මිනිස්සු ඈත ගම් දනව්වල ඉඳලා ජීවිතයේ හීන සැබෑ කරගන්න කොළොම්තොටට එනවා. නමුත් බොහෝදෙනෙක් අන්තිමේ ඒ හීන පසෙකලා තමන්ගේ ජීවිතය අනතුරේ දාගන්නවා. පුංචි කාලෙ ඉඳල තමන්ගේ හීනය සැබෑ කරගන්න හද්දා පිටිසර කොත්මලේ ඉඳල අද අපේ කතානායක කොළඹ එන්නේම නළුවෙක් වෙන්න බලාගෙන. ඒ ආපු ගමනේදී නළු වෘත්තිය නොකර වෙන රස්සාවල් තිහ හතළිහක්ම මිනිහට කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔහු තමන්ගේ හීනය අතහැරියේ නැහැ. අන්තිමේ රටේ බහුතරයක් දන්න නළුවෙක් වෙලා තමයි නැවතුණේ. වෘත්තියෙන් ගුරුවරයෙක්, රංගන ශිල්පියෙක් වුණ කෝරළගේ සමන්ට, එළැඹෙන 18 වැනිදා ඉඳලා අපිට ආමන්ත්‍රණය කරන්න වෙන්නේ අධ්යක්ෂවරයෙක් කියලා. ඒකට හේතුව ඔයාල කියවන මේ කතාව ඇතුළෙ තියෙනවා.
කෝරළගේ සමන්, මොකක්ද මේ අමුතු දොස්තර?
අමුතු දොස්තර කෙනෙක් ඕනෑ කරන කාලෙක ආපු අමුතු දොස්තර කියලා අලුත් වැඩක්.
ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න හිතුවේ ඇයි ?
මම මේ කේෂ්ත්‍රයේ වැඩකරන්නේ නළුවෙක් විදිහට. මට ඕනෑවුණා අපි හැමෝම එකතුවෙලා අපි හැමෝටම දැනෙන විදිහේ වැඩක් කරන්න. ඒ වැඩේ හින්දමයි ජීවිතයේ පළමු වතාවට අධ්යක්ෂණ කාර්යයට යොමුවුණේ.
කවුද මේ අමුතු දොස්තර ?
ඇත්තටම අමුතු දොස්තර මම. තව ලංකාවෙ ප්‍රසිද්ධ නළු නිළියො වැඩි ප්‍රමාණයක් මේකට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම සුසිත් විජේමුණිගේ පිටපතක් තමයි මම අධ්‍යක්ෂණය කරන්නේ.
අමුතු දොස්තර පිටුපස ඉන්නේ කවුද?
මේ සමාජයෙ අපිට මේ මොහොතේ අවශ්‍ය කරන චරිතය තමයි ඇත්තටම මේක ඇතුළෙ ඉන්නේ. සමාජයක් මෙච්චර කාලසීමාවක් ගමන් කරලා රටක ඉතිහාසය වර්ණනා කර කර ඉඳල කිසිදෙයක් වෙලා නැති කාලයක, ඇත්තටම අවශ්‍යතාවයක් පැනනඟිනවානේ. අන්න ඒ මිනිසුන්ගේ හිත ඇතුළෙ ඉන්න අවශ්‍යතාවය තමයි ‘අමුතු දොස්තර’හි දොස්තරගේ චරිතය ඇතුළෙ තියෙන්නේ.
කොට මුහුණ දුන්න අභියෝග?
අභියෝග විතරයි තිබ්බේ. වෙන මොකුත් තිබ්බේ නැහැ. ඒක කාලගුණයෙන් වගේම දේශගුණයෙනුත් තිබ්බා. මිනිස් චරියාවන්වලිනුත් තිබ්බා. ඊට පස්සෙ ඒක මුදල් නෝට්ටු කතන්දරය ඇතුළෙනුත් මේක තිබ්බා. ඒ හැම එකකින්ම තිබ්බේ අර්බුද තමයි. අර්බුද කියලා අපිට ජීවිතයේ කිසිදෙයක් අතහරින්න බැහැනේ. ඒක තමයි අමුතු දොස්තර කියන කන්සෙප්ට් එකෙත් කතන්දරය. ඒක හින්දා අපි අතහරින්නේ නැතිව තවමත් කරගෙන යනවා.
මෙච්චර කල් සද්දෙ වහල හිටියේ අමුතු දොස්තර එළියට දාගන්නද?
