නයෝමිගෙ හදගැස්ම වැඩිවෙලා

 



ගෙදරින් බලකරන නිසා නයෝමි මුලින්ම තෝරාගන්නෙ බැංකුවේ රැකියාවක්. ඒත් ඇය ආසාවෙන් හිටියෙ රංගන ශිල්පිනියක් වෙන්න. කොහොම වුණත් අවසානයේ ඇය ඇයගේ හීනයට යනව. මේ දිනවල තිරගතවන ‘හදගැස්ම’ චිත්‍රපටයෙන් නයෝමිගේ රංගනයන් ඔබට දැකබලාගන්න පුළුවන්.

මේ මීවිත නයෝමි පීරිස් සමග කළ කතාබහක්.

කවුද මේ නයෝමි පීරිස්?


මගේ ගම වත්තල. පාසල් ගියේ වත්තල ගුඩ් ෂෙපඩ් කන්‍යාරාමයට. අම්මා, සහෝදරියක් සහ සහෝදරයෙක් මට ඉන්නව. රැකියාව කළේ බැංකු ක්‍ෂේත්‍රයේ. කලාව කියන්නෙ පුංචි කාලෙ පටන් මම කැමතිම දෙයක්. ගෙදරින් බල කළ නිසාම බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවකට ගියාට අවසානයේ මම කැමතිම තැන මම නතර වුණා.



ඉදිරියේදී ඔබ රිදී තිරයේ දකින්න ලබෙනව?


ඔව්, චිත්‍රපටයේ නම ‘හදගැස්ම’. මෙහි මට ලැබුණෙ ගොඩක් දෙනෙක් අකමැති, වෛර කරන චරිතයක්. නමුත් මම ආසාවෙන් ඒක කළා.


මේ චරිතය සහ කතාව ගැන යමක් කිව්වොත්?


ඕනෑම චරිතයක් කරද්දි අපේ ජීවිත තුළත් ඊට සමාන චරිත ලක්‍ෂණ තිබුණොත් ඒ චරිතය ඉතාමත් සාර්ථකව කරන්න පුළුවන් වෙනව කියල මම විශ්වාස කරනව. අපි මේ චිත්‍රපටයෙන් කතාකරන්නෙ සෑම ගෙදරකම වගේ තියෙන ප්‍රශ්න. එදිනෙදා යන ප්‍රවෘත්තිවලින් පවා මෙවැනි කතා අපිට ඕනෑ තරම් අහන්න පුළුවන්. ඒ නිසා මට මේ චරිතය ඉතාමත් ලෙහෙසියෙන් කරන්න පුළුවන් වුණා කියල මම විශ්වාස කරනව.


නිර්මාණය තුළ කවුරු එක්කද ඔබට වැඩිපුර රඟපාන්න ලැබුණෙ?


මේ නිර්මාණයේ මම වැඩිපුරම රඟපෑවෙ අර්ජුන කමලනාත් අයියත් එක්ක. මම රඟපාන්නෙ ඔහුගෙ නංගිගේ චරිතය.


මෙහි ඔබේ චරිතය වෙන්නෙ ‘සමාධි’. කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?


‘හදගැස්ම’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන අකිල සඳකැළුම් අපේ පවුලේ හිතවතෙක්. මගේ පෙර නිර්මාණවල චරිතත් සමග බලද්දි මේ චරිතයට සුදුසුම කෙනා මම කියල ඔහු තීරණය කරල තියෙනව. ඒ අනුව තමයි මට මේ ආරාධනය ලැබෙන්නෙ.


මේ ඔබගේ පළමු චිත්‍රපට රංගනය. ‘හදගැස්ම’ තුළ ඔබේ හදගැස්මත් යම් තරමකට ඉහළ යන්න ඇති?


මට රඟපාන්න තිබුණෙ ප්‍රවිණයන් සමග. එතැනදි ඇත්තටම බයක් දැනුණා. නමුත් හැමෝගෙන්ම ලැබුණ ලොකු සහයෝගයක් එක්ක චරිතය සාර්ථකව කළා කියල මම විශ්වාස කරනව.


රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?


අපි දින දොළහක් දහතුනක් පමණ රූගතකිරීම් සිදු කළා. මුලදි මට දුන්නෙ පොඩි පොඩි සීන්ස්. අවසාන දවස් වන විට තමයි හොඳම ටික තිබුණෙ. එතැනදි මේකප් දාල බොහෝ වේලාවක් බලාගෙන ඉන්නව අපේ වාරය එනතුරු. එහෙම දවසක්ම හිටියත් සමහරවිට තියෙන්නෙ එක සීන් එකයි. අපි අලුත් නිසා අධ්‍යක්‍ෂවරයා කළේ ටිකෙන් ටික චරිතයට හුරුකරන එක.


