ගුවන් විදුලිය, වේදිකාව, පුංචි තිරය සේම සිනමාව තුළ ද ඇය රංගනයේ බොහෝ දුරක් පැමිණියේ තම කුසලතාවයන් ඔස්සේ ජන මාධ්‍ය පුබුදාලමිනි. එදා රංගනයේ නියැළී බොහෝ නිර්මාණයන්ගේ විවිධ චරිත ඔස්සේ අදත් ප්‍රේක්ෂක මතකයෙන් බැහැර නොගිය ඈ ගීතාකාන්ති ජයකොඩිය. එදා ඇය රංගනයේ නියැළී කැළණි පාලම වේදිකානාට්‍යයේ සුරංගනී, යශෝරාවය ටෙලි නාට්‍යයේ සුවිමාලි, පූජා චිත්‍රපටයේ වසන්ති ඇයගේ රංගනයන් ගැන කියන්නට කදිම සාක්ෂිය.
සරසවිය, සුමති, ඕසිඅයිසී ආදී සම්මාන රැසකින් ගෞරව බුහුමානයට පාත්‍ර වූ ගීතා කාන්ති අදත් තම රංගනයන් ඔස්සේ පේ්රක්ෂක ආදරය නොවඩුව අත්විදින කලාකාරිනියක් බවට පත්ව ඇත. මේ දිනවල දිවයින පුරා තිරගත වන ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ රංගනයත් සමඟ පේ්රක්ෂකයන් අතරට එක්ව සිටින ගීතාකාන්ති හා කතාබස් කරමු.
ඔබේ රංගන දායකත්වයෙන් මේ දිනවල තිරගත වන ශ්‍රී සිද්ධා කීවෙනි නිර්මාණය කියලද මතක?
මට එහෙම සංඛ්‍යාත්මකව කියන්න හරියට මතකයක් නෑ. මගේ මුල්ම සිනමා රංගනය එක්වුණේ නම් ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ රිදී නිම්නය චිත්‍රපටයට ශී‍්‍ර සිද්ධා චිත්‍රපටයේ මම රඟපාන්නේ නම් සුගලගේ මවට.
රංගනයේ නියැළී මතකයේ රැඳුණු සිනමා නිර්මාණත් ඇති නේද?
රිදී නිම්නය, පූජා, ඔක්කොම රජවරු, හොඳින් නැතිනම් නරකින්, පෙම්ි රජ දහන, චණ්ඩි රජා, සඳරේඛා, දොරකඩ මාරාව, සඳයහන, සුදු කළුවර, පරාවර්තන, ආදරමීනා ආදී ගොඩක් නිර්මාණ තියනවා.
ඔබ රංගනයේ නියැළී දෙවන සිනමා නිර්මාණයෙන්ම සම්මානනීය නිළියක් වන්නට ඔබ වාසනාවන්තවනවා නොවේද?
ධර්මසිරි ගමගේ මහතා අධ්‍යක්ෂණය කළ පූජා චිත්‍රපටයේ වසන්ති කියන චරිතය මට රඟපාන්න ලැබුණා. මේ ප්‍රධාන චරිතය වෙනුවෙන් මට සරසවිය නැගී එන නිළිය සම්මානය හිමිවුණා. ඒ සම්මාන උලෙළේ මාව හොඳම නිළිය සම්මානය සඳහාත් නිර්දේශ වුණා. මාත් සමඟ අනෙක් නිර්දේශිතයන් වුණේ අනෝජා වීරසිංහ – ගීතා කුමාරසිංහ.
රියල් අද්මිරාල් සරත් වීරසේකර නම් වූ මේ චිත්‍රපට අධ්යක්ෂවරයා ඔබට හමුවන්නේ. ශ්‍රී සිද්ධා සමඟ ද?
නෑ. මම මීට පෙර ඔහුගේ ගාමිණි චිත්‍රපටයේත් රඟපෑවා.
ශ්‍රී සිද්ධා චිත්‍රපටය ඔබට විශේෂයි නේද?
ඔව්. විශේෂ නෑ කියන්නත් බෑ. මෙහි මම රඟපාන්නේ මගේම දුවත් එක්ක. ඒකෙ තියන තවත් විශේෂත්වය තමයි මගේම දුව චිත්‍රපටයෙත් මගේම දුව හැටියට රඟපෑම.
