උදයකාන්ත වර්ණසූරියගේ “ගිනි අවි සහ ගිනි කෙළි 2” මේ දිනවල අති උත්කර්ෂවත් අයුරින් තිරගත වෙමින් තිබේ. එහි බොහෝ දසුන් ත්‍රාසය භීතිය මුසු ඒවා වන අතර එය උත්දීප්ත කරමින් ප්‍රේක්ෂකයින් තිගැස්මකට බඳුන් කරන්නට පසුබිම් සංගීතය සමත් වී ඇත. සිනමාත්මක සංගීත අධ්‍යක්ෂණයේ නවමු අත්දැකීමක් ඒ හරහා ප්‍රේක්ෂකයින් වෙත සමීප කරන්නට සමත් වූ සිනමා සංගීත අධ්‍යක්ෂවරයා චිත්‍රාල් සෝමපාල යි.
“මට අවශ්‍ය වුණේ සිනමා සංගීතය අලුත් මානයකට අරගෙන යන්න යි. සමහර නිර්මාණ තියෙනවා සංගීතය වෙනම ගත්තොත් ලස්සන යි. සමහර නිර්මාණ තියෙනවා සංගීතය නැත්නම් හොඳයි කියලා හිතෙනවා. සිනමා සිත්තමේ දිගහැරුම එක්ක එකිනෙකට ගැළපීමක් එහි සංගීත අධ්‍යක්ෂණයේත් නැත්නම් එහෙම චිත්‍රපටි රසවිඳින්න අමාරුයි. මේ චිත්‍රපටයේ ‘ක්‍රෝධයේ ගිනි උණ්ඩයෙන්…’ ගීතය මම ම සංගීතවත් කරලා ගායනා කළා. අනුර බණ්ඩාර රාජගුරු එම ගීතය ලිව්වා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතර ව සමස්ත චිත්‍රපටයේම සංගීත අධ්‍යක්ෂණය මම කළා. මේ චිත්‍රපටය ත්‍රාසය, භීතිය, කුතුහලය මුසු වුණු ඉතා වේගවත් ව සිදුවීම් වෙනස් වෙමින් යන චිත්‍රපටයක් නිසා ඒ වේගවත් බව, ප්‍රචණ්ඩ බව, කුතුහලය, භීතිය, ශෝකය ආදි සියලු සිද්ධි සහ හැඟීම් සංගීත අධ්‍යක්ෂණය හරහා වඩාත් තීව්‍ර කිරීම මගේ කාර්ය වුණා. මම ඒ කාර්ය කළා. ප්‍රතිචාර ඉතා ඉහළයි.”
පී. එල්. ඒ. සෝමපාල සම්මානනීය සිනමා පසුබිම් සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන් ම ගායන හා වාදන ශිල්පියෙකි. ‘දඹුලු ගලේ දඹුලු ගලේ රන්ගිරි දඹුලු ගලේ..’ ගීතය පී. එල්. ඒ. සෝමපාල සමඟ ගැයුවේ චිත්‍රා සෝමපාල යි. මේ දෙදෙනා ම සංගීතය හා බැඳුණු යුවළකි. විශේෂයෙන් ම පී. එල්. ඒ. සෝමපාල පෙරදිග සංගීතයට බෙහෙවින් නැඹුරු ව විශිෂ්ට නිර්මාණ බිහි කළ සංගීතඥයෙකි. ඔහුගේ දරුවන් පස්දෙනා අතර සිටින චිත්‍රාල් සෝමපාල බාල පුත්‍රයා යි.
“මගේ අම්මා තාත්තා ගායනා කළ ගීතවලට මම පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. කොටින් ම කියනවා නම් මට ‘සරිගමපධනි’ අප්පිරියයි. ඒ වගේ ම තාත්තා සංගීත අධ්‍යක්ෂවරයෙක් වුණාට අපේ ගෙදර අපි ළමයි පස්දෙනාටම තාත්තා සංගීතය තහනම් කරලයි තිබුණේ. ‘එකෙක්වත් සංගීතඥයෝ වෙන්නේ නැහැ. අන්න එච්චරයි මං කියන්නේ. වෙන රස්සාවල් බලපල්ලා….’ තාත්තා අපි පස් දෙනාට ම කිව්වේ එහෙම යි. මමත් සංගීතයට කැමති බව තාත්තායි අම්මායි දෙන්නා දැනගෙන හිටියා. මට ඕනෙ වුණේ හැමෝම ඒ කාලේ ලංකාවේ තිබුණු සංගීතයටම නැඹුරු වූ නිසා ලංකාවේ නැති සංගීතයක් කරන්න ඒ ගැන සොයද්දි මට රොක් මියුසික් හමුවුණා.”
