ඒ චරිතය ඇත්තටම හොඳ, අමුතුම චරිතයක් - සසිඳු ඉමේෂ්

 ‍


මේ දිනවල විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ රැපාගේ චරිතය තුළින් ඔබ හමුවට එන පුංචි දඟකාර පොඩ්ඩෙක් හදගැස්ම අපත් සමඟ කතාබහට එක්වුණා. ටෙලි නාට්‍ය තුළ බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් රංගනයේ යෙදෙන මේ පුංචි දඟකාරයා නමින් සසිඳු ඉමේෂ් ජයශ්‍රී.


ඉතින් පුතේ ඔයා මේ දවස්වල මොකද කරන්නේ?


මම මේ දවස්වල පාසලේ වැඩ ටික කරන ගමන් රඟපෑම් වැඩවලටත් සම්බන්ධ වෙනවා.


පුතාගේ පෞද්ගලික විස්තර ටිකක් කියමුද?


මගේ නම සසිඳු ඉමේෂ් ජයශ්‍රී. මම හොරණ අශෝක විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. අපේ ගෙදර මමයි, අම්මයි,තාත්තයි, අක්කයි ඉන්නෙ.


අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍ය තුළ පුතාගේ චරිතය ගැනත් කතා කරමු?


මම අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ‘රැපාගේ’ චරිතය තමයි රඟපාන්නේ. ඒ චරිතය ඇත්තටම හොඳ, අමුතුම චරිතයක්. නාට්‍ය ඇතුළේ මට හැමවෙලාවෙම රැප් එකක් කියලා සතුටින් ඉන්න තියෙන්නෙ. ඉතින් ‘රැපාගේ’ චරිතය ඇතුළෙ වැඩියෙන්ම තිබෙන්නේ රැප් තමයි.


‘රැපාට’ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද ?


ඉස්කෝලේ යාළුවන්ගෙන් තමයි මට වැඩිපුරම ප්‍රතිචාර තිබෙන්නේ. යාළුවෝ කියනවා  මම හොඳට රඟපානවා කියලා.


පුතා මුලින්ම රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද?


අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍ය තමයි මගේ පළමු වැනි ටෙලි නාට්‍ය. මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ ෆේස්බුක් එකේ තිබුණු පෝස්ට් එකකට කතා කරලා. ඒ පෝස්ට් එකේ තිබුණු නම්බර් එකකට කතා කරලා අපි ඔඩිෂන් එකට ගියා. ඔඩිෂන් එකේදි මට මාර වැඩක් තමයි වුණේ. ඔඩිෂන් එකට අපේ අම්මා එක්කගෙන ගියේ අපේ අක්කව. මම ගියේ අක්කගේ තනියට. ඉතින් අන්තිමට අක්කගේ තනියට ගිය මම තමයි ඔඩිෂන් එකෙන් තේරුණේ.


පුතා මුලින්ම කැමරාවක් ඉදිරියේ රංගනයේ යෙදෙන විට මොකද හිතුණේ?


“මුලින්ම කැමරාව ඉස්සරහට ගියාට පස්සේ මට තේරුණා හැම ළමයකුටම මේ අවස්ථාව ලැබෙන්නෙ නැහැ කියලා. මේ අවස්ථාව ලබන්න අපි ගොඩක් පින් කරන්න ඕනෑ. මේ  අවස්ථාව ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි. මේ ටෙලි නාට්‍ය මගේ පළමු වැනි ටෙලි නාට්‍ය නිසා මුලින්ම රංගන කටයුතු කරන විට මට වැරදුණා. ඉතින් මේ චරිතය තුළින් මේ වගේ තැනකට එන්න මට ගොඩක් අය උදවු කළා. ඉතින් මේ තැනට එන්න මට උදවු කළ අකුරට


යන වෙලාවේ නාට්‍යයේ අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය මාමා සහ අධ්‍යක්ෂ කසුන් තරින්ද්‍ර මාමාටත් සුරේෂ් ධම්මික මාමා ඇතුළු පාසලේ ගුරුවරුන් ඇතුළු නර්තනයෙන් ඉහළටම යන්න පාර පෙන්නපු ලලිත් පැරකුම් ගුරු පියාණනුත් ආදරයෙන් මතක් කරනවා. ඒ්වගේම මේ තැනට එන්න පුනීත් හසංක අයියත් රවිදු මදුශංක අයියත් චමින් රෝහන අයියත් මට ගොඩාක් උදවු කළා.


රංගන කටයුතුවලදී සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාද?


මම මුලින්ම මේ ටෙලි නාට්‍යයට පැමිණි දවසේ මට සිංදුවක් දුන්නා. මම ඒ සිංදුව කිව්වා. ඉතින් ඒ සිංදුවෙන් තමයි ගොඩක් අය මාව හඳුනගත්තේ. ඒ වීඩියෝ එක පැය විසිහතරක් ඇතුළත ට්‍රෙන්ඩින් වුණා.


රංගන කටයුතුවලදී පුතාට පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


අපේ තාත්තා තමා ගොඩක් වෙලාවට මාව ෂූටින් එක්කගෙන යන්නේ. අපේ අම්මා හැම තිස්සෙම කියන්නේ ෂූටින්වලට ගියාට පස්සේ පරිස්සමින් ඉන්න, ගිහින් රණ්ඩු කරගන්න, දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න ගිහින් වැටෙන්න එපා කියලා. ඉතින් තාත්තා හැමදාම මාව ෂූටින් එක්කගෙන ඇවිත් සතුටෙන් බලා ගන්නවා.


සසිඳු රංගනයට අමතරව දක්ෂ මොනවගේ දේවල්වලටද?


“මම නර්තනයට සහ කරාතේ ක්‍රීඩාවට දක්ෂයි. නර්තනයෙන් 2023-ඉඅධ්ඹ්ඒව්ම්ඒ ධ්දඤඪචද’ඵ ධ්දබඥපදචබඪධදචත ට්පධධමඥටඥඵබ ඩාන්සින් තරගාවලියේ පළමු ස්ථානය ලබා ගත්තා.


පුතා රංගනය සහ පාසල් වැඩ සමබර කර ගන්නේ කොහොමද?


ඇත්තටම යාළුවෝ, යාළුවන්ගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. මම දන්නැති දේවල් ඒ අය මට කියලා දෙනවා. මට මඟහැරෙන නෝට්ස් දෙනවා. ඒ වගේම තමයි මගේ පාසලේ ගුරුතුමිය මාත් එක්ක නිතරම ඉඳලා මට ලොකු සහයෝගයක් දෙනවා.


පුතාගේ අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කරමු?


“මගේ අනාගත බලාපොරොත්තුව නළුවෙක් වෙන එක තමයි.”


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තිබෙනවද?


ඉගෙනීම් කටයුතු සහ  අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ වැඩත් එක්ක මට වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබෙන ඉඩකඩ අඩුයි. මාව හැදුණු අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍ය මට අමතක කරන්න බැහැ.  මම වෙළෙඳ දැන්වීම් තුනක් කරලා තිබෙනවා. මියුසික් වීඩියෝත් කරලා තිබෙනවා.


නයෝමි ෂර්මිලා



Previous Post Next Post