විශ්ම හම්බවෙනකොට අපි දෙන්නා පෙම්වතුන් නෙමෙයි – සාරංග දිසාසේකර



ඔන්න ආයෙමත් සාරංග – දිනක්ෂි පෙම්වතුන් වෙලා. කසාද බැඳලා චූටි දුවෙකුත් ඉන්න මේ දෙන්න කොහොමද ආයෙමත් පෙම්වතුන් වෙලා තියෙන්නේ. රන්දික විජේමාන්න අධ්‍යක්ෂණය කරන ලද රුහුණගේ සඳමාලා නිෂ්පාදනය කළ ‘විශ්ම’ සිනමා නිර්මාණය හරහා තමයි මේ දෙන්නා ආයෙමත් පෙම්වතුන් වෙලා තියෙන්නේ. රිදී තීරයේ පෙම්වතුන් වුණ සාරංග -දිනක්ෂි විශ්ම රූගත කරන කාලයේ සැබෑවටම පෙම්වතුන් නෙමෙයිලු. ඉතිං ඒ කතාවෙ ඇත්ත නැත්ත දැනගත්ත අපි සාරංග සමග කතාබහක යෙදුණා.

විශ්ම සමග සාරංගව රිදී තිරයෙන් දකින්න ලැබෙනවා?


ඔව්. ටිකක් කාලයකට කලින් කරපු චිත්‍රපටයක්. හැබැයි දැන් තිරගත වෙන්න ටික කාලයක් ගතවෙලා තියෙනවා. නමුත් සිනමා පටයක් තිරගත වෙනවා කියන්නේම සතුටට කාරණාවක්නේ. මේක පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.


විශ්ම සාරංගට සමානද?


ඒ ගැන කියන්න ගියොත් සිනමා නිර්මාණයේ කතාව පොඩ්ඩක් විතර එළියට එනවා. ඉතිං ඒක නිසා මම පොඩ්ඩක් විතර කැමැතියි චරිතය ගැන කියන්නේ නැතිව ඉන්න. හැබැයි මට ලැබුණු වෙනස් විදිහේ චරිතයක්.


සාරංගට විශ්මව මුණගැසුණේ කොහොමද?


මෙහි අධ්‍යක්ෂ රන්දික තමයි අපිට මේ චිත්‍රපටයට ආරාධනා කළේ. ඔහුගේ සහ නිෂ්පාදකවරයාගේත් කලුඳුල් සිනමා නිර්මාණය. රන්දික අපි කලින් හඳුනාගෙන හිටපු හොඳ සංස්කාරකවරයෙක්. බොහොම සතුටින් භාරගත්තු සිනමා නිර්මාණයක්. හැබැයි තිරගත වෙන්න ටිකක් කල් ගියා.


විශ්ම හින්ද සාරංග – දිනක්ෂි තිරයේදී එකට මුණගැසෙනවා නේද?


ඔව්. දිනක්ෂි එක්ක චිත්‍රපටයක රඟපාන්නේ පළමු වතාවට. ඇත්තටම ඒකත් අලුත් අත්දැකීමක්. දිනක්ෂිත් මේ චිත්‍රපටයේ ටිකක් වෙනස් චරිතයක්. මොකද ටික කාලයකට කලින් කරපු චිත්‍රපටයක්නේ.


එතකොට දිනක්ෂිව කසාද බැඳලද?


නැහැ. විශ්ම රූගත කරන කාලයේ මම දිනක්ෂිව කසාද බැඳලා නැහැ.


දෙන්න එකට රඟපානකොට මොනවගේ අභියෝගයන්ද තිබුණේ?


එහෙම ලොකුවට අභියෝග කියල දෙයක් තිබුණේ නැහැ. නිර්මාණය ඇතුළේ චරිත ගොඩනඟාගන්න අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා සමග කතාබහ කරලා චරිතවලට අවශ්‍ය විදිහට වටපිටාව හදාගත්තෙ අධ්‍යක්ෂවරයා සංස්කාරක වරයෙකුන් හින්දා. ඔහුට අදහසක් තිබුණා චිත්‍රපටය ගලාගෙන යන ආකාරය පිළිබඳව.