නයෝමි බැංකුවේ රැකියාව අතහැරල රඟපෑම තෝරාගන්නව?


අපි හැමෝම මොනව කළත් ගොඩක් වෙලාවට අන්තිමට නවතින්නෙ අපි කැමතිම තැනනෙ. නමුත් ගෙදර අය කැමතියි හොඳට ඉගෙනගෙන හොඳ වෘත්තියක් කරනව දකින්න. ඒ මොන දේ වුණත් අවසානයේ අපිට උරුම තැන වගේම අපි ආසම තැන තමයි නතර වෙන්නෙ. ඒ දේ තමයි මටත් සිද්ධ වුණේ.


දැන් ඔබේ වෘත්තිය රංගනයද?


මම දැනට මගේම ව්‍යාපාරයක් කරගෙන යනව. ඒකත් එක්කම වෘත්තිය විදිහට රඟපෑම කරන්න හිතාගෙන ඉන්නව.


කොහොමද ගෙදරින් ලබෙන සහයෝගය?


මගේ අම්මයි තාත්තයි දෙන්නම චිත්‍රපට නරඹන්න ගොඩක් කැමතියි. මගේ තාත්තට වෙනම කාමරයක් තියෙනව. ඒක පුරවල තියෙන්නෙ ඉස්සර තිබුණ ඩෙක් පීස්. ඒ නිසා දෙන්නගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනව.


අලුත් ආරාධනා ලැබුණද?


ඔව්, මේ චිත්‍රපටයේ ෂූටිං ඉවරවෙනවාත් එක්කම ආරාධනා කිහිපයක් ලැබුණා. නමුත් මම කල්පනා කළා මුලින්ම මේ සිනමා නිර්මාණයෙන්ම එළියට එන්න තිබුණා නම් හොඳයි කියල. නමුත් ඉදිරියේදී හොඳ නිර්මාණ තෝරාබේරාගෙන භාරගන්න අදහස් කරනව.


මීට කලින් සම්බන්ධ වුණ නිර්මාණ මොනවද?


මම ගොඩක් වෙලාවට සම්බන්ධ වුණේ එකාංගික ටෙලි නාට්‍යවලට. දෙරණ ටීවී එකේ දිලුක ප්‍රසාද් අයියගෙ ඩ්‍රාමා එකක තමයි මම මුලින්ම ඇක්ට් කළේ. ඉන් පස්සෙ අකල සඳකැළුම් අයියගෙ ඉන්දීවරී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවා.


ඉදිරියේදී චිත්‍රපටවලට විතරක් සම්බන්ධ වෙන්නද අදහස් කරන්නෙ?


එහෙම දෙයක් නැහැ. නමුත් මම කැමතියි එකිනෙකට වෙනස් චරිතවලට. එහෙම විවිධත්වයක් අපි තුළ තියෙන්න ඕනා. එහෙම නොවුණොත් වෙන්නෙ එකම චරිතයකට අපිව කොටුවෙන එක. ඒ වගේ චරිත ලැබුණොත් ටෙලි නාට්‍ය වුණත් මම කැමැත්තෙන් භාරගන්නව.


කැපිලි කෙටිලි තිබුණද?


අපෝ ඔව්, ඕනෑ තරම් තිබුණා.


රඟපෑම අත්හරින්න තරම් හිතුන අවස්ථාත් ඇති එහෙනම්?


ඔව්, එහෙම අත්දැකීමක් තියෙනව. එදා මම ගෙදර ඇවිත් හොඳටම ඇඬුව වගේම චරිතයත් වෙන කෙනකුට භාර දුන්නා.


නිවේදනය අතහැරලද?


නිවේදන කටයුතුවලින් ඈත් වෙලා නැහැ. නමුත් ඉදිරියට නිවේදනයට සම්බන්ධ වෙන්න නම් අදහසක් නැහැ.


ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනා අඩුවක් නැතිව ඇති?


ඔව්, ආදර යෝජනා නම් ලැබෙනව. නමුත් අපි අපේ ජීවිතයේ වැදගත්ම දේවල් හොඳින් තෝරාබේරා ගන්න ඕනනෙ. ඒ නිසා දැනට මම ඒ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් නැහැ.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post