බොඩි පේන්ටින් කලාවට ලංකාවේ තැනක් නැහැ – සජිනි අප්සරා

 



බොඩි පේන්ටින් කලාව අපේ රටට ඒ තරම් හුරු පුරුදු දෙයක් නෙමෙයි. නමුත් බටහිර රටවල ඒ සඳහා හොඳ තැනක් තියෙනව. සජිනි අප්සරා අපේ රටට තවමත් නුහුරු මේ කලාව ගැන උනන්දු වෙන්නෙ සරසවියේ අධ්‍යාපනය ලබන කාලෙ. ඇය එහි සාර්ථක ප්‍රතිපල නෙලාගන්නා අතරෙ තම උපාධියේ අවසන් පරීක්‍ෂණය වෙනුවෙන් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනව. එය මුලදි නම්කරන්නෙ ‘සංවාස’ නමින්. නමුත් එය අද එහි නිර්මාණශීලීභාවයේ බොහෝ වෙනස්කම් සිදුකරමින් ‘හයිනා ටවුන්’ නමින් රටවටා ප්‍රදර්ශනය කරන්න ඇය සූදානමින් ඉන්නව. මේ ඒ පිළිබඳව සජිනි සමග කළ කතාබහක සංක්‍ෂිප්තයයි.

ඔබේ නවතම වේදිකා නිර්මාණය ‘හයිනා ටවුන්’ ගැන කතා කළොත්?


මගේ පළමු උපාධිය නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදෑරීම සිදුකරන්නේ කැලණිය සරසවියේ. එහි අවසානයට කළ නිෂ්පාදනයක් හැටියට තමයි ටෙන්සීලියන්ගේ ඇමරිකානු රංග කාර්යයක් අනුවර්තනයක් විදිහට ගෙන එන්නේ. මුලින්ම විශ්වවිද්‍යාලයේ මේ නාට්‍ය නාට්‍ය අත්හදාබැලීමක් හැටියට නිර්මාණය කරල වේදිකාගත කළේ සංවාස නමින්. ටික කාලයකට පසුව මට හිතුනා ඒකම ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එන්න ඕනෑ කියලා. වර්තමානයේ පිටපත සහ නිර්මාණශීලීභාවයේ බොහෝ වෙනස්කම් කිහිපයක් සිදුකරලා තමයි හයිනා ටවුන් කියන වේදිකා නාට්‍ය නිර්මාණය සිදුකෙරෙන්නේ.

ළඟදීම නැවතත් හයිනා ටවුන් වේදිකාගත කරන්න සූදානම් වෙනවා නේද?


ඔව්, එළැඹෙන නොවැම්බර් මාසයේ 30 වැනිදා රෝයල් තියටර්හිදී වේදිකාගත කරන්න සූදානම් කරලා තියෙනවා.


සරසවි අවසන් උපාධියට කළ නිර්මාණය ආපහු වේදිකාවට ගෙන එන්න හිතුවේ ඇයි ?


කොරෝනා වසංගතය තිබුණු කාලේ මේක නිර්මාණය කරපු නිසා ගොඩක් දෙනකුට මේ නිර්මාණය නරඹන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මට ඇත්තටම මේක ඇතුළේ තියෙන කතාව සමාජගත කරන්න ඕනෑ. මේක මීට කලින් කරපු නිර්මාණයක්. හැබැයි ඊට පසුව ගොඩක් නිෂ්පාදන ආවා. මෑත කාලයේදීත් මම දැක්කා පරිවර්තනයක් විදිහට මෙහි නිෂ්පාදනයක් කරලා තියෙනවා. මම මේක නිර්මාණය කරන්නේ පරිවර්තනයක් විදිහට නෙමෙයි අනුවර්තනයක් විදිහටයි.


සජිනි බොඩි පේන්ටින් කලාවටත් සම්බන්ධයි කියල ආරංචියි?


සරසවියේදී මම ඇඳුම් නිර්මාණය ගැනත් හදාරලා තියෙනවා. ඔය අතරේ වේෂ නිරූපණය ගැනත් හදාරලා තියෙනවා වගේම විවිධ නාට්‍ය උළෙලවලට ඒ අංශයෙන් සම්බන්ධවෙලත් තියෙනවා. බොඩි පේන්ටින්වලට මම මූලික අඩිතාලම දමන්නේ ජයන්ත රණවක ගුරුවරයාගෙන්. ඔහු අපිට සරසවියේ දෙවැනි වසරේදී බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වෙනවා. එහිදී සර්ගෙන් තමයි මම මුලින්ම ෆේස් පේන්ටින් ගැන ඉගෙන ගන්නේ. ඒක දිගින් දිගටම කරගෙන ඇවිත් තනියම හැදෑරීම් පවා සිදුකළා. හැබැයි මම බොඩි පේන්ටින් කරන කාලේ හැමදේම තනියම හොයාගෙන කරන්නේ. පසුකාලීනව ජයන්ත රණවක සර්ගෙන් වෘත්තීය වේෂ නිරූපණ කලාව පිළිබඳ ඩිප්ලෝමාව හදාරනවා. මම හිතන විදිහට කාටවත් ඒ ආර්ට් එක අපිට උගන්වන්න බැහැ. කරන විදිහ කියලා දුන්නාට ඒක හිතන සහ අඳින විදිහ තව කාටවත් කියලා දෙන්න බැහැ. ඒකටත් මට අඩිතලාම වැටෙන්නේ විශ්වවිද්‍යාලයෙන්.