විශ්මව හම්බ වෙනකොට සාරංග – දිනක්ෂි පෙම්වතුන්ද?


විශ්මව හම්බවෙනකොට අපි දෙන්නා පෙම්වතුන් නෙමෙයි.



විශ්මව රිදී තිරයට එනකොට?


විශ්ම තිරගත වෙනකොට අපේ ජීවිත ගොඩක් වෙනස්වෙලා. ඒක තමයි මම මුලිනුත් කිව්වේ චිත්‍රපටය තිරගත වෙන්න හදන කාලයේදී අපේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වෙලා. ඒ හින්ද ඒකත් සුන්දර අත්දැකීමක්. ඒ අතීතය ගැන සිහි කිරීමත් සුන්දරයි.


විශ්ම නරඹලා දිනක්ෂි මොනවද කිව්වේ?


එයත් හරි සතුටු වුණා. නිර්මාණයක් කරලා සෑහෙන කාලයක් තියාගෙන ඉන්නවාට වඩා අපිත් කැමැති පුළුවන් තරම් ඉක්මනට තිරගත වෙන එකට. ඒ හින්දා අපි සතුටු වුණා කාලයක් ගිහිල්ලා හරි තිරගත වීම පිළිබඳව.


දිනක්ෂි දැන් වෙනස් වෙලාද?


ඇත්තටම ඔව්. එතකොට නම් මීට වඩා ටිකක් කෙට්ටුයි. එයාගේ මට වඩා සෑහෙන වෙනසක් වෙනවා චිත්‍රපටයේ.


පසුගිය කාලයේ ඔබ දෙපළ රඟපෑ Take Care ලොකු වෙනසක් ඇති කළා නේද?


ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මොකද හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපි බලාපොරොත්තු නොවුණ ආකාරයේ හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු වැඩක්. විශේෂයෙන් අලුත්ම කණ්ඩායමක්. අධ්‍යක්ෂ අනුෂ්ක රසාංජනගේ පළමුවැනි වැඩේ. නවක කණ්ඩායමක් තමයි මෙහි වැඩ කළේ. ඒ නවකයන්වත් හඳුන්වා දෙන්න අපිට අවස්ථාවක් ලැබුණා.


මට දිනක්ෂිට එයාගේ රංගන ජීවිතයේ ලැබුණු අභියෝගාත්මකම චරිතයක්. එයාට අභියෝගයක් වුණා වගේම ප්‍රේක්ෂකයන්ට ඒක අලුත් අත්දැකීමක් වුණා. ක්ෂේත්‍රයේ අය වුණත් හිතුවේ නැහැ දිනක්ෂිට ඒවගේ රංගන පරාසයක් තිබෙනවා කියලත්. මොකද එහෙම නිර්මාණ ඇයට ලැබුණේ නැහැනේ. හැබැයි ලැබිච්ච අවස්ථාව එයා උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත්තා කියලත් මට හිතෙනවා.


ඔබේ අධ්‍යක්ෂණය කවදද ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්?


මම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් තියෙනවා. තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරගන්න. මගේ රංගන ජීවිතයේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ සඳහා යොදවන්න කාලය නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඒකයි පස්සට යන්නේ. හැබැයි ඉතිං ළඟදීම ඒ වැඩකටයුතු ඉක්මනට ඉවර කරගන්න ඕනෑ.


මේ දවස්වල මොනවද කරන්නේ?


ශිවගුරුනාදන් මහත්මයා එක්ක කරපු නිර්මාණයක ඉතිරි කොටස් රූගත කිරීම් සිදු කරන්න දින යොදාගෙන තිබෙනවා. පසුගිය කාලයේ ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණු සංසාරිණී ටෙලිනාට්‍ය විකාශය අවසන් වුණ, ‘සල්ලි පොකුරු’ ටෙලිනාට්‍යයෙත් අවසන් භාගය නොවැම්බර් මාසයේ අග වෙනකොට සිද්ධ වෙනවා. ඔය අතරේ අලුත්ම චිත්‍රපටයකට සූදානම් වෙනවා.


