නාට්‍යයක් වෙයි කියල තමයි.
අනෙකුත් ශිල්පීන්ගේ සහයෝගය මොන වගේද?
මෙහි රූගතකිරීම් කළ මුල් දවස්වල මට හුණගැහුනෙ කුමාර තිරිමාදුර මහත්මයා, නයනා හෙට්ටිආරච්චි මහත්මිය, සුජානි නංගි, නිනෝ අරලිය අයිය වගේ අය. අපේ මුළු කණ්ඩායම ම බොහොම සතුටින් කාලය ගතකරනව වගේම එකිනෙකාට සහයෝගයෙන් වැඩ කරනව.
ජනප්‍රියත්වය නිම්මිට දැනෙන්නෙ කොහොමද?
ජනයාට ප්‍රියයි කියන දේ මම හරි ආදරෙන් භාරගන්නව. නමුත් මම දන්නෙ නැහැ මම කොච්චර ජනප්‍රිය ද, කොච්චර ප්‍රසිද්ධ ද කියල. මගතොට දැක්කාම වගේම සමාජමාධ්යයේත් ලැබෙන ප්‍රතිචාර දකිනකොට ලොකු සතුටක් ඇතිවෙනව.
නිම්මිට ක්ෂේත්රය තුළ විශේෂ යහළුවන් නැද්ද?
ඇත්තටම නැහැ. මම කරන රාජකාරිය තුළ විතරයි මම ඉන්නෙ. ඒ කාලය තුළ හැමෝමත් එක්ක සතුටින් ඉන්නව. ඒ හැරුණම ක්ෂේත්රය තුළ මට යහළුවන් බොහෝ දෙනෙක් නැහැ. මේ නිසා සමහර අය හිතනවද දන්නෙ නැහැ මගේ ලොකුකම කියල. නමුත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. මගේ පුද්ගලික ජීවිතේ වුණත් එහෙම විශේෂ යහළුවන් නැහැ. හැමදෙනාවම මම ආශ්‍රය කරන්නෙ යම්කිසි සීමාවකට. මොකද බැඳීම් කියන දේවල් මම ඉක්මනින්ම මගේ ජීවිතයට ගන්නව. ඒව අතහැරෙද්දි මට දුකයි. එහෙම දේවල් මට වෙලා තියෙන නිසාත් ඒ වගේ දේවල්වලට බයයි. අනික මම දුරකතනයේ වුණත් නිතරම ඉන්න කෙනෙක් නෙමෙයි. සෝෂල් මීඩියා පැත්තෙන් ගත්තත් එහෙමයි. සමාජමාධ්‍ය තුළ මම මගේ පුද්ගලික තොරතුරු බෙදාගන්න කෙනෙක් නෙමෙයි.
සමහර අය පුද්ගලිකව තමන්ව ජනප්‍රිය කරගන්න සමාජමාධ්‍ය පාවිච්චි කරනවා?
කෙනෙක් පුද්ගලිකව තමන්ව ප්‍රමෝට් කරගන්න සමාජමාධ්‍ය පාවිච්චි කරනව නම්, මම හිතන්නෙ ඒක තේරුමක් ඇති දෙයක් නෙමෙයි. මගේ පැත්තෙන් ගත්තොත් රංගන ශිල්පිනියක් හැටියට, රංගන ශිල්පිනියක් කිව්වට ඇත්තටම මම තවම නිළියක් නෙමෙයි. මම ඉන්නෙ හරිම පොඩි තැනක. ඒ වුණත් මම මාව ප්‍රමෝට් කරගන්නෙ මගේ නිර්මාණ තුළින් මිසක පුද්ගලික දේවල්වලින් නෙමෙයි. යම් කෙනෙක් එහෙම කරනව නම් මට ඒක හරි හෝ වැරදියි කියන්නත් බැහැ.
නිම්මි නුවර ඉඳන් කොළඹ එන්නෙ?
මම නුවර ඉඳන් කොළඹ එන්නෙ ‘නාඩගම්කාරයෝ’ වෙනුවෙන්.
ඒ ගමන එන්නෙ රැකියාව අතහැරල?
ඔව්, ඇත්තටම මම ඒක කළේ හිතකින් නෙමෙයි. නමුත් ඒක නොකර බැරි වුණා.
ඒ ගැන පසුතැවීමක් නැහැ?
ඇත්තටම පසුතැවීමක් නැහැ. රංගන ක්ෂේත්රයට පැමිණීමත් එක්ක මම ගෙවපු ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ අලුත් ජීවිතයට මම හරිම ආදරෙයි. රට දාල යන්න හිතුන අවස්ථාවලදිත් රංගනය නිසාම නැවතත් කකුල ආපස්සට ගත්ත අවස්ථා ගොඩක් තියෙනව.
දැන් මියුසික් වීඩියෝවල රඟපාන්නෙ නැද්ද?
මියුසික් වීඩියෝ අතහැරල නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නව.
මහේෂ් එදිරිසිංහ