බාහිර ස්වරූපය නිසා චිත්‍රාල් පිළිබඳ සමාජයේ ඇතැමුන් තුළ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. දික් වුණු කැරළි කොණ්ඩය, නාස් කන ඇහිබැමි මත දිදුළන කඩුක්කන්, දෑත්වල පිරුණු වළලු, ඇඟිලි වැසුණු මුදු, ඔහුගේ හඬ වුව ද බටහිර සංස්කෘතියට ප්‍රිය වුවත් ශ්‍රී ලාංකික බහුතරයකගේ ආස්වාදය නොවේ. එසේ ම වේදිකාව පුරා ගීත ගයමින් ප්‍රාසාංගික රංගනයේ යෙදෙන චිත්‍රාල් නම් ගායකයා ජනප්‍රිය වුව ද ඔහු තුළ සිටින සංගීතඥයා පිළිබඳ ව බොහෝ දෙනා නොදනී.
“රොක් සංගීතය ඇති වෙලා තියෙන්නේ බ්ලූස් සංගීතය සහ බටහිර ශාස්ත්‍රීය සංගීතය ඇසුරු කරගෙන යි. ඉතින් රොක් මියුසික් කරන බොහෝ අය කොණ්ඩේ වවලා ලංකාවේ අයට අමුතුයි වගේ පෙනුණාට එයාලාගේ සංගීතය බොහොම උසස් සහ ශාස්ත්‍රීය පදනමක් සහිතයි. අපේ මිනිස්සුන්ගේ ආකල්පවල තමයි ගැටලුව තියෙන්නේ. මං ඒවා හිතන්නේ නැහැ. මම මං වෙනවා. එච්චරයි. මට ලංකාවට වඩා පිළිගැනීමක් වගේ ම අවස්ථා බොහෝමයක් තියෙන්නේ පිටරටවල යි. මම වසර 29ක් තිස්සේ ජීවත් වෙන්නෙත් ලංකාවේ නෙවෙයි. මම ජර්මනියේ “ඇවලෝන්” සංගීත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වගේ ම එහි ප්‍රධාන ගායකයා වශයෙන් බොහෝ කලක සිට කටයුතු කරමින් ඔවුන්ගේ හතරවන ගීත ඇල්බමය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ ගැන එරට පුවත්පත් රැසක ප්‍රසිද්ධ වුණා. ඒ 2000 වසරේදී යි. ඊට පස්සේ 2002 දි මම ශ්‍රී ලංකාවේ ඉසිපතන විද්‍යාලයේ පැවති ජාත්‍යන්තර රග්බි ශූරතාවලිය සඳහා ‘ග්‍රීන්ලන්තයේ තේමාව’ නිර්මාණය කිරීම සඳහා දායක වුණා. ඒ වසරේදීම ගීත ඇල්බම දෙකක් සඳහා මම සම්බන්ධ වුණා. 2003 දී ස්වීඩන් සංගීත කණ්ඩායමක් වන මූන්ලයිට් ඇගෝනි සමඟ එකතු වෙලා ඇල්බමයක් පටිගත කළා. 2004 ජනවාරි වෙද්දි මම ජපානයේ ෆයර්වින්ඩ් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා ඔවුන්ගේ තුන්වන ඇල්බමය වන ෆොගෙඩ් බයි ෆයර් නිර්මාණයට දායක වුණා. ඒ ඇල්බමය ජපානයේ ටොප් සියයට ඇතුළත් වුණා. ඒත් එක්කම ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට ප්‍රතිචාර හා ප්‍රසිද්ධියක් ලැබුණා. මට තිබුණු ඉල්ලුම නිසා එක තැනක වැඩි කාලයක් රැඳී ඉන්න මට බැරි වුණා. 2006 දී මම ගිටාර් වාදන ශිල්පි ඇල්ඩෝ ලොනොබයිල්, බේස් වාදක පියරේ එම්මානුවෙල් පෙලිසන්, ඩ්‍රම්ස් වාදක ලූකා කටර්සෙග්නා සමඟ එකතු වෙලා ‘සිවිලයිසේෂන් වන්’ නමින් මගේ ම සංගීත කණ්ඩායමක් හදා ගත්තා. සාමාජිකයින් විටින් විට වෙනස් වුණා. 