පළමු වරට ද සැබෑ ජීවිතයේ දුවත් අම්මත් රංගනයේත් දුවත් අම්මත් වන්නේ?
මීට කලින් මම යශෝරාවය ටෙලි නාට්‍යයේ රඟපානකොට මගේ දුව විදියට මාත් සමඟ ඒ නිර්මාණයේ දුව වුණෙත් මගේ පබෝධා දුව. මේ ශ්‍රී සිද්ධා දෙවැනි අවස්ථාව මගේම දුවගෙ අම්මා ලෙස රඟපාන. දුවයි මමයි සමහර නිර්මාණවල එකට වැඩ කළා. නමුත් ඒවායේ එයාගේ අම්මා විධියට නොවෙයි.
දුව මුල් වරට ඔබත් සමඟ රංගනයේ නියැළෙන කොට මොන වයසක ද පසුවුණේ?
මට මතක හැටියට යශෝරාවයේ රඟපානකොට දුවට අවුරුදු පහයි. ඉස්කෝලෙ යන්නත් පටන් අරන් නෑ එතකොට අද ශ්‍රී සිද්ධා වල රඟපානකොට මගේ දුවත් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්.
තමන්ගේ සැබෑ දුව සමඟ රංගනයේ නියැළීම තුළ අපහසුතාවයක් ඇතිවුණේ නැද්ද? ඇයත් මේ වනවිට ජනපි‍්‍රය නිළියක්.
මට මුලදි නම් හිතුණා. මේ වැඩේ කරන්න අමාරු වෙයිද කියලා. මම ගෙදර අම්මා නොවෙන විධියටනේ චිත්‍රපටයට ඇට් කරන්න තිබුණේ. මට දුවට කෝටුවක් අරන් ගහන්නත් තිබුණා. හැබැයි මොන විධියකවත් අපහසුවක් නම් ඇතිවුණේ නෑ. මොකද අපි දෙන්නටම හොඳට ඇට් කරන්න පුළුවන් කියන දේ අපි දෙන්නම දැන සිටියා. දුව වුණත් පුංචි කාලේ ඇට් කරන කොට මමත් ගිහින් බලාගෙන හිටියා. මොනවහරි එක පාරක් කියල දුන්නට පස්සේ ආයෙ දෙපාරක් කියල දෙන්න ඕනෙ වුණේ නෑ.
අධ්යක්ෂවරයාගෙන් චරිත නිරූපණයට නිදහසක් ලැබුණද? නොඑසේ නම් ඔබව එක රාමුවක් තුළ කොටුකර තැබීමක් කළාද?
අපිට නිදහස දුන්නා. චරිතය ගැන වැටහීමක් හෙමින් සැරේ අපේ ඔළුවලට දැම්මා. ඒ වැටහීම අපි අපේ දෙයක් කරගෙන ඔහුට අවශ්‍ය රංගනය ඉදිරිපත් කළා.
ඔබ දායක වූ ටෙලි නිර්මාණ හා ප්‍රමාණය හා සසදනකොට දායක වූ සිනමා නිර්මාණ ප්‍රමාණය අඩු ප්‍රමාණයක් නේද?
ඔව් මම රඟ පෑ ටෙලිනාට්‍ය ප්‍රමාණය වැඩියි. මට වුණත් සිනමාව අලුත් අධ්යක්ෂවරයාගේ කැමරා ශිල්පියාගේ උපදෙස් මට ගොඩක් වැදගත් වුණා අත්දැකීම් වල අඩුව මඟහරවා ගන්න.
ඔබේ කලා ජිවිතය ඇරඹුම පටන් ගත්තේ?
මට හිතෙන්නේ පාසලෙන් එයිට එහා ගියොත් ගෙදරින් මමත් මල්ලිත් අයියත් අපි ගෙදර මිදුලේ. පුංචි මඩුවක් හදල ඒකෙ තමයි. මුලින්ම රඟපෑවේ අයියා ගමරාළ මම ගම හාමිනේ මම කලයක් අරන් චන්දන ඇග ගාලා කොන්ඩේ කඩා දාලා ගඟුලේ ගිලීලා සිංදුව කියාගෙන යනවා. අයියා එයාගේ සින්දුවේ ඊළඟ පාට් එක කියනවා ඔය විධියට අපි නොදැනුම්වත්ව රඟපෑමක් මුලින් කළා. අපේ පවුලේ කට්ටියට හොඳට සින්දු කියන්න පුළුවන්. අයියා කමල් මල්ලි පියල් නංගිලා දෙන්න ශි‍්‍රයාණි, රත්නා මේ ඔක්කොටම සිංදු කියන්න පුළුවන්. අපේ අම්මා වයලට් කුරුවිට ආරච්චි, බොහොම කැමැත්තෙන්. ගීත තරඟවලට ඇප්ලිකේෂන් දානවා. අපිව ඒ වට ඉදිරිපත් කරවනවා. ඒවායින් අපි දිනලා තෑගි ගන්නවා. මම තමයි ගොඩක් දේවල් වලට ගියේ. මම පාසලේදී නැටුම් කළා, සරඹ කණ්ඩායමේ නායිකාව වුණෙත් මම. පුංචි කාලේ ඉඳල ඉදිරියට යාමේ ගතියක් මා තුළ තිබුණා.