මේ වෙනකොට ෆේස් පේන්ටින් කලාවෙන් ඈත්වෙලාද?


ඇත්තටම ඕක මම තනියම කරන්නේ. බොඩි පේන්ට් එකක් කරන්න මට පැය ගාණක් යනවා. ඩීටේල් එහෙම හරියට පෙන්වන්න ඕනෑ හින්දා පාඩුවේ කරන්න ඕනෑ වැඩක්. හැබැයි පසුගිය කාලයේ රාජ්‍ය නාට්‍ය උළෙලේ, යොවුන් නාට්‍ය උළෙලේ වේෂ නිරූපණ වැඩකටයුතු හින්දා ටිකක් කාර්යබහුල වුණා. මේ කාර්යයේ නිරත වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේ කලාව කරනවා නම් හොඳ නිදහසක් තියෙන්න ඕනෑ .


ලංකාවේ තාරුණ්‍යය බොඩි පේන්ටින් කලාවට මොනවගේ නැඹුරුවක්ද තියෙන්නේ?


ඇත්තටම ලංකාවෙත් ඉල්ලුමක් තියෙනවා. හැබැයි ලෝකයේ වෙනත් රටවල මේ සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. බොඩි පෙන්ටින්, ෆේස් පෙන්ටින් වගේම හැලෝවින් වලට තරඟ පවා තියෙනවා. අන්තර්ජාලය හරහා සොයා බැලුවම බොඩි පේන්ටින්වලට වැඩමුළු පවා තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම එකක් නැහැ. කෙනකුට කියන්න පුළුවන් පේන්ට් එක හම්බවුණාට පස්සේ ඕක ඇඳලා දාන්න පුළුවන්නේ කියලා. නැහැ, ඒක එහෙම නෙමෙයි. ඒ අවස්ථාවට පෙනී සිටින කෙනාත් මම තරමටම මහන්සිවෙනවා. ඇත්තටම අපේ රටේ ඒ කලාව තවම දකින්න නැහැ. මේ රටේත් බොඩි පේන්ටින් කලාවට තැනක් හම්බවෙන්න ඕනෑ. ආට් එකට තැනක් ලැබිලා තිබුණාට බොඩි පෙන්ටින් එකට එහෙම තැනක් ලැබිලා නැහැ. ඒකෙන් මට හිතෙනවා කෙනකුට වෙනම ආදායමක් පවා ලබන්න පුළුවන් කියලා.


වේෂ නිරූපණ කලාවටත් ඔබ සම්බන්ධයි?


මම පසුගිය කාලයේ ළමා රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍ය කිහිපයකම වේෂ නිරූපණ ශිල්පිණියක් විදිහට කටයුතු කළා. ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධවෙලා තියෙනවා. ඔය අතරේ යූටියුබ් අවකාශයේ නිර්මාණවලටත් වේෂ නිරූපණයෙන් සම්බන්ධවෙලා තියෙනවා.


අලුත් වේදිකා නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවාද?


මම මේ දිනවල පිටපතක් ලියලා අවසන් කරල තියෙනවා. ඒ වුණාට හයිනා ටවුන් වේදිකා නාට්‍ය තවදුරටත් ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න ඕනෑ වගේම ඒ නාට්‍ය තවත් අධ්‍යයනය කරන්න ඕනෑ කියලයි හිතන්නේ.


හයිනා ටවුන් නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?


මට තවම දර්ශන වාර අවස්ථාවන් දෙකක් පමණයි ඉදිරිපත් කරන්න හම්බවුණේ. නාට්‍ය උළෙලවලට ඉදිරිපත් කරන්න නෙමෙයි මගේ බලාපොරොත්තුව. මට ඕනෑ වුණේ මේක රටවටා ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නයි. ඇත්තටම මට නාට්‍ය උළෙලවලට යන්න වුවමනාවක් නැහැ. හැබැයි මෙහි රඟපාන නළු නිළියන්ට අවස්ථාවක් උදාකරලා දෙන්න ඕනෑ හින්දයි නාට්‍ය උළෙලවලට පවා ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් කරන්නේ.


වේදිකා නාට්‍යයක් රටවටා ගෙනයෑමේදී මුහුණදෙන අභියෝග?


අපේ පසුතල ටිකක් විශාලයි. අගනුවරින් එපිට තියෙන්නේ විශාල රඟහල නෙමෙයිනේ. එතකොට ඒ වගේ වේදිකාවක් හොයාගෙන තමයි මෙහි පසුතලය ඉදිරිපත් කරන්න ඕනෑ. ඒක මට ලොකු අභියෝගයක්. එවැනි වේදිකාවක් තියෙනවාද කියලා අපිට නිතරම හොයාබලන්න වෙනවා. ඊළඟට ප්‍රවාහන පහසුකම් පිළිබඳ ප්‍රශ්නය. ඒ වගේම අපේ නළු නිළියන් ඉන්නවා තිහක් විතර. එතැනක් ලොකු පිරිසක්නේ. ඔවුන්ගේ පහසුකම් ගැනත් සොයාබලන්න ඕනා.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post