2008 දී ශ්‍රී ලංකාවේ ටී. එන්. එල්. ගුවන්විදුලියේ ප්‍රසංගයකට අපේ කණ්ඩායමට ඇරයුම් ලැබුණා. මගේ මතකයේ හැටියට බටහිර පන්නයේ හෙවි මෙටල් සංගීත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය යි. 2009 වෙද්දි නැවත මගේ කණ්ඩායමේ සාමාජිකයින් වෙනස් වුණා. ගිටාර් වාදනයට නික්ලස් බර්ජින් සමඟ ඔලිවර් මාර්මන්, ඩ්‍රම්ස් වාදනයට මිචීල් ස්ටෙයින් අලුතින් එක්වුණා. අපි එකතු වෙලා රෙවලූෂන් රීසිංග් ඇල්බමය නිකුත් කළා. එය ඉතාලියේ සහ ජර්මනියේ ස්ටුඩියෝවල පටිගත කළා. එහි ජනප්‍රියත්වය නිසාම පසුව එහි දෙවන ඇල්බමයකුත් නිකුත් කළා. 2002 ඉඳලා 2016 වනතුරු ජර්මනියේ රෙඩ් සර්කඩ් සහ 2008 සිට 2012 දක්වා බ්‍රිතාන්‍යයේ රෙකියුම් සංගීත කණ්ඩායම් සමඟ පටිගත කිරීම් සහ ප්‍රසංගවලට සම්බන්ධ වුණා. බ්‍රිතාන්‍යයේ බවර් ක්වෙස්ට් කණ්ඩායම සමඟ මම සම්බන්ධ වෙලා 2010 දී ගීත ඇල්බමයක් කළා. එම්. ටී. වී. ශ්‍රී ලංකා සමඟ සම්බන්ධ වෙලා ‘ඩ්‍රීම්ස් ඔෆ් ෆයර්’ ඔලිම්පික් තේමා ගීතය නිර්මාණය කරමින් එය ගායනා කළා. ඔවුන් සමඟ 2011 ක්‍රිකට් ලෝක කුසලාන නිල ගීතය ‘බිලීවිං ද ඩ්‍රීම්’ මම ම රචනා කරලා ගායනා කළා. මගේ හත් වැනි සංගීත වීඩියෝව 2017 දී ‘සිංහ ලෝකයේ සිංහයා’ කලම්බෝ සිටි සෙන්ටර්හිදී නිකුත් කළා. 2019 දී බ්ලූ-රේ සංස්කරණය කොළඹදී එළි දැක්වූවා. මගේ පෙනුමෙන් මාව විනිශ්චය කරන බොහෝ අය මම මේ දේවල් කරලා තියෙනවා කියලා දන්නේ නැහැ.”
එපමණක් නොව චිත්‍රාල් මේ වනවිටත් සිනමා නිර්මාණ රැසකට තම සංගීත නිර්මාණයෙන් සහ පසුබිම් ගායනයෙන් දායක වී ඇති අතර 2017 වසරේ හොඳම සිනමා පසුබිම් ගායනය සඳහා ‘ඇහැරෙන්න’ ගීතය වෙනුවෙන් සිග්නීස් සම්මානය ද 2018 වසරේදී හොඳ ම සිනමා පසුබිම් ගායනය සඳහා වන ජනාධිපති සම්මානය ද දිනා ගත්තේ ය. ‘ගිනි අවි සහ ගිනි කෙළි 2’ සංගීත අධ්‍යක්ෂණය මෙන් ම ඉන් පෙර චන්ද්‍රන් රත්නම්ගේ ‘මේ වගේ ආදරයක්’, අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’, ප්‍රියන්ත කොළඹගේගේ ‘ආදරණීය කතාවක්’ සහ ‘දේදුනු ආකාසේ’, නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපට සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’, ඔස්ට්‍රේලියානු චිත්‍රපටයක් වන අමල් අල්විස්ගේ ‘හංස පවුරු’ යන චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා වන චිත්‍රාල් සෝමපාල එම චිත්‍රපටවල ගීත කිහිපයකට පසුබිම් ගායනයෙන් ද සම්බන්ධ විය. එසේ වුවත් චිත්‍රාල්ගේ පාසල් ජීවිතය ගෙවුණේ ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් අනාගතය දර්ශනය කරමිනි.