නන්දා රත්නතුංග කියන නිළිය අපේ පවුලට සම්බන්ධ වුණා. තාත්තාගේ පැත්තේ නෑදෑ සබඳතාවයක් මත. අපේ අම්මත් හරි දක්ෂයි. කා එක්ක හරි මිත්‍රවෙලා වැඩක් කරගන්න. කොහොම හරි අම්මාගේ ඉල්ලීමකට නන්දා රත්නතුංග, මාව සම්බන්ධ කරල දුන්නා. සුමනා ජයතිලක මහත්මිය කරපු ගුවන් විදුලියේ හඳමාමා වැඩසටහනට ඒ වෙනකොට මට වයස අවුරුදු නමයයි.
හඳමාමා වැඩසටහනට මුලින්ම එක් වූ දවස මතකද?
එදා මම මුලින්ම ගායනා කළේ කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබි ගමනින් එන්නේ උදේට නාගෙන චීත්තේ ඇදගෙන ආච්චි මේ එන්නේ ගීතය.
දිගින් දිගටම හදමාමා තුළ රැඳී සිටීමක් කළාද?
සතියකට දවසක් දෙකක් වගේ වැඩසටහන් වලට ආව ගියා. ඔය අතරේ කරුණාරත්න අබේසේකර මහත්තය. සරස්වතී මණ්ඩපය කරන කාලේ මට එයට සම්බන්ධවෙන්න ලැබුණා සතියක් ගාණේ. එහි සමුහ ගායනාවලට මට එකතු වෙන්න ලැබුණා. මාලිනී බුලත් සිංහල නිර්මලා රණතුංග රෝහණ සිරිවර්ධන, සොලෝ කිව්වා අපි කෝරස් කිව්වා ඒ කාලේ ගුවන් විදුලියේ නිෂ්පාදකයකු ලෙස වැඩ කළ සුනෙත් ගෝකුල මහතා ළමා සංගීත සන්ධ්‍යාවට අපිව සම්බන්ධ කරගත්තා. අපි එතැනදී ගීත ගායනා කළා.
ඔබේ ගීත කීපයකුත් එහිදී පටිගත කළා නේද?
ගොඩක් සින්දු කිව්වට එකක් දෙකක් තමයි ස්ථාපිතව පටිගත කළේ.
අත්තාපල්ලා අත්තාපල්ලා මං අල්ලන්නට බැරුවානේ….
ගීතය තමයි ඒ අතරින් ගොඩක් ජනපි‍්‍රය වුණේ.
තව ගීත කීපයක්ම තිබුණා.
නිලට නිලේ නිල් අහසේ පාවෙනවා මගෙ සරුංගලේ…
සීතා ගීතා මේ බලන්න කෝ ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ
කැලැන්ඩරේ පෙරළි පෙරළි අපට කියනවා…
ආදී ගීත කීපයක්ම ඒ අතරේ මගේ ගී ගායනා ලෙස තැටිගත කළා.
සනත් නන්දසිරි, නන්දා මාලිනී, සරත් දසනායක ඩබ්ලිව් ඩී. අමරදේව වගේ මහත්ම මහත්මීන් ඇවිත් සතියෙන් සතිය ළමා සංගීත සන්ධ්‍යාව රසවත් කළා.
ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් බවට පත්වන්නට ඔබට දොරටු විවර වන්නේ කොයි ආකාරයට ද?