එහෙම නැහැ. වැඩ ගොඩක් කළා. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක් තියෙනවානේ. ඒවා ඉදිරියේදී තිරගත වේවි. අමුතු දොස්තර කරලා දැන් අවුරුදු එකහමාරකට විතර කිට්ටු වෙන්න වෙනවා. නාලිකාවල තිබුණ ගැටලු එක්ක අපි මේකට අර්ථකථනයක් දෙන්න හොය හොයා හිටියා. අපිට අන්තිමේ ජාතික රූපවාහිනිය හමුවුණා. නිහඬව හිටපු කාලෙ ඇත්තටම වැඩකළා.
සමන් කියන අධ්යක්ෂවරයා ප්‍රේක්ෂකයා මොනවිදිහට භාර ගනීවි ද?
ඕඩියන්ස් එක අමුතු දොස්තර මොනවිදිහට භාර ගනීවි ද කියන කාරණාව තමයි මමත් මේ දවස්වල වැඩිපුර කල්පනා කර කර ඉන්නේ. නමුත් මම හිතනවා මිනිස්සු ඒක සුභදායී විදිහට භාර ගනීවි කියලා. මිනිස්සුන්ගේ හිත් ඇතුළෙ තියෙන කතන්දරයක් එළියට එන හින්දා ඒක මිනිස්සු ආදරයෙන් වැළඳගනීවි කියන විශ්වාසය මා තුළ දැඩිලෙස තියෙනවා. ඒක දැනගෙන තමයි මම මේ වැඩේ කරන්න එන්නෙත්.
කොත්මලේ ඉඳල කොළඹ ආපු ගමනේදී හීන හැබෑවුණා කියලා වගේ දැන් හිතෙනවා ද?
නැහැ. තවම හීන සැබෑ වෙලා නැහැ. ඇත්තටම මේකත් ලොකු හීනයක්. ඒ හීනය සැබෑ කර ගත්තාට තව සැබෑවෙන්න හීන ගොඩක් තියෙනවා. මේ රට ඇතුළෙ ඇත්තටම මේක ලොකු හීනයක්.
අමුතු දොස්තරට එකතුවන පිරිසවත් මතක් කළොත් ?
මේ සඳහා රංගනයෙන් කළණි fදාඩම්තැන්න, මැල්කම් මචාඩෝ, සේමිණී ඉද්දමල්ගොඩ, චරිත් සේනාධීර, ශ්‍යාම් ප්‍රනාන්දු, නිලංක දහනායක, සම්පත් ජයවීර, සුලෝචනා වීරසිංහ, ආලෝකා ගයාත්‍රි, ලක්ෂමන් මෙන්ඩිස්, චමිලා පීරිස් ආදී දැවැන්ත නළු නිළියන් පිරිසක් මේ නාට්‍යයට එකතු වෙනවා. කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති, නිෂ්පාදනයෙන් නිලන්ත කොටිකාවත්ත සම්බන්ධ වුණා. සංස්කරණයෙන් රංග සිංහාරගේ සහ චන්දන ප්‍රසන්න එකතු වුණා. සංගීත අධ්‍යක්ෂණයෙන් දේශාන් කුරුප්පු, වේෂ නිරූපණයෙන් මනමෙවන් රූපසිංහ දායක වුණා.
ෂූටින් කරපු කාලෙ අනතුරු කිහිපයකට මුහුණ දුන්නා කියලත් ආරංචියි ?
රූගත කරන කාලෙ වාහන අනතුරු කිහිපයකට මුහුණදීලා තියෙනවා. ඒ වගේම සමහර මිනිස්සුන්ගේ චර්යාවන්වල තියෙන ප්‍රශ්න හින්දා ලොකු මුදල් අර්බුද රැසකට මුහුණපෑවා.
රියැදුරුට නින්ද ගිහිල්ලා කලා අධ්‍යක්ෂකගේ ලොරියත් පෙරළිලා තිබුණා. ඊට පස්සෙ නිෂ්පාදන කළමනාකරුගේ මෝටර් රථයත් අනතුරට ලක්වුණා.
මේ දවස්වල මොනවද කරන්නේ ?
මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක සහ චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙනවා. ඔය අතරෙ පුබුදු චතුරංග අධ්‍යක්ෂණය කරන ‘මංමෝලා’ කියන වේදිකා නාට්‍යයට රංගනයෙන් එකතු වුණා. මේ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය තවම පැවැත්වුණේ නැහැ. ඔය අතරෙ ධර්මප්‍රිය ඩයස්ගේ ‘මම නෙමෙයි වෙන කෙනෙක්‘ කියන වේදිකා නාට්‍යයේ වැඩ කරගෙන යනවා.
කොළඹ ආපු එක හොඳයි ද ?
ලේසි නැහැ. මිනිස්සු අඳුරගැනීම සහ හුවමාරු කරගැනීම තමයි වැඩේ. ඇත්තටම කොළඹ ආපු ගමන ගැන සතුටුයි.
