දුව රඟපාන්න කැමැති නෑ – මග්දලෙනාට කෑදරයි

 


පසුගිය කාලයේ වෙනස්ම චරිත හරහා ඔබ හමුවට ආ ඇය නමින් සේමිණි ඉද්දමල්ගොඩ. මේ දවස්වල ඇයව අපට මුණගැසෙන්නේ කෝරලගේ සමන් අධ්‍යක්ෂණය කරන අමුතු දොස්තර හි මග්දලෙනා ලෙසිනි. ඉතිං ඇයත් සමගයි මේ කතාබහ.


මරියා මග්දලෙනා ලැබෙන ප්‍රතිචාර?


ප්‍රතිචාර හොඳයි. වෙනස්ම චරිතයක්. ගොඩක් අය ඒකට කැමැතියි.


මේ දවස්වල වාඩියකද ජීවිතය ගෙවෙන්නේ ?


ඔව්. ඔව්. වාඩියක තමයි ජීවිතය ගෙවෙන්නේ.


අමුතු දොස්තර රූගත කිරීමේ අත්දැකීම් මොන වගේද?


උඩප්පුව කියන ප්‍රදේශයේ තමයි රූගත කිරීම් සිදුකළේ. ගොඩක් කාෂ්ටක පරිසරයක්. හැබැයි ඉතින් හරිම සුන්දරයි. ඒ පරිසරයේ ජීවත්වන මිනිස්සුන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. මෙහි අවසාන කොටස් ටිකනම් කොළඹ අවට තමයි රූගත කිරීම් සිදුවන්නේ.


මග්දලෙනා ගැන මොකද හිතෙන්නේ?


මග්දලෙනා කියන්නේ ඉතාමත් කරුණාවන්ත ජීවිතයක් තියෙන කලපු ආශ්‍රිත පරිසරයක ජීවත්වන සැමියා මියගිය කාන්තාවක්.


මේ වගේ චරිතයක් හම්බවුණේ පළමු වතාවටද?


ඔව්. මග්දලෙනා වගේ චරිතයක් රඟපාන්නේ පළමු වතාවට. මට නුහුරු පරිසරයක්, නුහුරු අත්දැකීමක්, කතා විලාසයක්, ගමන් විලාසය වගේම රූපය එහෙම වෙනස් කරලා තමයි රඟපෑවේ. මට ලැබුණු වෙනස් චරිත අතුරින් වෙනස්ම චරිතයක් කිව්වොත් හරියට ම හරි. මම මෙච්චර කාලෙකට කරලා තියෙන්නේ එකකට එකක් වෙනස් චරිත. ඉතින් ඒ වගේ මද්ලෙනාත් වෙනස්ම චරිතයක්.


අමුතු දොස්තර ගැන කේෂ්ත්‍රයේ අය මොනවාද කියන්නේ?


ගොඩක් හොඳ තමයි කියන්නේ. මම සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක් විකාශය වුණාට පස්සේ ඊට යටින් තියෙන කමෙන්ට් බලනවා. අපේ මුළු ටෙලිනාට්‍යයට ම ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා.


කෝරලගේ සමන් කියන්නේ නවක අධ්‍යක්ෂවරයෙක්. ඔහුගෙන් ආරාධනාවක් ලැබුණහම මොකද හිතුණේ?


කෝරලගේ සමන්ගේ පළමුවන වැඩේ. මට ඔහු ගැන සැකයක් ඇතිවෙලා තිබුණේ නැහැ. දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට අපි ඔහුව පසුගිය කාලය පුරාවට ම දැකලා තියෙනවා. පිටපත ලැබුණට පස්සේ මග්දලෙනා කියන චරිතයට ලොකු කෑදරකමක් ඇති වුණා. ඉතින් මම අධ්‍යක්ෂවරයාගේ පළමුවන නිර්මාණය කියන එකට බයවුණේ නැහැ. නැතිනම් හුඟක් වෙලාවට අධ්‍යක්ෂවරයාගේ පළමුවන නිර්මාණය නම් මම නිතරම බලනවා ඔහුගේ වටපිටාව ගැන. ඉතින් සමන් දක්ෂයෙක් කියලා මට තේරුණා.


ඔබ රඟපෑ සෝලෝටවුන් චිත්‍රපටයත් තිරගත වෙනවා නේද?


මම රංගනයෙන් දායක වුණු මන්දාරා චිත්‍රටපය මේ දවස්වල දින සියයත් පසුකරමින් තිරගත වෙනවා. ඒකත් ලොකු ජයග්‍රහණයක්නේ. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු සෝලෝටවුන් චිත්‍රපටය එළැඹෙන මස 05 වැනිදා සිට තිරගත කිරීම් ඇරඹෙනවා.


සෝලෝ ටවුන් හින්දා තාරුණ්‍යයේ ජනප්‍රිය චරිත එක්ක වැඩකරන්න හම්බවුණා නේද?


ඔව්. ඒකත් වෙනස්ම අත්දැකීමක්. ඒ චිත්‍රපටය තුළ මම විශාල කතාබහකට ලක්වෙන ලොකු චරිතයක් නොවුණත්, මට ලැබෙන චරිතයෙන් සමාජයේ දරුවන්ට යම්කිසි පණිවුඩයක් ලබාදෙන්න පුළුවන්. මට වැදගත් වෙන්නේ චරිතය පොඩි ද ලොකු ද කියන එක නෙමෙයි. රංගනය පැත්තෙන් මට කරන්න තියෙන කාර්යය මොකක්ද කියන එක විතරයි මට වැදගත් වෙන්නේ.