හේමක එහෙමත් නැතිනම් චූටියාට මොකද වෙන්නේ?


අවසානයේ සෑහෙන පැටලිල්ලක් පැටලෙයි. ප්‍රේක්ෂකයොත් පැටලෙන නාට්‍ය ඇතුළේ තියෙන චරිතත් සෑහෙන පටලවා ගන්න තැනකට එනවා. සද්ධාමංගල සූරියබණ්ඩාර කියන්නේ හොඳ රචකයෙක්. ශිවගුරුනාදන් මහත්මයා කියන්නේ හොඳ අධ්‍යක්ෂකවරයෙක්. සල්ලි පොකුරු ප්‍රේක්ෂකයන්ට මතක හිටින අවසානයක් ලබාදෙන්න පුළුවන් වෙන නිර්මාණයක් වේවි කියලා විශ්වාසයක් තිබෙනවා.


හේමක සහ චූටියා ඔබව ජනප්‍රිය නළුවා කරලා නේද නැවතුණේ?


ඔව්. ඒ දවස්වල මම රංගනයෙන් දායක වුණ සංසාරිණි හි තිහස්වරගේ චරිතයත් සෑහෙන ප්‍රේක්ෂකයෝ අතරට ගිහින් තිබුණා. මේ නිර්මාණ දෙකේම චරිත තුනක්නේ. ඉතින් මගේ හැකියාවත් තව තව පෙන්වන්න පුළුවන් අවස්ථාවක්. අභියෝගාත්මක චරිත දෙකක්. ප්‍රේක්ෂකයන් ඒ දේවල් බලලා තමයි මට ජනප්‍රිය නළුවා සම්මානය ලබා දුන්නේ.


රංගන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සතුටුයි. ආපසු හැරිලා බලද්දී මම අභියෝග භාරගත්තා කියලා හිතනවා. ඉස්සර ඉඳලා ගොඩක් වෙලාවට ජනප්‍රිය නළුවා සම්මානය හම්බවෙන්නේ අහිංසක ප්‍රේමවන්තයාගේ චරිතයටනේ. නමුත් මගේ රංගන ජීවිතයේදී මුල් භාගයේම ශිවගුරුනාදන් මහත්මයා මට ඒ අවස්ථාව ලබාදුන්නේ. කළු චරිත කරන්න කැමැතිද කියන ආරාධනාව මම කළා. මම ඒ වෙලාවේ ඒ අභියෝගය භාරගෙන ජනප්‍රියත්වය ගැන නොහිතා මේ චරිත භාරගත්තු එක ගැන ගොඩක් සතුටු වෙනවා. ප්‍රේක්ෂකයොත් ඒකත් මගේ දක්ෂතාවය විදිහට හිතලා කිහිප වතාවක්ම මට ජනප්‍රිය සම්මානය ලබා දුන්නා. මම හිතනවා මම ගත්තු තීරණය හරි කියලා. ඒ අභියෝගය මම ගත්තු හින්ද මම චරිතාංග නළුවෙක් විදිහට මට වෙනස් වෙනස් විදිහේ චරිත වගේම දුෂ්ටයාගේ චරිතයත් වෙන වෙන හැඩ තලවලින් කරන්න අවස්ථාව ලැබුණා.


දිනක්ෂි සහ දුව සමග ගෙවන ජීවිතය?


