දැන් මට ආදරය ගැන හිතන්න වෙලාවක් නැහැ -විදුරවි හංසජ කුඹුකගේ

 


ඔහු කවුරුන්ද යන්න ප්‍රේක්ෂකයා හොඳින්ම හඳුනාගත්තේ හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයේ විශාල් හරහාය. ඉන්පසුව සංසාරිණී ටෙලි නිර්මාණයේ ආදිත්‍ය හරහා ඔහු තව තවත් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් විය. විදුරවි හංසජ කුඹුකගේ දැන් ඔබට නුහුරු කෙනෙකුත් නොවේ. විශාල් මෙන්ම ආදිත්‍ය ලෙසින් ඔබේ ආදරය ඉහළින්ම දිනූ ඔහු සංසාරිණී අවසන්වීමත් සමඟින් පුංචි තිරය මත දකින්නට නොලැබීම කාගේත් කසුකුසුවට තුඩු දුන් හේතුවක් විය. ‘විදුරවි කලාවෙන් ඈත් වෙලා‘ මෙවන් ආරංචි ඉගිළ ගියේ තටු නොලබාය. ආරංචියේ සත්‍ය අසත්‍ය කුමක්දැයි විමසීමේ අදහසින් අද අපි ඔහු හා කතාබහට එක්වීමු.


විදුරවි හංසජ නම මේ දවස්වල පුංචි තිරය මත දකිනවා අඩුයි. ඒ කියන්නේ විදුරවි කලාවෙන් ඈත්වෙලා කියන කතාව ඇත්තද?


නෑ. නෑ. විදුරවි කවදාවත් කලාවෙන් ඈත් වෙන්නෙ නෑ. අද මං මේ තැන ඉන්නෙ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ නිසා. මේ අවුරුද්දේ සංසාරිණී නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ පුංචි විරාමයකට ගියේ අලුතින්ම පටන් ගත්ත මගේ ව්‍යාපාරයේ කටයුතු නිසා. පහුගිය 9 වැනිදා ඒක විවෘත කළා. දැන් ආයෙම මං මගේ කලා කටයුතු පැත්තට යොමු වෙමින් ඉන්නවා. මේ වෙද්දිත් මගේ පළමු සිනමාපටය වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්නේ. තිරපිටපත කියවමින්, චිත්‍රපටය ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. ලබන අවුරුද්දේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට රිදී තිරය හරහාත් මාව දැකගන්න පුළුවන්. මීට කලින් ආකාශ් තාරුක පෙරේරාගේ විලම්භීත කෙටි චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තිබුණත් දිගු සිනමාපටයකට දායක වන පළමු අවස්ථාව. ආකාශ් එක්ක ලබපු අත්දැකීමත් මගේ මේ ගමනට ලොකු පන්නරයක් වුණා.


කලා ලෝකයේ විශාල පිරිසක් සහභාගි කරගෙන පසුගියදා විවෘත වුණු ඔබේ ව්‍යාපාරික කටයුත්ත ගැනත් කියමු?


පසුගිය 9 වැනිදා බම්බලපිටිය නගරයේ KIRSCHE නමින් මගේ අලුත්ම ඇඟලුම් ව්‍යාපාරය ආරම්භ කළා. මේක වෛද්‍ය සාරාෆාසි සහ මම එකතුවෙලා කරන ව්‍යාපාරයක්. කලින් ඉඳන්ම පොඩියට කරගෙන ගියත් ඒක වැඩිදියුණු කරලා මහා පරිමාණ ව්‍යාපාරයක් විදිහට නැවත හඳුන්වාදීමක් එදා කළේ. කලා ලෝකයේ මගේ හිතවතුන් විශාල පිරිසක් සහභාගිවීම ලොකු සතුටක්. පැමිණි හැමදෙනාටම ස්තුතිය පළ කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.


විශාල් සහ ආදිත්‍ය හරහා නේද විදුරවි හංසජ කුඹුකගේ කියන නම ලංකාවම දැනගත්තේ?


