විෂය තුළ ගහන රස්තියාදුව නළුවෙක්ට අත්‍යවශ්‍යයි -ජෙනට් ඇන්තනි

 



ඔහු ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙකි. එමෙන්ම එකිනෙකට වෙනස් චරිත එකම ටෙලි නාට්‍යක් තුළ රඟදැක්වීමට තරම් ප්‍රබල රංගන ශක්‍යතාවක් හිමි රංගන ශිල්පියෙකි. කොඩි ගහ යට, කොළඹ ඉතාලිය වැනි ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයා මෙතෙක් නොදුටු වෙනස් ආකාරයක රංගන ප්‍රතිභාවක් විදහා දැක් වූ මොහු මේ දිනවල විකාශය වන පාරාදීසේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ කොස්තාගේ චරිතයට පණ පොවනවා. අද එක් වන්නේ රංගන ශිල්පි ජෙනට් ඇන්තනි.


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දිනවල මම රංගනයෙන් දායක වන හසුන් සමීර අධ්‍යක්ෂණය කළ පාරාදීසේ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ විසේකාරී ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ සමඟම වේදිකා නාට්‍ය කිහිපයකත් වැඩ කරගෙන  කාලය ගෙවෙනවා.


පාරාදීසේ අධ්‍යක්ෂ කොස්තා චරිතයත් සමඟ ගෙවෙන ජීවිතය මොන වගේද?


ඒක සුන්දර විධියට කරගෙන යන වැඩක් සහ වෙනස් විධියක අත්දැකීමක්. කොස්තා කියන්නේ වෙනස් හැරවුම් ලක්ෂ්‍යයක්. චරිතය ටිකක් බැරෑරුම් චරිතයක් කිව්වොත් මම නිවැරැදියි. අධ්‍යක්ෂවරයා සතු වගකීම මොකක්ද? අධ්‍යක්ෂවරයෙක් හැසිරෙන්නේ කොහොමද? අධ්‍යක්ෂවරයෙක් නිර්මාණයක් කරන්න මොන තරම් මහන්සි වෙනවාද කියන දේවල් සමඟ තමයි කොස්තා කියන චරිතය ගලාගෙන යන්නේ. කොස්තා කියන්නේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන  අධ්‍යක්ෂවරයෙක්ගේ චරිතය. මේ චරිතය හරහා තේ අල්ලන කෙනාගේ සිට කැමරාකරණ ශිල්පියා දක්වා නිර්මාණයට මොන ආකාරයක දායකත්වයක් සපයනවාද කියන දෙය පෙන්වා දෙනවා. කොස්තා සමහර වෙලාවට අඬනවා. මේ චරිතය ඉතා වෙනස් ආකාරයේ අපූරු චරිතයක්.


හත් පෙති මලේ කෝ ශේන්‍යා ගැන කියනවා නම්?


මම යොවුන් සහ රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරලා තිබුණත් ළමා නාට්‍ය උළෙල නියෝජනය කරලා නැහැ. මේ නාට්‍ය හැදෙන්නේ චාමික හත්ලහවත්තගේ අධීක්ෂණය යටතේ. ඔහු හත්පෙති මල කියන කතාවේ වස්තු බීජය අරගෙන පාසල් හතරකට නාට්‍ය හදන්න භාර දුන්නා. මේ නිසා පාසල් හතරකින් නිර්මාණය වුණේ වෙනස්ම විධියක නාට්‍ය හතරක්. මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ පොඩි දරුවෙක්. මට වැඩ කරන්න ලැබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දරුවන් සමඟ. එතකොට ඒ පාසලේ දරුවන්ට ‍රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් සහ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ලබා දෙනවා. ඉතින් මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න ලැබුණේ නාමල් උඩුමුල්ල සහ ධනුෂ්කා රත්නායකට. මම මේ නාට්‍ය දකින්නේ මගේ වේදිකා නාට්‍ය දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් විධියටයි. දරුවන් සමඟ වැඩ කරන එක රංගන ශිල්පියෙක්ට ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මට මගේ වයස අතහැරලා ඔවුන්ගේ වයසට යන්න වුණා. ඒක සුන්දර අත්දැකීමක්. මමයි, තිළිණි ජයමාලියි තමයි දැන් මේ වැඩේ කරගෙන යන්නේ.


