ඔළුවට ලොකු බරක් දාගන්න කැමැති නැහැ – රොෂාන් පිලපිටිය

 


පාට කුරුල්ලෝ, රොකී, නෙලුනි යන ටෙලි නිර්මාණ හරහා ඔබ හමුවට එන රොෂාන් පිලපිටිය මේ දිනවල රිදී තිරය ඔස්සේ ද දැක ගැනීමට හැකිය. විශ්ම නමැති සිනමා නිර්මාණය ඔස්සේ ඔබ හමුවට එන රොෂාන් සමග ඔහුගේ කලා තොරතුරු ඔබ හමුවට ගෙන එන්න අපි අදහස් කළා.

රොෂාන් පිලපිටිය රිදී තිරයේ ආපහු පෙම්වතෙක් වෙලා නේද?


සංස්කරණ ශිල්පියෙක් විදිහට සෑහෙන කාලයක් වැඩ කරපු රන්දික විජේමාන්නගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක් වුණු ‘විශ්ම’ සිනමා නිර්මාණයේ තමයි මම පෙම්වතාගේ චරිතය රඟපාන්නේ. විශ්ම චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා.



කොහොමද ලැබෙන ප්‍රතිචාර?


තවම ටික දවසයි චිත්‍රපටය තිරගත වෙලා. ටිකක් වෙනස් ආකාරයේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.


බිරිඳ ‘විශ්ම’ නරඹලා මොනවද කිව්වේ?


එයාටත් ඒ ගැන සතුටුයි. වෙනස් කතා තේමාවක් හින්දා මිනිස්සු අතරට යනවා කියලා මටත් විශ්වාසයක් තියෙනවා.


රොෂාන්ට ලැබෙන්නේ වෙනස්ම චරිත නේද?


ඔව්. ඇත්තටම මට විවිධ චරිත රඟපාන්න හම්බ වෙනවා. ඒ හැම එකක්ම මම රඟපානවා. එක චරිතයකට කියලා මම කොටුවෙලා නැහැ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඉඳලා මම විවිධ චරිත නිරූපණය කරලා තියෙනවා. ලැබෙන ඕනෑම චරිතයක් මම අභියෝගයක් විදිහට භාර අරගෙන රංගනයේ නියැළෙනවා.


මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. හිරු නාලිකාවේ පාට කුරුල්ලෝ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඊට අමතරව සිරස නාලිකාවේ රොකී, ස්වර්ණවාහිනියේ නෙලුනි කියන ටෙලි නාට්‍ය ටික විකාශය වෙනවා. ඔය අතරේ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කරනු ලබන ‘සුදු ඇඳගෙන හොරු ඇවිදින්’ වේදිකා නාට්‍යයෙත් රඟපානවා. ඉතිං රට වටේ කොහේ හරි මේ නාට්‍යය රඟ දක්වනවා.


‘සුදු ඇඳගෙන හොරු ඇවිදින්’ වේදිකා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?


වෙනස්ම ආකාරයක දේශපාලනික වේදිකා නාට්‍යයක්. රටවටා යන ගමනේදී මේ වෙනකොට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ නාට්‍යය භාරගන්න කොට මම හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. අනික වේදිකා නාට්‍යයක ප්‍රතිචාර සජීවීව නරඹන්නත් පුළුවන්නේ. මේ වෙනකොට ‘සුදු ඇඳගෙන හොරු ඇවිදින්’ වේදිකා නාට්‍යයට ඉතා විශාල දර්ශන වාර ප්‍රමාණයක් ලැබිලත් තියෙනවා.


රොෂාන් වැඩිපුර කාලය වැය කරන්නේ වේදිකාවටද?


එහෙම දෙයක් නැහැ. මට ලැබෙන ආරාධනාවලට මම සාධාරණයක් ඉෂ්ට කරනවා. වේදිකා නාට්‍ය සමග සති අන්තයේ තමයි ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන්නේ. මොකද වේදිකා නාට්‍ය දර්ශන වාර පවත්වන්නෙත් සති අන්තයේ විතරයිනේ. අනෙක් දවස්වල ටෙලි නාට්‍යවලට මූලිකත්වය ලබාදෙනවා.


‘විශ්ම’ සිනමා නිර්මාණය භාරගන්න හිතුවේ ඇයි?