ළමා පිටියේ තිබුණ ළමා රඟමඩලේ රංග පීඨය දවස් පහෙන් එක දවසක් නාට්‍ය සඳහා වෙන්වෙලා තිබුණා. පාසලෙන් පස්සේ මගේ ගෙදර වුණේ ගුවන් විදුලිය. ගායනය පැත්තට වඩා මම වැඩිපුර යොමුවුණේ නාට්‍ය පැත්තට ශ්‍රේණිගත කිරිම්ි අනුව මම සී ශ්‍රේණියේ ගායිකාවක් ගුවන් විදුලියේ මගේ මල්ලි පියල් බී ශ්‍රේණියේ ගායකයෙක්. ගුවන් විදුලියේ නාට්‍ය පැත්තෙන් ගුවන් විදුලියේ මම සුපර් ග්‍රේඩ් නාට්‍ය ශිල්පිනියක්.
ඔබේ දක්ෂතාවයට වටිනාකමක් අතට ලැබෙන්නේ?
ළමාපිටියේ ඉඳලම මුදලක් ලැබුණා. මුලින්ම ලැබුණේ රුපියල් හතයි ශත පණහක වවුචරයක්.
ගුවන් විදුලි නාට්‍ය ඔස්සේ මම ජනපි‍්‍රයත්වයක් ලබා ගත්තේ මොන නිර්මාණ ඔස්සේද?
ආනන්ද සිරිසේන මහතා දිගින් දිගිටම ගු වන් විදුලියට නාට්‍ය රචනා කළා. ඒ නාට්‍ය වල මම ගොඩක් රඟපෑවා. ඔය අතරේ වජිරා නාට්‍යයේ මට රඟපාන්න ලැබුණා. මුලින් වජිරා නාට්‍යයේ රඟපෑවේ කුසුම් පීරිස් ඇයට පසුව ස්ථිර සේවයට ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න වුණ නිසා. වජිරාගේ චරිතයට මගේ හඬ ගැළපුණා. ඒ නිසා දිගටම මම වජිරා නාට්‍යයේ වජිරා වෙන්න සිද්ධ වුණා. ඒ තුළින් මම ගොඩක් ජනපි‍්‍රය වුණා. රන්ගල්තලාව මුවන්පැලැස්ස නාට්‍යවලත් මම රඟපෑවා.
එදා මුවන්පැලැස්සේ කවුරු හැටියට ද ඔබ රංගනයේ නියළුණේ?
කදිරාගේ පෙම්වතිය හැටියට මම රඟපෑවා. අදත් මම ගුවන් විදුලියේ විකාශය වන මුවන්පැලැස්ස නාට්‍යයේ බිනරිගේ චරිතය කරනවා.
ගුවන්විදුලිය තුළ ඔබ අසීමාන්තික ජනපි‍්‍රයත්වයක් ලබනවා නොවේද?
සුගතපාල ද සිල්වාගේ ගුවන් විදුලි රඟමඩල නාට්‍ය බොහොමයක මම රඟපෑවා. උන්මාද චිත්‍රා අසීමාන්තික චරිත ප්‍රමාණයක් මම ගුවන් විදුලියේ නාට්‍යවල රඟපෑවා. ඒ ලැබුණු බොහෝ නිර්මාණවල මට ලැබුණේම ප්‍රධාන චරිතය.
ඔබ සහන නිවේදිකාවක් වගේම වැඩසටහන් නිෂ්පාදිකාවක් කියලත් ආරංචියි?
ඔව්. ඒත් වැඩිදෙනෙක් ඒ ගැන දන්නෙ නෑ. මාව වඩාත් ප්‍රසිද්ධ නාට්‍ය ශිල්පිනියක් ලෙසනේ. එවක ගුවන් විදුලියේ තිබුණු අම්බිගා ගීතයෙන් ගීතය ඔව් නෑ බෑ වැඩසටහන්වල නිෂ්පාදන කටයුතු මම කරල තියනවා. වෙළෙඳ දැන්වීම් වල නිවේදන කටයුතු කරල තියනවා. සහන නිවේදිකාවක් ලෙස ගුවන් විදුලියේ වෙළෙඳ වැඩසටහන් නම් විශාල ප්‍රමාණයක් කරල ඇති.
ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම වේදිකානාට්‍ය රංගනයත් සමඟ ඔබ ප්‍රසිද්ධ වේදිකාවට සම්ප්රාප්තවනවා. මේ සුවිශේෂී අවස්ථාව කොයි ආකාරයෙන් ද උදාවෙන්නේ?
