ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දුගේ “සුදු සළු” සිනමා නිර්මාණයෙන් සිනමාවට පිවිසි ඇය, තුෂාරා නව නිෂ්පාදනයෙන් ද නාලක විතානගේ සරුංගල් තුළින් ද ලුවී වැන්ඩස්ටාර්ගේ බෝනික්කා නව නිෂ්පාදනයෙන් ද රිදී තිරයේ විවිධ චරිත මැවුවාය.
මේ දිනවල ඇය අකිල සඳකැළුම්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන “හදගැස්ම” තුළින් රිදී තිරයට පැමිණෙන්නීය. නමින් ශාලිකා එදිරිසිංහ වූ ඇයත් සමග හදගැස්ම ගැන කළ කතාබහකි මේ.
සෑහෙන කාලෙකට පස්සේ චිත්‍රපටයක් තිරගත වෙනවා නේද?
ඔව්. ටික කාලයක් නිහඬ බවක් තිබුණා. මම හිතන්නේ නාලක විතානගේ සරුංගල් චිත්‍රපටයෙන් පසුව තමයි අකිල සඳකැළුම්ගේ ‘හදගැස්ම’ චිත්‍රපටය තිරගත වෙන්නේ.
පසුගිය කාලයේ රටේත් පුංචි පුංචි අර්බුද ටිකක් තිබුණා නේ. දැන් ඒ සියල්ල අවසන් වෙලා හින්දා චිත්‍රපට තිරගත වෙනවා.
‘හදගැස්ම’ තිරගත වෙන හින්දා ඇත්තටම හදගැස්ම වැඩි වෙලාද?
ඔව්. ඔව්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අකිල සඳකැළුම්. පිටපත අතට ලැබුණට පස්සේ ඒක කියෙව්වාම ඒ පිටපතට ආස කළා. ඒක හින්දා තමයි නිහැඬියාව බිඳලා සිනමා නිර්මාණයට එකතු වෙන්න පුළුවන් වුණේ.
අන්තිමට තිරගත වුණු චිත්‍රපටය මොකක්ද?
මගේ අන්තිමට තිරගත වුණේ සරුංගල් සිනමා නිර්මාණය, මම හිතන්නේ 2018 වසරේ. අවුරුදු හයකට විතර පස්සේ තමයි චිත්‍රපටයක් තිරගත වෙන්නෙ.
‘හදගැස්මේ’ අත්දැකීම් මොන වගේද?
සුන්දරයි. ඉතාමත් හොඳින් වැඩ කටයුතු සිද්ධ වුණා. අකිල ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ රංගන ශිල්පියෙක් විදිහටනේ. හොඳ දැනුම් සම්භාරයක් ඇතිව ඔහු මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය සිදු කළා. හොඳ පිටපතක්.
මේ ආරාධනාව ලැබුණේ කොහොමද?
මේ චරිතයට මම සුදුසුයි කියලා අකිලගෙන් තමයි ආරාධනාව ලැබුණේ.
මේ දවස්වල රංගන වැඩ කටයුතු එහෙම?
සිරස නාලිකාවේ ‘මායාවි’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව සරත් දික්කුඹුරගේ ‘කතරගම ප්‍රේමා’ වේදිකා නාට්‍යය එක්ක රටවටා යනවා.
‘මායාවි’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම මේ දවස්වල මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම රඟපාන්නේ තරුණ අම්ම කෙනකුගේ චරිතයක්නේ. මටත් කාලෙකින් ලැබුණු වෙනස් විදිහේ චරිතයක්.
කතරගම ප්‍රේමා සමග රටවටා යන ගමන?
හොඳයි. 1971 කතරගම රූමතියට වෙච්ච ඛේදවාචකය තමයි මෙයින් කියැවෙන්නේ. කාලෙකින් තමයි එවැනි වේදිකා නාට්‍යයක් නිර්මාණය වුණේ. එහි කථා වස්තුව වර්තමානයට ගැළපෙන විදිහට ලියැවුණු කථාවක්. සත්‍ය කථාවක් හින්දා කතරගම රූමතියගේ කථාව ගොඩක් ජනප්‍රියයි. ගොඩක් අය කථාවට හොඳ ප්‍රතිචාර දක්වනවා.
රංගනයට ලැබෙන ආරාධනා ගැන මොකද හිතන්නේ?
මට ලැබෙන චරිත ගැන මම සතුටු වෙනවා. මොකද ඕනෑම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කැමතියි විවිධාකාර වූ චරිත නිරූපණය කරන්න. සමාජය ගත්තම විවිධ වූ චරිත ඕනෑ තරම් තියෙනවා. එවැනි චරිත ඉදිරිපත් කරලා චරිතාංග නිළියක් වෙන්න ඕනෑම නිළියක් කැමතියි. මම හරි ආසයි චරිත නිරූපණය කරන්න.
