ජගත් චමිල වේදිකාවේත් පුංචි තිරයේත් රිදී තිරයේත් අස්සක් මුල්ලක් නෑර කරක් ගැසූ, අති දක්ෂ, සම්මානනීය ජනප්‍රිය කලාකරුවෙක්. කලා ක්ෂේත්රයට පය තැබූ දා සිට අද දක්වාම ඔහුගේ ජනප්‍රියත්වය සහ දක්ෂතාවය දවසින් දවස වැඩි වුණා මිස දශමයකින්වත් අඩු වුණේ නැහැ. ඒ නිසාම කලා ක්ෂේත්රයට මොනතරම් අලුත් මුහුණු එකතු වුණත් ජගත් චමිලගේ වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඉතින් මේ අති දක්ෂ කලාකරුවා පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් මේ දිනවල අපට නිතරම මුණගැහෙනවා. තවත් විදිහකට කියනවා නම් ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන සින්ටෝ ටෙලිනාට්‍යයෙන් වගේම පාස්පෝට් සහ ශ්‍රී සිද්ධා සිනමා නිර්මාණ හරහා මේ දිනවල ජගත් චමිල ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා.
ජගත්, මේ දවස්වල වෙනදාට වඩා කාර්යබහුලයිද?
ඕනෑම කෙනෙක් කාර්යබහුල වෙනවා නම් හොඳයිනේ ඉතින්. ඇත්තටම මට අමුතු කාර්යබහුලත්වයක් නෑ. සුපුරුදු පරිදි සාමාන්‍යය විදිහට වැඩ ටික කරගෙන යනවා. පහුගිය කාල වකවානුව තුළ රට තිබුණු තත්ත්වයත් එක්ක කලා නිෂ්පාදන කටයුතු වුණේ ඉතාමත් අඩුවෙන්. ඒත් දැන් ඒ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. ඒ නිසා මමත් හුරු පුරුදු විදිහට ටෙලි නාට්‍යය, වේදිකා නාට්‍යය සහ සිනමාවේ වැඩ ටික කරගෙන යනවා.
මොනවාද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශනය වන සින්ටෝ ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්නවා. තවත් අලුත් නිර්මාණ දෙකක වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව සිහින ගෙනෙනා කුමාරියේ, අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙනවා. ඒ වගේම පාස්පෝට් සහ ශ්‍රී සිද්ධා චිත්‍රපට රංගනය වෙනුවෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
"සින්ටෝ" මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රියයි නේද?
සින්ටෝ කියන්නේ මිනිස්සු කතා කරන්න බය ඒත් කතා කළ යුතුම මාතෘකාවක්. සායක්කාර කියන්නේ ඒ වගේ මාතෘකා ගැන කතා කරන ටිකක් දඩබ්බරකාර චරිතයක්. සායක්කාරගේ දඩබ්බරකාරකම් තියෙන්නේ නිර්මාණකරණය වෙනුවෙන්ම තමයි. ඔහුට ඔහුගේ නිර්මාණ කාර්යය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඔහු දඩබ්බරයි. සින්ටෝ කියන මාතෘකාව එළියට අරගෙන එන්නේ ඒ දඩබ්බරකාරකමම තමයි. ඇත්තටම මේ කතාවේ හොඳම දේ ටෙලිනාට්‍ය විකාශනය වෙන එක නෙමෙයි. වඩාත් වැදගත් වෙන්නේ මේ ටෙලිනාට්‍ය විකාශනය වූ පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් තුළ ගොඩනැගෙන කතිකාවයි.
ඇයි ඔබ එහෙම කියන්නේ?
අපේ සමාජය තුළ කතිකාවට ලක්කළ යුතු කාරණා බොහොමයක් සින්ටෝ ටෙලිනාට්‍ය තුළ ගැබ් වෙලා තියෙනවා. ඒත් තවමත් ඒ මාතෘකාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ. "අපිටත් මේ වගේ අත්දැකීම් තිබිලා තියෙනවා, ඒ දේවල් සම්බන්ධයෙන් නිර්මාණයක් හරහා හෝ කතා කිරීම ඉතාමත් වටිනවා, මෙවැනි නාට්‍යයක් විකාශනය ඉතාමත් හොඳයි" ආදී වශයෙන් ප්රේක්ෂකයන්ගෙන් සින්ටෝ ටෙලි නාට්‍යයට විවිධ ප්‍රතිචාර ලැබෙනවා.
සින්ටෝ තුළ ඔබේ චරිතය ගැනත් කතා කරමු?