චක්‍රායුධම් කෙටි නාට්‍ය උළෙලේ තුන්තරාවරම් ගැනත් කියමු?


චක්‍රායුධම් කියන්නේ සචිත්‍ර රාහුබද්ධගේ කෙටි නාට්‍ය හතරක්. ගමන් යන එක සොඳ, මට්න්, තුන්තරාවරම්, ලයික් බයි ෆ්‍රාන්ස් කියන නාට්‍ය හතර මීට ඇතුළත් වෙනවා. තිලිණි ජයමාලි, හසිත් වෙත්තසිංහ තුන්තරාවරම් නාට්‍යයට මාත් සමඟ රංගනයෙන් දායක වෙනවා. කුටුම්භයක් තුළ සිටින විවාහකව යුවළකට ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා ඇවිත් දෙන වරම් තුනක් ගැන තමයි මේ නාට්‍යයේ කියවෙන්නේ. නමුත් වරම් තුනක් නෙවෙයි වරම් දහසක් තිබුණත් ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණදෙන්න අපහසුයි. පැය භාගයක් වැනි කුඩා කාලයක් තුළ ජීවිතය පිළිබඳව ගැඹුරු මානව විවරණයක් මේ කෙටි නාට්‍යය හරහා ලබා දෙනවා. ඉතින් වරම් තුනක් සමඟ පොර බදන අමුතු පන්නයේ කතාවක් තමයි තුන්තරාවරම් කියන්නේ.


තරිඳු ජයවර්ධනගේ The DIG වෙනස් විධියක කතාවක් ඇත්තටම මේ කතාවේ කුමක් වෙයිද?


“මෙලාන් සුගතදාස තමයි මට මේ වැඩේට එන්න කියලා ආරාධනා කළේ. මෙය නිර්මාණය කරලා තිබෙන්නේ අපි සියලු දෙනා දන්න සත්‍ය සිදු වීමක් ඇසුරින්. සත්‍ය සිදු වීමක් වුණත් ඉතා අලංකාර ලෙස තිර පිටපත රචනා කරන්න තිර පිටපත් රචකයාට හැකියව ලැබිලා තිබෙනවා. මට ලැබිලා තිබුණේ මුස්ලිම් ජාතිකයෙක්ගේ චරිතයට පණ පොවන්න. මම කැමැතියි මේ වගේ චරිත කරන්න. තරිදු සහ ඔහුගේ කණ්ඩායම කර ගෙන යන මේ ටෙලි


කතාමාලාවේ තිබෙන සංකල්පයට මම හරිම කැමැතියි. මම මීට කලිනුත් ඔවුන්ගේ වැඩ බලලා තිබෙනවා. ඒ නිසාම මම ඔවුන් සමඟ නිර්මාණයකට සහභාගි වෙන්න කැමැත්තෙන් සිටියා. ඔහු පාත්‍ර වර්ගයා තෝරාගෙන තිබෙන ආකාරය පවා ඉතා අලංකාරයි. මට මේ නිර්මාණය තුළ වැඩ කරද්දී චිත්‍රපටය ඉන්නවා වගේ තමයි දැනුනේ. පුළුවන් හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා. “


ඔබ වරෙක කියනවා ඔබව රංගන ශිල්පියෙක් කළේ විෂය තුළ ගහපු රස්තියාදුව කියලා මොකක්ද මේ කතාව?