මම පාසල් යන කාලයේම ගුවන් විදුලියට බොහෝවිට එන්නේ පාසලේ ඇඳුමෙන්මයි. කොණ්ඩේ ගොතල දෙපැත්තට පීරල කොණ්ඩ කරල් දෙක බැඳල පාසල් ඇඳුමෙන්ම ගුවන් විදුලියට එන කොටත් කැපිල පේනවා. මගේ පාසල් කාලය අවසන් වේගෙන එනකාලේම ගුවන් විදුලියේ නාට්‍යයක් තිබුණා. ලංකා කතාව කියල මේක ඓතිහාසික කතාවක්. මම මෙහි කැතරින් කුමාරිගේ චරිතයට රඟපෑවා. මට මතක හැටියට මේ නාට්‍යයේ විමලධර්මසුරිය රජුගේ කැරැක්ටරය කළේ ජේ.එච්. ජයවර්ධන මම මේ නාට්‍යයේ රඟපාන්න එන්නෙත් ගුවන් විදුලියට ඉස්කෝල ඇඳුමෙන්මයි. ඔය කාලයේ ආර්.ආර්. සමරකෝන් මහත්තයා කැලණිපාලමේ සුරංගනී කියන පාසල් ශිෂ්‍යාවගේ චරිතයට ළමයෙක් හොයමින් ඉඳල ජේ.එච්. ජයවර්ධනයන්ට කියල තියනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා. ජේ.එච් ජයවර්ධන ආර්.ආර්. සමරකෝන්, දෙපළ හොඳ යාළුවෝ. මේ වෙලාවේ ජේ.එච්. ජයවර්ධනගේ මතකයට ඇවිත් තියනවා මාව. මාත් එක්ක මේ නාට්‍යයේ ළමයෙක් රඟපානවා ඇවිත් බලන්න හොඳ වෙයි කියල කියලා තියනවා. මම දන්නෑ ලංකා කතාව නාට්‍යයේ මම රඟපානවා ආර්.ආර්. සමරකෝන් මහත්තයා බලන් ඉඳලා ගිහින් මට පෝස් කාඩ් එකක් එව්වාවහාම ඇවිත් හමුවන්න කියලා. මම ගියා අම්මත් එක්ක හම්බ වෙන්න. මට කැලණි පාලමේ දෙබස් වගයක් කියන්න දුන්නා. එතැනින් පස්සේ මාව නාට්‍යයට තෝරගත්තා. ඒ වෙනකොට ඉස්කෝලෙන් අවුට් වුණ අලුතම.
කැලණි පාලමේ සුරංගනී ඔබව වේදිකාවේ ඉහළට ඔසවා තැබුවා නොවේද?
මොකද නැත්තේ 1978 දී තමයි කැලණි පාලම වේදිකා ගතවීම ඇරඹියේ. මාව ගොඩක්ම වේදිකාව තුළ කවුරුත් හඳුනාගත්තේ කැලණිපාලම තුළින්. ඊට පස්සේ මායාදේවි, වැනීසියේ වෙළෙන්දා, රයිනෝ සිරස් අපායේ අවුරුදු, අහසින් වැටුණු මිනිස්සු, නාගගුරුල්ලා, පුත්‍රසමාගම, සිවම්මා දනපාල ආදී නාට්‍ය රැසක මම රංගනයේ නියැළියා.
ඔබේ ශරීර පැහැයත් එදා වේදිකාවට එන්න ඔබට හේතුවක් වුණාලු නේද?
ඒ දවස්වල මම කළුයි නිළියෝ වුණාම සුදට ඉන්න එපායැ. නමුත් මගේ කළු පැහැය තිබීමත් කැලණි පාලම නාට්‍යයට ගන්න එක හේතුවක් වුණා. නාට්‍යයේ මගේ පැහැයත් හොඳට ගැලපුණා.
විද්‍යා විෂයන් වලින් අධ්‍යාපනය ලැබු ඔබ කලාව තුළින් ගමනක් ගිය තැනැත්තියක්?
මම හැමදෙයක්ම දැනගත්තේ කලාව තුළින්. මම එක පැත්තකින් හරි වාසනාවන්තයි. ඒ කාලේ හිටිය. ක්ෂේත්රයේ දැවැන්තයන්ගේ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. ඒ ඇසුර මට ලොකු පිටුවහලක් වුණා. මගේ කලාජීවිතයේ සාර්ථකත්වයට ඉතිහාසය ගැන මම හැමදේමත් දැනගත්තේ ගුවන් විදුලිය තුළින්.
