නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ චාමිනීගේ පෙම්වතා ලකී ලෙස ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා සිටින ඔහු මේ දිනවල ‘හිරි පොද වැස්සේ‘ සෙල්ලක්කාර පාසල් පෙම්වතෙකි. හේල්යන්හි සහස් සහ ගුරුළු ලෙසින් ද්විත්ව රංගනයක යෙදුණු ඔහු ලංකාවේ නිර්මාණය වුණු බලයක් සහිත පළමු සුපර් හීරෝ චරිතය නිරූපණය කිරීමේ වාසනාව හිමිකර ගත් රංගන ශිල්පියා ද වෙයි. එකල ළමා ලෝකයේ සිහින කුමරා වූ ඔහු මේ දිනවල හිරිමල් යෞවනයේ සිහින කුමරාය. ඔහු නමින් ෆෙරී ජොනතන්ය. මේ දිනවල සෙල්ලක්කාරයකු ලෙස හිරි පොද වැස්සේ දී හමුවන ඔහු සමඟයි අද අපේ කතාබහ.
හිරි පොද වැස්ස කියන්නේ හිරිමල් යෞවනයේ දඟකාරකම් හොඳින්ම නිරූපණය වන නිර්මාණයක්. කොහොමද අවස්ථාව ලැබෙන්නේ?
හිරි පොද වැස්ස ප්‍රභාත් රෝෂණ අයියගෙයි නිමන්ති පෝරගේ අක්කගෙයි නිෂ්පාදනයක්. තිමිර උඩලමත්තගේ තිර පිටපත අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දික ධර්මතිලක. ප්‍රභාත් අයියා තමයි මට ආරාධනා කළේ. ඒ වෙලාවේ මං ගොඩක්ම කාර්යබහුල වෙලා හිටපු නිසා බැහැ කියලත් කිව්වා. ඒත් එයාලට මාව ගන්නම ඕන වුණා. කොහොමහරි සම්බන්ධ වෙන්න ලැබීම ගැන අද මං සතුටු වෙනවා. මුලදිම අපි හිතුවා මේක ට්‍රෙන්ඩින් වේවි කියලා.
සෙල්ලක්කාර පාසල් කාලයේ නියෝජනයක්. කොහොමද ප්‍රතිචාර?
තාම කොටස් ටිකයි විකාශය වුණේ. මේ වෙද්දි ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ දෙවැනි තැන ඉන්නවා. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. කතාවේ ඉදිරියට නම් මටයි අශේන්ටයි ප්රේක්ෂකයන්ගෙන් හොඳටම බැණුම් අහන්න වෙයි. සමාජයේ පවතින චරිතම තමයි අපි නිරූපණය කරන්නේ.
ඔබ සෙල්ලක්කාර පෙම්වතෙක්. කොහොමද ඒ අත්දැකීම?
බන්දුක ජොන්ටි කියන්නෙ සෙල්ලක්කාරයෙක්. පාසල් නිල ඇඳුම නුහුරු නොවුණත් ආයෙත් පාසල් යන්න ලැබීම සතුටක්. ඒක ටිකක් වෙනස් අත්දැකීමක් වුණේ එක ආදරයක් ළඟ නතර වෙන්නෙ නැතුව වටේම යන කොල්ලෙක් නිසා. පාසල් කාලෙ කරපු දේවල් ආයෙත් මතක් වුණා.
ෆෙරී කියන්නේ ලංකාවේ හැදුණු කෙනෙක්. ඒත් ඇයි ඔබට ෆෙරී ජොනතන් කියල නම දාල තියෙන්නෙ ?
මගේ අම්මයි, තාත්තයි දීර්ඝ කාලයක් විදෙස් රටවල සේවය කරල තියෙන්නෙ. මං ඉපදිලා තියෙන්නෙ සයිප්රස්වල. ෆෙරී කියන්නෙ එහේ ක්‍රීඩකයෙක්ගෙ නමක්. තාත්තා දාල තියෙන්නේ. ජොනතන් කියන කෑල්ල දාල තියෙන්නෙ අම්මා. ගොඩක් කල් මං කිරිඅම්මා ළඟ හැදිල තියෙන්නේ. මේ වෙද්දි නම් අම්මයි තාත්තයි මගේ ළඟ ඉන්නවා. ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරුව මට කුරුණෑගල මලියදේව විද්‍යාලයට එන්න අවස්ථාව ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණු දක්ෂතාව නිසා. ඒ කාලෙ ක්‍රිකට් තමයි මගේ ජීවිතේ වෙලා තිබුණේ.
ඇයි ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව අත්හැරියේ?