අනිවාර්යයෙන්ම. ඊට කලිනුත් මං නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙලා තිබුණා. මං මුල්ම රංගන අත්දැකීම ලබන්නේ අඛිල අබේරත්නගේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයේ දේවදත්තගේ චරිතයෙන්. රජ ඇඳුම් ඇඳලා ඔටුණු පලඳලා කරපු පළමු රංගනය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට නොගියත් සිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයේ විශාල් හරහා හිතාගන්න බැරි තරම් ජනප්‍රියත්වයක් ලැබුණා. ඒක මගේ ජීවිතේ වෙනස් කළ චරිතයක් කිව්වත් හරි. මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තමයි විශාල්. පළමු අත්දැකීම ප්‍රතිවීර චරිතයක් වුණත් විශාල් හරහා ප්‍රේක්ෂකයන් අතරට ගියේ ප්‍රධාන චරිතය ඔස්සේ. දිල්ෂාන් අමරසිංහගේ සංසාරිණීහි ආදිත්‍ය කියන්නේ මට තව තවත් ප්‍රේක්ෂක හදවතේ බැබළෙන්න ලැබුණු අවස්ථාවක්. ආදිත්‍යත් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැලඳ ගත්තා.


විදුරවිගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන සඳහන් කළොත්?


මම මුලින්ම කලාව හඳුනගන්නේ වෙළෙඳ දැන්වීම් හරහා. ඊට පස්සේ 2018 හිරු අවුරුදු කුමරා අවසන් පස් දෙනා අතරට එන්න ලැබුණා. ඒ හරහා මට රංගනයට අවස්ථාව ලැබුණා. පළමු රංගන අත්දැකීම විදිහට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයේ දේවදත්ත හරහා මට යමක් කරන්න ලැබුණා. රංගනය ගැන විශේෂ හැදෑරීමක් කරල නැති වුණත් කලා පවුල් පසුබිමක ආභාසය නිසා මටත් ඒ හැකියාව පිහිටල තියෙන්න ඇති කියල හිතෙනවා. මට තියෙන්නේ වාණිජ අංශයේ ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් පැත්තෙන් ඩිග්‍රියක්. කියවීම තුළින් මං රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ආකාශ් තාරුකව මෙතනදි විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මං නොදන්න බොහෝ දේ ඔහු හරහා ලබා ගත්තා. ඊට අමතරව අත්දැකීම් හා එදිනෙදා සිදුවීම් ඇසුරින් මං යම් පන්නරයක් ලබා ගත්තා. මගේ හැකියාව එළියට දාන්න පුළුවන්, ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් මං ඒ චරිතය භාරගන්නවා.


විදුරවිගේ පවුලේ තොරතුරු ගැන දැනගන්නත් ප්‍රේක්ෂකයන් කැමැති ඇති?


මගේ පවුලේ බොහෝදෙනෙක් කලාවට සම්බන්ධයි. මගේ තාත්තා මුදිත කුඹුකගේ. ශබ්ද පරිපාලකවරයෙක්. අම්මා ආලෝකා කුඹුකගේ. නර්තන ශිල්පිනියක්. ඒ වගේම ගඟ අද්දර චිත්‍රපටය ඇතුළු චිත්‍රපට රැසක එඩිටර් විදිහට කටයුතු කළ ලාල් පියසේන වගේම තනු නිර්මාපකයෙක් විදිහට කටයුතු කරන සමන් කුඹුකගේ කියන්නෙත් මගේ තාත්තගේ වැඩිමහල් සොහොයුරන්. මට ඉන්නේ අක්ක කෙනෙක් විතරයි.


විදුරවි කියන්නේ කඩවසම් තරුණයෙක්. ආදරය ගැන අත්දැකීම් නෑ කියන්නෙ කොහොමද?


නැත්තෙ නෑ. ආදරණීය අත්දැකීම් ලබල තියෙනවා. ඒත් මේ වෙද්දි නම් ආදරවන්තයෙක් නෙවෙයි. කලා කටයුතුවලට වගේම දැන් මං ව්‍යාපාරික කටයුතුවලටත් යොමු වෙලා ඉන්න නිසා ආදරය ගැන හිතන්න වෙලාවක් නැති තරම්. දැනට කලාවයි ව්‍යාපාරයයි දෙක සමබරව කරගෙන යන්න තමයි අදහස.


 නාමලී ගමගේ



Previous Post Next Post