වේදිකාවෙන් පසු ඔබ පුංචි තිරයට එක් වෙනවා නේද?
රූපවාහිනි මාධ්‍ය ලංකාවේ පටන් ගත්ත අලුත. 1982 දී කැලණිපාලම වේදිකානාට්‍ය රෙකෝඩ් කරලා රූපවාහිනියේ පෙන්නුවා. මේක දැක්ක විජය ධර්ම ශ්‍රී මහත්තයා. ඔහුගේ රන්දොරටුව ඒකාංගික ටෙලි නාට්‍යයට මාව තෝරාගත්තා. නීතිඥවරියකගේ චරිතයක් තමයි මම කළේ. මේක තමයි මගේ ප්‍රථම ටෙලි නාට්‍යය.
සිනමාවට ඔබ ප්‍රවිෂ්ට වන්නේ?
ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ රිදී නිම්නය චිත්‍රපටයෙන් අපි කැළණිපාලම පුහුණුවීම් කරන තැනට ඩී.බී. නිහාල්සිංහ මහතා දවසක් ආවා. ඔහුත් චරිත වෙනුවෙන් නළු නිළියෝ සොයාගෙන. ස්වර්ණා මල්ලවාරච්චි, නදීකා ගුණසේකර චිත්‍රපටයේ ප්‍රධාන චරිත කළා. අතුරු චරිතවලට තෝරගන්න තමයි ඇවිත් තිබුණේ මාව. මැණිකේ අත්තනායක. රම්‍යා වනිගසේකර වගේ අය සෙසු චරිත සඳහා තෝරාගත්තා.
සිනමාවේ ඔබේ මුල්ම පෙම්වතා කවුද?
සනත් ගුණතිලක සනත්ගේ පෙම්වතිය ලෙස තමයි මට රිදී නිම්නය චිත්‍රපටයේ රඟපාන්න තිබුණේ.
පුංචි තිරය තුළ අතිශයින් ජනපි්රයවන නිළියක් බවට ඔබ පත්වෙනවා?
මගේ පළමු ටෙලි නාට්‍ය වූ රන් දොරටුව තුළින්ම මම ඉහළ ජනපි‍්‍රයත්වයක් ලැබුවා. ඒ නාට්‍යයේ රංගනය වෙනුවෙන් මම සම්මානයට පාත්‍ර වුණා. සමහර අයට අද වුණත් ඒ නාට්‍යයේ මගේ දෙබස් මතකයි. නීතිඥවරියගේ චරිතය ඒ දවස්වල මිනිස්සු තුළ ඇති කළේ අනුකම්පා සහගත ආදරයක් යශෝරාවයේ සුවිමාලි චරිතයත්. ඒ කාළේ හරියට ජනපි‍්‍රයයි. කොටින්ම කිව්වොත් ඒ ජනපි‍්‍රයත්වය කොච්චර ද කියනවා නම් මිනිස්සු මට කතා කළේ බලදේවගේ මෝනා කියලා.
ටෙලි නාට්‍ය කොපමණ ප්‍රමාණයකට ඔබ මේ වෙනකොට දායක වෙලා ඇති කියලද හිතන්නේ?
මට නම් වශයෙන් කියන්නත් දැන් මතකයක් නෑ. විශාල ප්‍රමාණයක් තියනවා. කළු හංසයෝ, පස්සේ ගෙනා මනමාලි, බත් අම්මා, වජිරා, හිමිගිරි අරණ, එක මවකගේ දරුවෝ, සක්වා ලිහිණියෝ, මයුර අසපුව, සිව්පත් රෑන, දෙපැති දහර, මිරිඟුවෙන් එහා, මහපොළොව, ඔය වගේ ටෙලි නාට්‍ය අසුවකට එහා මම රඟපාල ඇති කියලා මම හිතනවා. ඊටත් වැඩි මිසක් අඩු නම් නෑ.
රංගනය තුළ ඔබේ චරිත ඉදිරිපත් කිරිමේදී ඒ සඳහා අවශ්‍ය මුලාශ්‍ර ඔබ සොයාගන්නේ කොයි ආකාරයෙන් ද?