සින්ටෝ තුළ තියෙනවා වගේ සිදුවීම් ඕනෑ තරම් සමාජය තුළ තියෙන්න පුළුවන්. වැඩිමල් දියණිය පෝරුවට නගින්න හදන වෙලාවේ ඒ අම්මටයි තාත්තටයි තව දරුවෙක් උපදින්න ඉන්න සිදුවීම උදාහරණයකට අරන් බලන්නකෝ. ඇත්තටම මේ වැනි ස්වභාවිකව සිදුවන දේවල්වලට කාටවත් තහංචි දාන්න හෝ නීති රීති අණ පනත් ගේන්න හැකියාවක් නැහැනේ. යහපත් විදිහට සිද්ධවන මානුෂීය සම්බන්ධතාවලට, ආදරයට, මනුෂ්‍ය හැඟීම්වලට බාධා කරන්න කාටවත් අයිතියක් නෑ. හැබැයි ඒවායින් කාටහරි කරදරයක් වෙනවා නම් එතැනදි යම් ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාව තියෙනවා. සමහර දේවල් ලැබෙන විදිහටම භාරගන්න අපට සිද්ධ වෙනවා. එතැනදී ඇතිවන අර්බුද සියල්ලම අපිට විසඳන්න වෙන්නෙත් මනුෂ්‍යත්වයෙන්ම තමයි. එවැනි ගුණාංග කැටි වූ චරිතයක් තමයි මම සින්ටෝ තුළ කරන්නේ. ඉතින් ටෙලිනාට්‍යයට වගේම මගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
ශ්‍රී සිද්ධා සහ පාස්පෝට් චිත්‍රපටය ගැන කතා කරමු?
ඇත්තටම ශ්‍රී සිද්ධා චිත්‍රපටය ගැන වගේම මගේ චරිතය සම්බන්ධයෙනුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඇත්තටම මේ මොහොතේ මම රංගනයෙන් දායක වන පාස්පෝට් චිත්‍රපටයත් තිරගත වෙමින් තියෙන්නේ. ඒ නිසා බොහෝ ප්‍රේක්ෂකයන් ශ්‍රී සිද්ධා සහ පාස්පෝට් කියන නිර්මාණ දෙකෙහි මගේ චරිත සංසන්දනය කරමින් කතා කරනවා.
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ මගේ චරිතය ටිකක් හාස්‍යය පැත්තට නැඹුරුයි. ඒ ගැන බොහෝ ප්‍රේක්ෂකයන් කතා කරනවා. ඒත් පාස්පෝට් චිත්‍රපටයේ මම කරන්නේ ඊට වඩා වෙනස් චරිතයක්. කොහොම වුණත් ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ මගේ චරිත නිරූපණය ගැන මම ඉතාමත් සතුටින් ඉන්නේ. ප්‍රේක්ෂකයනුත් ඒ ගැන ලොකු සතුටකින් ඉන්නේ කියලා ලැබෙන ප්‍රතිචාරවලින් මට තේරෙනවා.
ශ්‍රී සිද්ධා බලද්දී මීට අවුරුදු ගණනාවකට කලින් ජගත් චමිල ගාමණී චිත්‍රපටයේ කළ ග්‍රාමාරක්ෂකයාගේ චරිතය මතක් වුණා කියලා සමහර ප්‍රේක්ෂකයන් කියනවා නේද?
ඇත්තටම පිටපතේ තිබූ දේටත් වඩා අධ්‍යක්ෂකවරයා සමග සාකච්ඡා කරලා මනා අවබෝධයකින් තමයි ශ්‍රී සිද්ධා තුළ මගේ චරිතය හාස්‍ය දනවන චරිතයක් හැටියට නිර්මාණය කළේ. ගාමණී චිත්‍රපටයේදීත් වුණේ ඒ වගේම දෙයක්. ගාමණී චිත්‍රපටයේදී කතා කරන්නේ යුද්ධය වගේ හරිම ඛේදනීය මාතෘකාවක්. එහිදී අනෙක් හැම චරිතයක්ම බොහොම බැරෑරුම් විදිහට දිගහැරෙද්දි මගේ චරිතය නිර්මාණය වෙලා තිබුණේ. ප්‍රේක්ෂකයන්ගේ මනසට පොඩි විවේකයක් ගෙන එන්නයි. ගාමණී චිත්‍රපටයේදී ග්‍රාමාරක්ෂකයාගේ චරිතය ඒ විදියට හාස්‍ය උපදවන ආකාරයෙන් නිර්මාණය කළේ හිතා මතාම තමයි. ශ්‍රී සිද්ධා තුළ මගේ චරිතයත් ඒ වගේමයි. ඕනි නම් ඒ චරිතයත් බොහොම බැරෑරුම්ව කරන්න පුළුවන්. ඒත් එහෙම වුණොත් චිත්‍රපටය රසවත් නිර්මාණයක් වෙන්නේ නෑනේ. ගැඹුරු හරවත් සමාජ පණිවුඩයක් වගේම යම් වින්දනයකුත් ප්‍රේක්ෂකයන්ට ලබාදිය යුතු නිසා තමයි සරත් වීරසේකර සර් එක්කත් කතා කරලා අපි ඒ චරිතයට වෙනම හැඩයක් එකතු කර ගත්තේ. ඒ චරිතය අද වෙද්දි ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. මම හිතන්නේ අපි හැමෝම එකතුවෙලා ගත්ත උත්සාහය සාර්ථකයි. ඒ ගැන සතුටුයි.