රංගන ජීවිතයේ කලකිරීම් එහෙම තියෙනවාද?
ඕනෑම ක්ෂේත්රයක කලකිරීම් තියෙනවා. ඒක කාටත් පොදුයි. කලකිරීම් නැතිව කෙනකුට ජීවිතය ගෙවන්න අමාරුයි. මම හිතන්නේ කෙනකුට ධනය තිබ්බා, බලය තිබ්බා කියලවත් කලකිරීම් නැති වෙන්නේ නැහැ කියලා. ඕනෑම කෙනකුට ජීවිතයේ ප්‍රශ්න එනවා. ඒක මට විතරක් නෙමෙයි. බුදු හාමුදුරුවන්ටත් පොදු දෙයක්. ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් ඕනෑ. එතකොටනේ අපි ඒ දේවල් දැනගන්නේ. ප්‍රශ්න ගැන හිතන්නේ නැතිව තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ ගියහම ඉවරයි.
සමාජ මාධ්‍ය ගැන මොකද හිතන්නේ?
හොඳ විදිහට පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර තොරතුරු දැනගන්න තිබුණු ඉඩකඩ සීමිතයි. දැන් එහෙම නෙමෙයි සමාජ මාධ්‍ය හරහා ඕනෑම දෙයක් ඉක්මනට දැනගන්න පුළුවන්. මේක හොඳ විදිහට පාවිච්චි කළොත් හොඳයි. හැබැයි ඉතින් වැරදි කෙනකුගේ අතට අසුවෙලා වැරදි විදිහට පාවිච්චි වුණොත් ඒකත් ලොකු අනතුරක්. මම කියන්නේ මේක හොඳ දේවල්වලට පාවිච්චි කරන්න කියලයි.
ගොඩක් නිළියන්ට යූ ටියුබ් චැනල් තියෙනවා. ශාලිකාට එහෙම එකක් නැතිද?
යූටියුබ් චැනල් එකක් තියෙනවා. ඒකත් හරියට කරන්නන්වාලේ පටන්ගත්තු වැඩක්. ඒක කරන්න වේලාවක් නැහැ. ඇත්තටම මට යූටියුබ් පස්සේ දුවන්න වෙලාවක් නැහැ. මට කාලය ඉතාම වැදගත්. මොකද මම මේ දවස්වල ව්‍යාපාර පැත්තට යොමු වුණා. කොරෝනා වසංගතය එන්න කලින් ව්‍යාපාරයකට යොමු වෙලා හිටියා. ඊට පස්සේ නැවැත්තුවා. දැන් ආපහු හරිම පුංචි විදිහට පටන් ගත්තා. ඒක පොඩ්ඩ පොඩ්ඩ දියුණු කරගන්න තමයි වෙර දරන්නේ.
රංගනයෙන් ලැබෙන වටිනාකම මදිද?
මෙහෙමයි. ඒක ස්ථිර නෑනේ. රංගන ශිල්පිනියක් විදිහට අපේ වෘත්තිය ස්ථිර නෑනේ. අපිට වැඩ තියෙන්න පුළුවන් වැඩ නැති වෙන්න පුළුවන්. වැඩි දෙයක් කරගන්න නම් වෙනත් මොකක් හරි කරන්නම වෙනවා. තමන්ට තමන්ගේම කියලා දෙයක් තිබුණොත් බයක් සැකක් නෑනේ.
මොකද අපි එන්න එන්න වයසට යනවා. අසනීප වෙනවා. මම හිතන්නේ තමන්ටම කියලා මොනවා හරි දෙයක් ගොඩනඟාගෙන තිබුණොත් බය වෙන්න දෙයක් නැහැ කියලයි. එතකොට අපිට පුළුවන්නේ තෝරා බේරාගෙන හොඳ නිර්මාණයකට විතරක් දායක වෙලා ඉන්න. හැමදාම මූණ පෙන්නගෙන වැඩකට නැති නාට්‍යවලට දායක වෙලා හැමදේම අල්ලගෙන බදාගෙන ඉන්න වුවමනා නැහැනේ.
ශාලිකා වැඩ බදාගෙන කරන්න කැමති නැද්ද?
ඔව්. මම ඉතිං ඇත්තටම මට කරන්න යමක් තියෙනවා නම් විතරක් වැඩක් භාර ගන්නවා. ඒ වගේම මගේ මුදල ලැබෙන්නත් ඕනෑ. එහෙම නැතිව හැම වැඩක්ම භාර ගන්නේ නැහැ. මට ලැබෙන ආරාධනාවලට මම බැහැයි කියපු අවස්ථාත් තියෙනවා.
දිනේෂ් විතාන