මම හරියට පොතපත කියවනවා. ඒවා තුළ ඇති චරිතවල ලක්ෂණ ගැන මට වැටහීමක් ලැබෙනවා. අපේ සමාජයේ දකින දේවල් වුණත් ඒ ඒ චරිත සඳහා යොදාගන්න අවස්ථා තියනවා. පිටපතේ වුණත් චරිතය කියන දේ මොකක්ද කියල විස්තර කරල තියනවානේ.
පළපුරුදු අත්දැකීම් ලැබු ක්ෂේත්රය තුළ දශක පහකට වඩා අත්දැකිම් ලැබු නිළියක් ලෙස මොකද හිතෙන්නේ අද ක්ෂේත්රයේ ඉන්න නළු නිළියන් ගැන?
මගේ මතය නම් ඒ අය දක්ෂයි. සමහරවිට අපිටත් වඩා ඔවුන් දක්ෂයි කියල මට හැඟෙනවා. හැබැයි ඒ අය තුළ පොත් කියවීම නම් අඩුයි.
ඔවුන්ට සමහරු චෝදනා කරනවානේ ගිරාපෝතයෝ පිරිසක් මිස රඟපෑමක් ඒ අය තුළ ගැවිලාවත් නෑ කියලා?
ඒක වැරදියි ඒකට ඒ අයට චෝදනා කරල වැඩක් නෑ. අද තියන ආර්ථිකය අනුව නිර්මාණ කරනවා තමයි ඒවා තිබ්බා ගැහුවා. මොකද නිෂ්පාදන පිරිවැය අඩුකර ගන්න. මේකට වග කියන්න ඕනේ. අධ්යක්ෂවරු කියලයි මම හිතන්නේ.
මේතාක් ඔබ රංගනයන් තුළ ඉදිරිපත් කළ චරිත ගැන තෘප්තිමත්ද?
ඔව්. මට සංතෝස වෙන්න පුළුවන් චරිත ලැබුණා. මම ඒ චරිත බොහොම ආශාවෙන් කළා. පිටපතක් කියවල බලල තමයි මම චරිත භාරගත්තෙත් අද නම් පිටපත නැතුව චරිතෙ හැඩරුව කියන ක්‍රමයකුත් තියනවා. අපේ අත්දැකීම් මත එහෙම නිර්මාණත් අපි කරනවා ආර්ථිකය ගැන හිතල ඒත් පිටපතක් අතට අරන් චරිතයක් අවබෝධ කරගෙන කරන වැඩක සාර්ථකත්වය ඉහළයි අපිටත් පහසුයි.
පිටපත ඇතුව රඟපාපු ගීතාකාන්ති අද පිටපත නැතුව රඟපානවා මේ තත්ත්වය ඔබ ඔබටම කරගන්නා අවැඩක් නොවෙයිද?
මෙහෙමයි මම කියන්නෑ. ඒක හරි කියල. නමුත් අද අපි ගොඩක් අත්දැකීම් ලබල තියෙන්නේ අපිට චරිතෙ කොහොමද කිව්වත් ඇති රඟපෑමක් කරන්න. නමුත් පිටපතක් තුළ චරිතය ලියවිලා තියන විධිය ඒ චරිතය අනෙක් චරිත එක්ක සම්බන්ධ වන ආකාරය ගැන වැටහීමක් තියනකොට අපේ චරිතය ගොඩනගන්න හරි පහසුයි. පිටපත නෑ කියල අද අපි ලැබෙන නිර්මාණ ප්‍රතික්ෂේප කළොත් අපිට අනාගතයක් නෑ. අද අපි වෘත්තීමය නිළියෝ ජීවත් වෙන්න රඟපාන්න ඕනේ එතකොටයි අපිට මුදලක් ලැබෙන්නේ.
අද ක්ෂේත්රයට එන නවක පිරිස් ප්‍රවීණයන්ව ගණන් ගන්නෑ කියල චෝදනාවකුත් තියනවා?
මම එහෙම දකින්නෑ. අපේ කාලේ නම් කූහක අය හිටියා දැන්නම් මම එහෙම දෙයක් දකින්නේ නෑ. අපි දක්වන ප්‍රතිචාර අනුවනේ අනික් අයගේ ප්‍රතිචාර අපිට ලැබෙන්නේ.
ඔබේ රංගන ජීවිතයේ තක්සලාව හැටියට සලකන්නේ?
ගුවන් විදුලිය අපි ගුවන් විදුලියේ නාට්‍යයක් රඟපෑවේ චරිතය මනසින් මවාගෙන.