ඒ කාලෙ මුහුණ දුන්න අභියෝග එහෙම මතක් කළොත් ?
මට මතකයි අපි තරුණ බෞද්ධ නාට්‍ය උළෙල කරනකොට, ඒකෙදී වේෂ නිරූපණය සඳහා අපි භාවිතා කළේ හාඩ්වෙයාර්වලින් අරගත්තු ලැකර්. ඒව තමයි මුහුණේ ගාල තිබුණේ. මොකද ඒ කාලෙ අපිට ඒ ගැන ඒ තරම් දැනුමක් තිබුණෙත් නැහැ. සෝමලතා සුබසිංහ මිස් ඒක දැකල ඔළුවෙ අතගහගෙන ‘ගිහිල්ල හෝදගන්න’ කියලත් කිව්වා. ඒක මගේ ජීවිතයේ එක් සංධිස්ථානයක්. මොකද මට මතක හැටියට සෝමලතා සුබසිංහ මිස්, මුදියන්සේ දිසානායක සර් වගේම නිශ්ශංක දිද්දෙනිය තමයි විනිශ්චය මණ්ඩලයෙ හිටියේ. එතකොට ඉස්කෝලෙ පොඩි පන්තිවල.
එහෙම ගොඩනැඟිලා පසුකාලීනව මෙහෙම ඉන්න එක ගැන සතුටුයි. මාර එකක් නම් නැහැ, යම් මට්ටමකින් සතුටුයි. නිහතමානී සතුටක් කිව්වොත් තමයි හරිම වචනය.
කොළඹ ඇවිත් රස්සාවල් කීයක් විතර කළා ද?
කොළඹ ඇවිත් ඇත්තටම රස්සාවල් තිහක් හතළිහක් විතර කළා. ඔය අතරෙ ත්රීවිලර් දුවල තියෙනවා. කන්ටේනර් එලවල තියෙනවා. කොමියුනිකේෂන් කරල තියෙනවා. ඒ කාලෙ පැණි බිස්නස් කරලත් තියෙනවා. ඉස්කෝලෙ යන කාලෙත් ත්‍රීවීලර් දුවල තියෙනවා. ජීවිතය ගොඩනඟාගන්න සෑහෙන දේවල් කළා. ඒ හැකියාවන්, පුහුණුව හින්දයි ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන්ගත්තේ. අපිට අරමුණක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.
නළුවෙක් වෙනවා කියන අරමුණ ඒ කාලෙත් තිබුණා ද?
තිබුණා. තිබුණා. ඉස්කෝලෙ හයේ පන්තියේදී තමයි ඔය අදහස ආවේ. එතැන ඉඳලා අද වෙනකම් ඒ උණ අතහැරියේ නැහැ. අනික අපිට ඉස්කෝලෙදී තමයි ඒකට මූලික අඩිතාලම වැටුණෙ. ඒවත් එක්ක තමයි අපි ගොඩනැඟුනේ.
කොත්මලේ හිටියා නම් මොනවා කරාවි ද?
කොත්මලේ හිටියා නම් මම තේ වත්තක් කරාවි. නැතිනම් රියැදුරෙක් වෙලා ඉඳීවි.
කෝරළගේ සමන්ගේ ජීවිතයේ ඇතිවුණ මේ පෙරළිය ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ?
මම මේ ගමන අවබෝධ කරගෙන එන්නේ. ඒ හින්දා මට ඒක ඇතුළෙ නිහතමානී සතුටක් තියෙනවා. මගේ අරමුණ තිබුණෙ වැඩකරන්න. මේක ඇතුළෙ මට වැඩකරන්න ෆ්ලැට්ෆෝම් එකක් හැදිල තියෙනවා.
ගුරුවරයාගේ භූමිකාවට මොකද වෙන්නේ ?
ගුරුවරයාගේ භූමිකාවට මම හොඳ ඉඩක් වෙන්කරලා තියෙනවා. ඒ වෙනුවෙන් වැඩකරනවා. දරුවන් සමග කාලය ගතකරනවා. රංගනයත් එක්ක මොනතරම් කාර්යබහුල වුණත් පුළුවන් උපරිමයෙන් දරුවන්ගේ නුවණ පාදන්න කටයුතු කරනවා. දරුවන් එක්ක හිටියොත් විතරයි මේ රට අපිට හරියට දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟ පරපුර අතහැරියොත් එහෙම අපිට ඒවා දැකගන්න වෙන්නේ නැහැ. දරුවන් සමග කොහොමත් ඉන්නවා.
දිනේෂ් විතාන