මට අවුරුදු 9ක ආදර කතාවක් තිබුණා. එයා කැමති වුණේ නෑ මං අවුවෙ පිච්චිලා කළු වෙනවට. ආදරය වෙනුවෙන් මට ක්‍රිකට් අත්හරින්න වුණා. ඒතරම් කැපවීමක් කරලත් ඒ ආදරය මාව දාල ගියා. ආයෙම ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්නත් බැරි වුණා.
එතකොට ඔබ රංගන ශිල්පියෙක් වෙන්නේ?
පාසල් කාලෙදිම මට රංගනයට අවස්ථාව ලැබුණා. 2016 කෙම්මුර කළුවර කියන ටෙලි නාට්‍යයේ ළමා චරිතයක් නිරූපණය කළත් ඊට පස්සෙ සම්බන්ධ වුණු මුතු කුඩ ටෙලි නිර්මාණය තමයි මුලින්ම විකාශය වුණේ. ප්‍රේක්ෂකයන් මාව හඳුනගන්නේ අහස් මාළිගා ටෙලි නිර්මාණයෙන්. ඒක ප්‍රභාත් රෝෂණ අයියගෙයි නිමන්ති අක්කගෙයි නිෂ්පාදනයක්. මේ ගමනෙදි මට ඔවුන් ලොකු සහායක් දුන්නා. ඊට පස්සේ තුෂාර තෙන්නකෝන් සර්ගේ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔහුගේ හේල්‍යන් කියන නාට්‍යයේ සුපර් හීරෝ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම නිකිණි කුසුම්හි ලකීත් ගොඩක් ජනප්‍රිය වුණා.
ඔබේ කොණ්ඩෙට ආදරේ කළ තරුණියන් ගොඩක් හිටියා නේද?
ඔව්. කොරියන් කතාවලට පිස්සු වැටිච්ච ගෑනු ළමයි කොණ්ඩය වවපු මගේ පෙනුමට ගොඩක් ආදරය කළා. මං කොණ්ඩෙ කපපු වෙලාවෙ අඬපු ෆෑන්ස්ලත් හිටියා.
ෆෙරී කියන්නේ බයික් පිස්සෙක් කියන්නෙ ඇත්තද?
ඇත්තටම මං බයික්වලට ගොඩක් ආසයි. හිරි පොද වැස්ස ටෙලි නිර්මාණයෙදි මට පදින්න ලැබුණේ ලංකාවේ තියෙන හොඳම බයික් එකක්. මං හරිම ආසාවෙන් ඒක පැද්දා. කවදහරි ලංකාවේ තියෙන හොඳම බයික් එක ගන්න එක තමයි මගේ හීනේ.
හිරි පොද වැස්ස රූගත කරද්දි සිදුවුණු අමතක නොවන තැන් ඇති?
එක අවස්ථාවකදී අපි ලොකේෂන් මාරු වුණා. ලොකේෂන් එක ගොඩක් දුරයි කියල අපි දැනන් හිටියෙ නෑ. අනිත් අය කෘෘ කැබ් එකක ඉස්සරහ නැගල යනවා. අපි ෂූටින් කරන්න ඇන්ද යුනිෆෝම් එකෙන්මයි. යන්න තියෙන්නෙ පොඩි දුරයි කියල හිතාගෙන මායි අශේනුයි කැබ් එකේ පිටිපස්සේ එල්ලුණා. දැන් කැබ් එක කඩාගෙන යනවා. අපි කෑගහනවා. ඒත් එයාලට ඇහෙන්නේ නෑ. යුනිෆෝම් නිසා පාරෙ මිනිස්සු හිතුවේ ඉස්කෝලෙ ළමයි දෙන්නෙක් කැබ් එකක එල්ලිලා යනව කියලා. අපි දෙන්න අමාරුවෙන් එල්ලිලා ඉන්නෙත්. කොහොමහරි ලොකේෂන් එකට එනකල්ම එල්ලිලා ආවේ.
ෆෙරීට මේ දවස්වල ආදර කතා නම් ඕනතරම් නේද?
ඇත්තම කිව්වොත් මට සැබෑ ජීවිතේ ආදර කතාවක් නෑ. මට තිබුණේ පාසල් යන කාලෙ ඉඳන්ම තිබුණු ආදර කතාවක්. ඒත් ඒක නැති වුණාට පස්සේ මං ආදරයක් ගැන හිතුවේ නෑ. කවදහරි මගේ හිත නතර වෙන තැනක නතර වෙන්නයි මගේ බලාපොරොත්තුව.
නාමලී ගමගේ