“මම පුංචි කාලේ ඉඳලා ක්‍රීඩාවට විශේෂ උනන්දුවක් දැක්වූවා. ක්‍රිකට් ගැහුවා. හෂාන් තිලකරත්න, අසංක ගුරුසිංහලා එක්ක ෙකාළඹ ඉසිපතන විද්‍යාලයේ එකොළහෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා හැටියට මම ක්‍රීඩා කළා. ඒ අවුරුද්දේ ශාන්ත පීටර් විද්‍යාලයත් එක්ක තමයි අපි සමස්ත ලංකා පාසල් ක්‍රිකට් එකොළහෙන් පහළ අවසාන වටයට තේරුණේ. අවසානයේ අපි දෙගොල්ලෝ සම ශූරතාව දිනා ගත්තා. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ අසංකලා, හෂාන්ලා වෙන ඉස්කෝලවලට ගියා. අපේ ගෙදර ඉස්සර ඉසිපතන විද්‍යාලය තිබුණු නිසා මාව ඒ ඉස්කෝලෙන් ඉවත් කරලා වෙන ඉස්කෝලෙකට දාන්න අම්මා කැමති වුණේ නැහැ. ඊට පස්සේ මම හොකී ක්‍රීඩාවට සම්බන්ධ වුණා. 1977 දී මම පාපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයට ගියා. එතකොට මට වයස අවුරුදු 11 යි. මගේ තාත්තා මොන සංගීතය කළත් පාපන්දු ක්‍රීඩාවෙන් එයා උමතු වෙලයි හිටියේ. සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජයේ එයා උපසභාපති වෙලා හිටියා. එයාට ලොකු උවමනාවක් තිබුණේ මාව පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යවන්න යි. මම ඒ අතරේ පාසල් හොකී කණ්ඩායමෙත් දිගට ම සෙල්ලම් කළා. වයස අවුරුදු පහළොවේදී විතර මම සංගීතයට යොමු වුණා. වයස අවුරුදු 13දී වගේ මම තාත්තාගෙන් ගිටාර් එකක් ඉල්ලුවාම තාත්තා ඒක අරන් දුන්නා. හැබැයි තාත්තා මට කිව්වා ඉගෙන ගන්න සංගීතයක් හරියට ඉගෙන ගන්න කියලා. අපේ ඉසිපතන විද්‍යාලයේම ඉගැන්වූ බන්දුල ද සිල්වා සංගීත සර් ළඟට ගිහින් මම ඉගෙන ගත්තා. සංගීත අපේ තාත්තාට මං ගැන කිව්වේ ‘මේ ළමයාට තියෙන මියුසික් ටේස්ට් එක මාරයි’ කියලා. මම දිගට ම බටහිර සංගීතය ඉගෙන ගත්තා. ඒ අතරේ ‘සෙලිබ්‍රේෂන්’ සංගීත කණ්ඩායමට එකතු වුණා. ඊට පස්සේ දිලුප් ගබඩාමුදලිගේ බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. තව බෑන්ඩ් කිහිපයකට ම මම සම්බන්ධ වුණා. ඒ අතරේ ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමකට මට ඇරයුම් ලැබුණා. වයස අවුරුදු 19න් මම ලංකාවෙන් ගියා.”
සිංහල ගීතයට, සිංහල වචනවලට යම් අකැමැත්තක් දැක්වූ නමුත් බර්ට්‍රම් නිහාල්ගේ ‘නදී ගංගා තරණයේ’ ගීතයට මුසු වූ චිත්‍රාල්ගේ හඬ පෞර්ෂය ඇසූ කෙනෙකුට එය යළි අමතක නොවේ. එය සිංහල ගීතයක් වුවත් චිත්‍රාල් වෙතින් එම ගීතය නිර්මාණය වූයේ ඔහුට හුරු බටහිර සංගීතයෙනි. මෑතකදී ඔහු උමාරා සිංහවංස හා එක්ව ගැයූ ගීතය ද අපූරු මිහිරක් ගෙනෙන ගීතයකි.
“මලකුත් තිබුණා
හැඟුමන් හංගා
එය හඳුනාගත් බඹරෙකු රිංගා
වෑකුලු උයනේ
දොරගුළු බින්දා
පෙම රසයි රසයි..”
තුෂාරී කළුබෝවිල