“අපිට ලෝකයේ තිබෙන කිසිම දෙයක් හදාරලා ඉවර කරන්න බැහැ. මගේ පාසල දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය. මම පාසලෙන් එළියට ආවට පස්සේ  රංගනය කියන කාර්ය එහෙමත් නැත්නම් රංගනය කියන රස්තියාදුව හරියට ගැහුවේ නැත්නම් අපිට රංගනය කියන්නේ මොකක්ද කියලා සොයා ගන්න බැරි වෙනවා කියන දෙය මගේ ඔළුවට ආවා. නිදසුනක් විධියට මම එක අධ්‍යක්ෂවරයෙක් යටතේ නම් වැඩ කරන්නේ මගේ ඔළුවට යන්නේ ඒ අධ්‍යක්ෂවරයා ගාව තිබෙන අදහස් විතරයි. ඔහු රංගන සම්බන්ධව දරන මතය පමණයි මගේ ඔළුවට යන්නේ. මම ආදරණීය රස්තියාදුව කියන කෑල්ල මගේ ඔළුවට ගන්නේ විවිධ පරාසයන් සමඟ වැඩ කරන අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කිරීමත් සමඟයි. එක තැනක ඉඳන් මේ


වැඩේ කරන්න බැහැ. අපිට රස්තියාදුවක් අවශ්‍යයි. ඒ රස්තියාදුව විෂය තුළ ගහන රස්තියාදුවක් වෙන්නත් ඕන. විෂය හොයාගෙන යන රස්තියාදුව කියන්නේ රංගන ශිල්පියෙක්ට අවශ්‍යම දෙයක්. නිරන්තර පුහුණුව නිසා තමයි රංගන ශිල්පියා ගොඩ නැඟෙන්නේ. මට හිතෙන විධියට මම තාම රංගනය කියන දේ ගැන ඉගෙන ගෙන නැහැ. රංගනය කියන දෙය කාටවත් උගන්වන්න බැහැ. අපි එය සොයා යා යුතු දෙයක්.


රංගන ශිල්පියෙක් ලෙස ඔබ රඟපාන්න කැමැති ඔබට නොලැබුණු චරිතය කුමක්ද?


මම හැම තිස්සෙම හිතන දෙයක් තිබෙනවා. මම රඟපාන්න ආශා කරන චරිතයට වඩා මට ලැබෙන චරිතයක් තිබෙනවානේ, ඒ චරිතය මට ලැබෙන්නේ මම ඒ චරිතයට අවශ්‍ය නිසා. මම තමයි එයට උචිතම කෙනා. මම හැම වෙලාවෙම හිතනවා මම ආශා කරන චරිතයට වඩා මට ලැබෙන චරිතය වටිනවා කියලා. මට ඒ චරිතය කරන්න පුළුවන් නිසා තමයි අපි ඒ චරිතය භාර ගන්නේ. මට මේ වගේ චරිතයක් කරන්න තිබුණොත් හොඳයිනේ කියලා මම හිතන්නේ නැහැ. ලැබෙන චරිතය හරියට කරන එක තමයි මම විශ්වාස කරන්නේ.


ඉදිරි වැඩකටයුතු මොනවාද?


ජගත් මනුවර්ණගේ කොඩි ගහ යට ටෙලි නාට්‍ය චිත්‍රපටියක් ලෙස ඉදිරියේදී පැමිණෙන්න නියමිතයි. ඒ වගේම හෙන්ඩ්‍ ජයසූරිය අධ්‍යක්ෂණය කළ ‘ෆාදර්’ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. චාමික හත්ලහවත්ත අධ්‍යක්ෂණය කළ නවතම වේදිකා නාට්‍යත් ඉදිරියේදී වේදිකාගත වීමට නියමිතයි. තව ටෙලි නාට්‍ය දෙකකින්ම ආරාධනා ලැබිලා තිබෙනවා. ඉතින් ඉදිරියේදී මේ වැඩකටයුතු සමඟ ආදරණීය රසිකයන්ට මාව දැක බලා ගන්න පුළුවන් වෙයි.”



Previous Post Next Post