හරිම සතුටුයි. ආදරණීයයි. පොඩි එක්කෙනත් දැන් හරිම හුරතල්. බහතෝරන වයසේ ඉන්නේ. එයත් හරි කටකාරයි. එයා පවුලේ හැමෝගෙම හුරතලය මැද්දේ හැදෙනවා. බලං ඉද්දි ලොකු වෙනවා. ටක් ටක් ගාලා කාලය ගෙවිලා යනවා වගේ දැනෙනවා. දැන් එයාට අවුරුදු තුනක්. එයත් කලාවට නැඹුරුයි. සින්දු කියන්න ආසයි. අපිත් එක්ක නටන්න එහෙමත් ආසයි. එයාගෙන් ලොකු ආලෝකයක් අපේ ජීවිතවලට ලැබිලා තියෙනවා.


සාරංග ළඟ හිටපු ගායකයාට මොකද වුණේ?


ගායකයා පොඩ්ඩක් අවදි කරලා ගන්න ඕනෑ. මේ දවස්වල සංගීතය පැත්තට වැඩිපුර හිත යොමු කරන්න හිතාගෙන ඉන්නවා. ළඟදීම මගේ ගීත කිහිපයක් එළියට ඒවි. මගේම ගීත කරන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙනුත් ලොකු ඉල්ලීමක් තියෙනවා.


ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැතිද?


ආරාධනාවක් ලැබුණොත් යනවා. මගේම කියල ගීත ගොඩක් නැති නිසා මට ලැබෙන ආරාධනා ටිකක් අඩුයි. ඉදිරියේදී මගේම ගීත කියලා ගීත ටිකක් එළියට දැම්මහම මට ආරාධනා ලැබෙයි. එතකොට රංගන කටයුතු අතරේ පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


පූරකවරයාගේ භූමිකාවට ලැබෙන ප්‍රතිචාර?


ඉතාම හොඳයි. හිරු ස්ටාර් තමයි එකම සජීවී වේදිකාව. ඉතිං ඒක හරි අභියෝගාත්මකයි. මේ දවස්වල ඉතාම හොඳ ප්‍රතිචාර ලබමින් හිරු ස්ටාර් කරගෙන යනවා.


සාරංගව ඉස්සරහට හම්බවෙන්නේ මොනවගේ වැඩවලින්ද?


ශිවගුරුනාදන් මහත්මයාගේ අලුත්ම ටෙලිනාට්‍යයක් භාරගත්ත. ඒකත් ළඟදීම විකාශය වේවි. එතකොට වැඩි විස්තර දැනගන්න ලැබේවි. ඒ වගේම මගේ චිත්‍රපටයෙත් වැඩකටයුතු හෙමිහෙමිහිට ඉවර කරගන්න ඕනෑ. නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල මියුසික් වීඩියෝවක් එක්කම මගේ සින්දුවක් එළිදක්වන්න අදහසක් තියෙනවා.


සාරංග, දිනක්ෂි සහ දුව සමාජ මාධ්‍ය ඇතුළේ හරි ජනප්‍රිය චරිත. මොකද හිතෙන්නේ?


ඒ ලැබෙන ආදරයට අපි හැමවිටම ස්තුතිවන්ත වෙනවා. මොකද ප්‍රේක්ෂකයෝ හින්දයි අපිට හැම දෙයක්ම ලැබෙන්නේ. දුවත් එළියට ගියහම අපිට ලැබෙන ඒ ආදරය එලෙසම වයස් භේදයකින් තොරව ලැබෙනවා. මොකද එයාගේ වයසේ පොඩි දුවා දරුවනුත් වීඩියෝවලින් එයාව අඳුර ගන්නවා. එයාටත් ලොකු ප්‍රතිචාර තියෙනවා.


සෝෂල් මීඩියා ඇතුළේ වැඩිපුර ජනප්‍රිය සාරංගද? දිනක්ෂිද?


මම හිතන්නේ දිනක්ෂි මට වඩා සෝෂල් මීඩියා ඇතුළේ ඇක්ටිව්? සංඛ්‍යාත්මකව ගත්තත් මම හිතන්නේ දිනක්ෂි සෝෂල් මීඩියා ඇතුළේ මට වඩා ජනප්‍රියයි.


දිනේෂ් විතාන



Previous Post Next Post