ලෝකය අලුත් වන්නේ, නව්‍යත්වය හා වෙනස්වීම තුළයි. කලා ලෝකය ඇසිපිය හෙළන තත්පරේට වෙනස් වන්නේද එකී ස්වභාවධර්ම රීතියටයි. අද අප ඔබට හඳුන්වා දෙන්නේ ද එවන් අපූරු තරු ගුණය හිමි තාරකාවකුයි. නමින් ඇය අනුත්තරා දිව්යංජලියි.
ඔබ කලාවට අත්පොත් තබන්නේ කොහොමද?
මම සංගීතයට යොමු වුණේ කුඩා කාලයේ පටන්මයි. අපේ පවුල් පසුබිම සංගීතයට බොහොම සමීපයි. අම්මා කලාවට බොහෝම ලැදි කෙනෙක් වගේම සංගීත රස හඳුනන කෙනෙක්. ඒ නිසා අපව නළවන මොහොතේ පටන් සංගීතය අපේ ජීවිතවලට මුහු කරන්න ඇය ගොඩක් මහන්සි වුණා. ඒ දවස්වල අපේ අක්කා විවිධ සංගීත ගායන තරගවලට සහභාගි වුණා. මම පුංචි කාලේ ඒ කියන්නේ දණ ගාන කාලයෙත් අක්කගෙ ගායන වලට තාල අල්ලනවා කියලා අපේ අම්මා කියලා තියෙනවා. මීට අමතරව මගේ පෙර පාසල වගේම මගේ අක්කා සහභාගි වූ සංගීත පන්ති වලිනුත් සංගීත පරිසරයක් මා වටා ගොඩනැඟුණා. ඒ කාලේ, හරි අපූරූ රසවත් අත්දැකීමකුත් වුණා. එතකොට මට අවුරුදු තුනක් හෝ හතරක් විතර ඇතිලු. අක්කා සංගීත පංතියේ රාග ගායනා කරනකොට බිලාව රාගය මම හරි ලස්සනට ගායනා කළාලු. ඒ සංගීත පන්තිය මෙහෙයවලා තියෙන්නේ නිම්මි පල්ලියගුරු කියල ගුරුතුමියක්. මම ඒ රාගය ගායනා කරනකොට ඇයගේ ඇස්වලට කඳුළු ඉනුවා කියලා ඇය මට පසු කාලයකදී පැවසුවා. ඇය තමයි මගේ සංගීතමය හැකියාව මුලින්ම හඳුනාගත් ගුරුතුමිය.
ඔබ පාසල් අධ්‍යාපනයට අමතරව සංගීතය හැදෑරුවා ද?
මම පාසල තුළදී සංගීතය හැදෑරුවා. ඊට අමතරව සුරාජ් ගුණරත්න සර්, බටුවත්ත මිස් යන ගුරු මහත්ම මහත්මීන් සමඟ අතිරේක අධ්‍යාපනයක් ලැබුවා. සුරාජ් සර්ගෙන් විශාරද වනතෙක් සංගීතය හදාරා තිබෙනවා.
සංගීතය හදාරා කලා ක්ෂේත්රයට පිවිසෙන අය වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ගීතයක් ප්‍රචලිත කර ක්ෂේත්රයට පිවිසෙන අයත් සිටිනවා. මෙම තරගකාරී ද්විත්වය තුළ ඔබ පැවැත්ම තහවුරු කරගන්නේ කොහොමද?
වර්තමාන පරිසරයේ සමාජ මාධ්‍යය තුළින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින අයත් මගේ යහළුවන්. මම රියලිටි තරගයකට සහභාගි වුණා. එහිදී විශාල පිරිසක් හඳුනාගන්න අවස්ථාව ලැබුණා.
