සින්ටෝ බලලා හැමෝම හොඳ ප්‍රතිචාර දක්වන එක සතුටක් - නිපුණි සමරක්කොඩි

 


ඇගේ කලාවට පිවිසීම සිදුවන්නේ පාසල් වියේදී. නිළි රැජන මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක වුණු සමීර හසුන්ගේ “මීදුම් අම්මා” ටෙලි නිර්මාණයේ කව් අම්මාගේ දුව ලෙසින් පළමු රංගන අත්දැකීම ලැබූ ඇය මේ වනවිට ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී ඇත. තිලිණ බොරලැස්සගේ “රාජිණී” ටෙලි නිර්මාණයේ නෙත්මි නම්කියාගේ චරිතයෙන් ප්‍රේක්ෂක හදවත් ගැඹුරින් ස්පර්ශ කළ ඇය මේ දිනවල “සින්ටෝ, සින්ධූ, නෙලුමි සහ නිකිණි කුසුම්” ටෙලි නිර්මාණ ඔස්සේ ද ඔබ හමුවට එන්නීය. රංගන ශිල්පිනියක මෙන්ම වෘත්තියෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුතු රැකියාවක නිරත වන ඇය නිපුණි සමරක්කොඩිය.


නිපුණි කලාවට එන්නෙම වාසනාව දෝතින් අරන්?


මං කලාවට පිවිසෙන්නේ 2015 වසරේ. කුලුඳුල් රංගන අත්දැකීම විදිහට හෙළයේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය සමඟ “මීදුම් අම්මා” ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එතුමිය එක්ක එකට රඟපාන්න ලැබෙනව කියන්නෙ ඕනෙම කෙනෙකුගේ හීනයක්. මගේ පළමු රංගන අත්දැකීමෙන්ම මට ඒ වාසනාව හිමිවුණා. “මිදුම් අම්මා” අධ්‍යක්ෂ සමීර හසුන්ගෙන් මට ලොකු සහායක් ලැබුණා. ඔහුත් ජනප්‍රිය සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක්.


අදටත් බොහෝදෙනා ඔබ හඳුන්වන්නේ නෙත්මි නම්කියා කියලා. කොහොමද නෙත්මි නම්කියා වෙන්න අවස්ථාව ලැබෙන්නේ?


“මීදුම් අම්මා” ටෙලි නාට්‍යයෙන් පස්සෙ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඒත් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වේවි කියන බයට ටික කාලයක් මං රංගන කටයුතුවලින් ඈත්වෙලා හිටියා. පාසල් ගිහින් ඉවර වෙලා ආයෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ ෆිල්ම් සහ ටෙලිවිෂන් පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරුවා. ඊට පස්සෙ ස්කයි ප්‍රොඩක්ෂන් හවුස් එකට සම්බන්ධ වුණේ සහාය අධ්‍යක්ෂවරියක් විදිහට. එතැනදි තමයි තිළිණ බොරලැස්සගේ “රාජිණී” ටෙලි නිර්මාණයේ නෙත්මි නම්කියා චරිතයට ආරාධනා ලැබෙන්නේ. යූටියුබ් හරහා ගොඩක් ප්‍රචාරය වුණා. කතාව ඉවර වෙලත් අදටත් ප්‍රේක්ෂක ආදරේ ලැබෙනවා. අධ්‍යක්ෂ තිළිණ බොරලැස්සත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඒ වගේම මේ දිනවල විකාශය වන “නිකිණි කුසුම්” ටෙලි නිර්මාණයේ පවිත්‍රා කියන චරිතයටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒක කටකාර චරිතයක්. සාමාන්‍ය ජීවිතෙත් මං ටිකක් සැර චරිතයක් නිසා ඒ චරිතයට සාධාරණයක් කරන්න පහසු වෙන්න ඇති කියලා හිතෙනවා.