පාස්පෝර්ට් චිත්‍රපටය ගැන ජගත්ට මොකද හිතෙන්නේ ?
පාස්පෝට් කියන්නෙත් මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම කතාබහට ලක්වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන කතා කරද්දී අනිවාර්යෙන්ම ක්‍රිස් ඇන්ටනී අධ්‍යක්ෂකවරයාව මතක් කළ යුතුමයි. ඔහුට කවුරුත් කිසිම දෙයක් මල් වට්ටියක් උඩ තියලා ගෙනත් දුන්නේ නැහැ. චිත්‍රපටය හදන කාලවකවානුවේ වගේම පෙන්වන කාලවකවානුවේත් බොහෝ අභියෝග තිබුණා. ඒත් ක්‍රිස් ඇන්ටනි කවදාවත් තමන්ගේ උත්සාහය අත්හැරියේ නැහැ. ඔහු ඔහුගේ අරමුණ වෙනුවෙන් හැම මොහොතකම වැඩ කළා. ඒ නිසාම ජය ගත්තා. පාස්පෝට් චිත්‍රපටය තුළින් මම දකින ප්‍රධානම කාරණාව ඒක තමයි.
පාස්පෝට් චිත්‍රපටය තුළ හාස්‍ය, ත්‍රාසය භීතිය වීර රසය ආදී හැම රසයක්ම කැටි වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මේ චිත්‍රපටය බයිස්කෝප් කලාව නියෝජනය කරන පවුලේ චිත්‍රපටයක් බවට පත්වෙන්නේ. ඉතින් ඒ චිත්‍රපටයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන කතා කරද්දිත් ලොකු ආඩම්බරයක් දැනෙනවා.
ජගත් දැන් වේදිකාවට සමු දීලද?
නැහැ. සුපුරුදු විදියටම වේදිකා නාට්‍යවල වැඩ කටයුතුත් කරනවා. මේ දිනවල සරත් කොතලාවල අයියගේ නරි බුරති, චාලක රණසූරියගේ මාරක ළිඳේ සවාරියක් වගේම අසංක සායක්කාරගේ වැඩිහිටියන්ට පමණයි කෙටි නාට්‍ය තුනට සම්බන්ධ වෙලා වැඩ කරනවා.
ඔබේ රංගන ජීවිතයේ පටන් ගැන්ම ගැනත් මතක් කරමුද?
මට මේ කලා ක්ෂේත්රය ගැන ආසාවක් ඇතිවුණේ පාසල් අවධියේමයි. ඒ නිසා පාසල් වේදිකාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. 1986 මම සමනල කන්ද කියන නාට්‍යයට සම්බන්ධ වුණා. 1989 නිර්මාණය වූ ගුරු ගෙදර කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටය. එතකොට මම අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා හිටියේ. පාසල් වේදිකාවෙන් පසුව බාහිර සමාජයට ඇවිදින් වේදිකා නාට්‍යවලට ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් සම්බන්ධ වුණා. මට හිතෙන විදිහට මම අවුරුදු තිහකට එහා ගිය කාලයක් ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් එක්ක මේ කලා ජීවිතය ගතකරනවා.
ආපස්සට හැරිලා බලද්දි ඒ අවුරුදු තිහක කාලය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හරිම සතුටුයි. මේ ගමනේ සාර්ථකත්වය අසාර්ථකත්වය මැනගන්න පුළුවන් වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරත් එක්කනේ. මට ප්රේක්ෂකයන්ගෙන් ලොකු ආදරයක් ලැබෙනවා. ජගත් චමිල කියන රංගන ශිල්පියා ගැන ප්‍රේක්ෂකයන්ගේ හිතේ ලොකු හැඟීමක් තියෙනවා කියලා මට හිතෙනවා. ප්රේක්ෂකයන්ගෙන් එහෙම ආදරයක් ලැබෙනවා කියන එකම ලොකු වාසනාවක්.