ඔවුන්ගේ ජනප්‍රියත්වය පිළිබඳ මම ඉන්නේ ධනාත්මක මතවාදයක. මම හිතනවා ගීතයක් ගායනා කිරීමෙන් පමණක් මිනිසුන් අතරට යන්න අවකාශයක් නැහැ කියලා. මිනිසුන් අතර ජනප්‍රිය වෙන්නත් ඔවුන්ගේ ආදරය දිනාගන්නටත්, විශේෂ දක්ෂතාවක් තිබිය යුතුයි. නමුත් සංගීත අධ්‍යාපනයත් සමඟ ගමනක් යන විට එහි පැවැත්ම ස්ථාවරයි. මිනිසුන් අතර ජනප්‍රියත්වය රඳවා ගන්නා විදිහ, වේදිකාව හසුරුවන විදිහ ඇඳුම් පැලඳුම් ආදී දේවල් තුළින් ඔවුන් ජනප්‍රිය වෙනවා කියන්නෙම ඔවුන් තුළ යම් දක්ෂතාවක් තිබෙනවා කියන එකයි. මෙහිදී අප ඔවුන් තුළින් යම් අධ්‍යාපනයක් ලබනවා වගේම අප තුළිනුත් ඔවුන් අධ්‍යාපනයක් ලබනවා.
ඔබ මේ වනවිට ගීත කීයක් ජනගත කර තිබෙනව ද?
මම මේ වන විට ගීත දහතුනක් රිලීස් කර තිබෙනවා. තවත් ගීත දෙකක් මම පටිගත කර තිබෙනවා. ඒ ගීත දෙකත් මගේ උපන් දිනය දවසේ රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ මිනිස්සුන්ගේ විවිධ රසඥතාවන්ට උචිත ලෙස විවිධ ආර්යයන්හි ගීත ගායනා කර තිබෙනව ද?
මම සංගීත ලෝකයට එක්වුණු අලුත්ම කෙනෙක් . ඒවගේම පොඩිම කෙනෙක්. ඒ නිසා තවම එහෙම සංගීත රසඥතාව පිළිබඳ පර්යේෂණාත්මකව මම බලලා නැහැ.මම සමාජ මාධ්‍යවල ගීතවල කවර් කරන නිසා මගේ කටහඬට බොහෝ දෙනා ප්‍රිය කරනවා වගේම ආදරේ කරනවා. මෙතෙක් රිලීස් කළ එකම ගීතයක්වත් මගේ මුදලින් මම සිදු කර නැහැ. මගේ හඬට ප්‍රියත්වයක් දක්වපු අයයි මට ඒ සඳහා සුවිශාල සහයෝගයක් ලබා දුන්නේ. නමුත් මට ලබාදෙන නිර්මාණවලට මම දක්ෂ ලෙස සාධාරණය ඉටු කරන බව බොහෝ පිරිසගේ ප්‍රතිචාරවලින් මට පැහැදිලියි.
ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කෙබඳු ද?
පොඩි කාලයක් තුළ ප්‍රවීණයන් බොහොමයක් දෙනා ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන් මට හදවතින්ම ආශීර්වාද කරනවා. සංගීත විශාරදයන් වගේම සංගීත ප්‍රවීණයන් මට පවසන්නේ මගේ කටහඬ ඉතාමත් විරල කටහඬක් නිසා එය අලුත් සමාජයට වෙනස්ම ලකුණක් වේවි කියායි. ඒ වගේම එක් එක් යුගයන් බිහිකළ සුජාතා අත්තනායකයන්, ඇන්ජලීන් ගුණතිලකයන් වගේ නව පරපුරේත් යුගයක් බිහි කරන්නට මට හැකිවේවියැයි ඔවුන් විශ්වාස කරනවා. ඇත්තටම ඔවුන්ගේ එකී ප්‍රතිචාර මට සම්මානයක් ලැබුණා හා සමානයි.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?
මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්වී තිබෙනවා. එයින් ඉහළටම අධ්‍යාපනය හදාරා කථිකාචාර්යවරියක් වීම තමයි මගෙ බලාපොරොත්තුව.
විශ්මි ජයනි