නිපුණිට ලැබිල තියෙන්නෙම කටකාර චරිත. මේ දවස්වල බොහෝම අහිංසක චරිතයකින් ප්‍රේක්ෂක ආදරය විඳිනවා නේද?


ඔව්. අසංක සායක්කාරගේ සින්ටෝ කියන්නේ මේ දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ටෙලි නිර්මාණයක්. ඒකෙ පොඩි මිස්ට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මට ලැබුණු අහිංසකම චරිතය. කටකාර චරිතවලින් මිදෙන්න ලැබුණු හොඳ අවස්ථාවක් නිසා මං ගොඩක් කැමැත්තෙන් භාරගත්තා. සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ චරිතයක්. ඒ චරිතය මට ගොඩක් සමීප වෙන්නේ මාත් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ තියටර් ඇසිස්ටන් විදිහට කරන සේවයත් මේ හා සමාන බවක් ගන්න නිසා. සින්ටෝ හරහා කතා කෙරෙන්නේ දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා හය දෙනෙක්ගේ හැඟීම් ගැන. ඔවුන්ට ඒ අවස්ථාව දැනෙන විදිහ. හය දෙනා ගත්තොත් ඒ හැඟීම දැනෙන්නේ හය විදිහකට. සැබෑ ජීවිතේත් රෝහලට අඩු වයසින් අම්මලා වෙන අය එනවා. මට කතාව තුළ තියෙන දෙබස් බොහෝ දුරට සාමාන්‍ය රැකියා ජීවිතේ කියන්න වෙන දෙබස්වලටම සමානයි. මාව මේ චරිතයට තෝර ගන්න හේතුව වුණෙත් මගේ රැකියාවම තමයි. අපේ රෝහලේ හැමෝම වගේ “සින්ටෝ” බලලා ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වන එක සතුටක්.


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන ඔබ කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?


මගේ තාත්තා නිතරම මට කිව්වෙ කෙල්ලෙක් වුණහම ස්ථිර රැකියාවක් තියෙන්නම ඕන කියලා. මට කලාවට සම්බන්ධ වෙන්න පාර හදල දුන්නෙත් තාත්තා. මේ වෙද්දි ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.


ඔබේ රැකියාවයි කලාවයි කියන්නේ හාත්පසින්ම වෙනස් අංශ දෙකක්. කොහොමද ඔබට ඒක දැනෙන්නේ?


මම මේ රැකියාව කරන්නේ ගොඩක් කැමැත්තෙන්. රෝගීන්ට සලකනව කියන්නෙම ලොකු පිනක්. මම හරිම කැමැත්තෙන් ඒ දේ කරනවා. අපේ ඇස් ඉස්සරහ මිනිස්සු මිය යන සමහර අවස්ථා ගොඩාක් සංවේදීව දැනෙනවා. ඒත් අපේ රැකියාවෙ හැටියට ඒක දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. රැකියාව අතරෙත් ප්‍රේක්ෂකයො හමුවෙනවා. ගොඩක් අය මාව අඳුනගෙන ඔයා නේද නෙත්මි නම්කියා කියලා අහලා සෙල්ෆි ගන්නවා. ඒ වෙලාවට සතුටක් දැනෙනවා.


නිපුණිට සහකරුවා හමුවෙන්නෙත් රැකියාව නිසා නේද, ඒ ගැනත් කියමු?


අපි දෙන්නම එකම බැච් එකේ. එයත් සේවය කරන්නේ රාගම රෝහලේ. යාළු වෙද්දිම එයා දැනන් හිටියා මං කලාවට සම්බන්ධයි කියලා. විවාහ වෙලත් දැන් ටික කාලයක්. මගේ කලා කටයුතුවලට එයාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඒ වගේම මගේ සේවා ස්ථානයේ හැමෝගෙන්ම ලැබෙන සහායත් මතක් කරන්නම ඕන.


නාමලී ගමගේ




Previous Post Next Post