ඒ පිටපතට මම මුල ඉඳලම කැමැතියි. වෙනස්ම ආකාරයේ පිටපතක්. අනික මෙහි අධ්‍යක්ෂ රන්දික ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් සංස්කරණය කරලත් තියෙනවා. ඔහුගෙන් ලැබුණු ආරාධනාවකට තමයි විශ්ම චිත්‍රපටයට සම්බන්ධ වුණේ. රන්දිකගේ පළමු සිනමා නිර්මාණය වුණාට ඔහුට තිරයෙන් පිටුපස අත්දැකීම් රැසක් තියෙනවා.


රොෂාන් සංගීතයටත් ළැදියි කියන්නේ ඇත්තද?


ඔව්. මම මුල් කාලයේදී බෑන්ඩ් කණ්ඩායමක සාමාජිකයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. ඒ හින්ද සංගීතය පිළිබඳව යම් ප්‍රමාණයක දැනුමක් තියෙනවා.


දැන් සංගීතයෙන් ඈත්වෙලාද?


ඔව්. ඒ කාලේ විනෝදයට වගේ කළාට පූර්ණ කාලීනව සංගීතයේ නියැළෙන්න අදහසක් තිබුණේ නැහැ.


මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?


මොනවත් ලොකු විශේෂයක් නැහැ. ඇත්තටම සතුටුයි. පාඩුවේ ලැබෙන දේ කරගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට මට විවිධ චරිතවලට ආරාධනා ලැබෙනවා.


ඒ කාලේ ලැබුණු අභියෝග අද වෙනකොට දකින්නේ කොහොමද?


එහෙම එකක් නැහැ. මම හරි මධ්‍යස්ථව ජීවත්වෙන්නේ. කඩාගෙන බිඳගෙන යන ගමනක් නෙමෙයි මට තියෙන්නේ. හරිම මධ්‍යස්ථව ජීවිතය විඳිමින් ඉන්නවා.


මෙතෙක් ඔබට ලැබුණු විවිධ චරිත ගැන කතා කළොත්?


විවිධ චරිත රඟපාන්න මම හරි ආසයි. ඒ ගැන මම හරි සතුටින් ඉන්නේ. මොකද මට නිතරම වගේ එකිනෙකට වෙනස් චරිත ලැබෙනවානේ.


චරිත රඟපාන්න ගිහිල්ලා මිනිස්සුන්ගෙන් බැණුම් අහපු අවස්ථාත් තියෙනවද?


එහෙම තියෙනවා. ඒ කාලේ මම රඟපෑවා මත්ද්‍රව්‍ය භාවිතා කරන චරිතයක්. හැමෝම හිතුවේ මම ඇත්තටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඇති කියලත්. ඔය හැමදේම සතුටින් භාරගන්නවා ඇරෙන්න ඕනෑවට වඩා කිසිදෙයක් මම හිතන්නේ නැහැ.


අධ්‍යක්ෂණයට අතගැසීමට අදහසක් නැතිද?


නැහැ. මම අධ්‍යක්ෂණයට අතගසන එකක් නැහැ. මම හිතනවා මට ඒක කරන්න බැහැ කියලා. අධ්‍යක්ෂණය කියන්නේ ලොකු භාරදූර කටයුත්තක්. ඒ තරම් මහන්සි වෙන්න කැමැති නැහැ. මොකද මම කැමැති නැහැ ඔළුවට ලොකු බරක් ගන්න. මම කැමැති නිදහසේ ඉන්න.


ජීවිතයේ වැඩිපුර කාලය යොමු කරන්නේ රංගනයටද?


ඇත්තටම කාලය වැඩිපුර යොමු කරන්නේ පවුලත් එක්ක සතුටින් ඉන්න. බිරිඳ සහ දරුවා එක්ක ඉන්නයි මම කැමැති. ඒ වගේම චිත්‍රපට නරඹන්න, පොත් කියවන්නත් කැමැතියි. සමාජ මාධ්‍යවල පවා මම ක්‍රියාකාරී චරිතයක් නෙමෙයි. වයිෆ් තමයි මගේ මුහුණුපොත පවා කරගෙන යන්නේ. මම කරන වැඩ දාන්න ඕනෑ හින්දයි ඒකත් කරන්නේ. මොකද මගේ පුද්ගලික වැඩ ඒකට එකතු කරන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් ගොඩක් කාලය වැය කරන්න මට වෙලාවක් නැහැ.


දිනේෂ් විතාන




Previous Post Next Post