රංගනයේදී ඔබට ලැබෙන චරිත ගැන මොකද හිතෙන්නේ ?


මම කැමැතියි. මම හිතනවා මම හරි වාසනාවන්ත රංගන ශිල්පිනියක් කියලා. විවිධ චරිත ලැබෙන එක මට වාසියක්. මම හිතනවා මම ඒ චරිතවලට මෙච්චර කාලෙකට අසාධාරණයක් කළේ නැහැ කියලත්.


අධ්‍යක්ෂවරුන්ගේ ආරාධනාවන් ගැන කතා කළොත් ?


හැමෝට ම මේ වාසනාව ලැබෙන්නේ නැහැ. හැත්තෑව දශකයේ හිටපු රංගන ශිල්පිනියන්ට තිබ්බ වාසනාව අපිට අඩුයි. ඒ වුණාට මෑත කාලයේ දී මට ලැබෙන චරිත එක්ක මම වාසනාවන්ත කෙනෙක් කියලා හිතනවා. අධ්‍යක්ෂවරු මාව විශ්වාස කරලා මට ඒ චරිත ලබාදෙන එක ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.


මේ දවස්වල ෂූටින් මොනවාද?


අමුතු දොස්තර මුල් අදියරයේ රූගත කිරීම් සිදුකළේ මීට අවුරුද්දකට විතර කලින්. මේ දවස්වල එහි රූගත කිරීම් සිදුකරන්නේ අවසාන කොටස් කිහිපය. පසුගිය සතියේ ධනුෂ්ක රේමන්ගේ ‘ද ලේක්’ කියලා නිර්මාණයක බෙලිහුල්ඔය ප්‍රදේශයේ රූගත කිරීම් සිදුකළා.


සුද්දි, බි්‍රජෙට් සිල්වා, මරියා මග්දලෙනා කියන චරිතවලින් ඔබ වඩාත්ම කැමැති චරිතය ?


මම ඒ හැම චරිතයකටම කැමැතියි. මොකද ඒ චරිත මට නොලැබී ගිය අත්දැකීම් එක්ක ගලාගෙන ගිය චරිත. ඉතින් ඒ හින්දා ඒ චරිත සියල්ලට ම මම කැමැතියි.


ඔබේ රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් ?


මට සතුටුයි. මොකද මට මගේ දක්ෂතාවයන් පෙන්වන්න පුළුවන් චරිත ලැබුණා. වාසනාවන්ත රංගන ශිල්පිනියක් කියලා මට දැනෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.


මෑත කාලයේ ඔබ රඟපෑ ගොඩක් චරිතවලට ඔබව ඇගයීමට ලක්වෙනවා නේද?


ඒ ගැන සතුටුයි. මම දැන් කේෂ්ත්‍රයට ඇවිදින් දශක තුනකට කිට්ටුයි. මට මුල් කාලයේදී ලැබෙන්න තිබුණ ඇගයීම් හුඟාක් මඟහැරිලා ගියා. ඒ හැම චරිතයක්ම හොඳම නිළියට නිර්දේශ වුණා විතරයි. මම ඒක පොසිටිව් විදිහට හදාගත්තා. මට දියුණු වෙන්න කාලය දුන්නෙ කියලත් මට හිතෙනවා.


අද කාලේ බිහිවන නිර්මාණ ගැන ඔබ සිටින ස්ථාවරය ?


දැන් අවුරුදු හතර පහකට සාපේක්ෂව මේ කාලය වනවිට හොඳ නිර්මාණ බිහිවෙනවා. හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. අනිත් එක බුද්ධිමත් රංගන ශිල්පීන්, ශිල්පිනියන් බිහිවෙලා තියෙනවා. පසුගිය කාලයේ ගොඩක් ජනප්‍රිය වෙච්ච රංගන ශිල්පීන්, ශිල්පිනියන් හොඳ අධ්‍යාපනයක් ලබලා රංගනය ගැන ඉගෙනගෙන තමයි වැඩ පෙන්වන්නේ.


රඟපාන්න කැමැති කෑදර, ලෝබ හිතෙන චරිත තියෙනවාද?


එහෙම චරිත ගැන කියන්න පුළුවන් වෙන්නේ ඉදිරියේදී ලැබෙන පිටපත් අනුවයි. ඒ පිටපත අනුව කෑදරකමක් ඇතිවෙයිද කියලා බලනවා.


අම්මාගේ රංගනයන් ගැන දුව මොනවද කියන්නෙ?


දුවට ගොඩක් සතුටුයි. කොටසින් කොටස බලන්නේ නැහැ. හැබැයි යූටියුබ් එකේ එහෙම දැක්කහම එයා මට ඊට ප්‍රතිචාර දක්වනවා.


දුව රඟපෑමට අකමැතිද?


දුවගේ කිසි කැමැත්තක් නැහැ.


ගෙදරින් ලැබෙන සහයෝගය ?


මගේ සැමියා ධම්මිකගෙන් ඒ සහයෝගය ලැබුණේ නැතිනම් මට මෙච්චර දුරකට එන්න බැහැ. මොකද රංගනයේ දී ඒ මානසික නිදහස ඉතා වැදගත්. ඒ මානසික නිදහස මගේ සැමියා උපරිමයෙන් ලබාදීලා තියෙන්නේ. ඔහුට මම නිරන්තරයෙන් ඒ ගැන ස්තුතිවන්ත වෙනවා.


දිනේෂ් විතාන




Previous Post Next Post