ඉස්කෝලෙදි රුවනි වෙන්නෙපා කියලා යාළුවෝ කියනවා-මිනුෂි හිමංසා

 



අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ කටකාර චරිතයකින් ප්‍රේක්ෂකයා අතරට මේ පුංචි කටකාරිය රසික හදවත් තුළ නොමැකෙන මතක ගොන්නක් එකතු කළා. ටෙලිනාට්‍ය පුරාවට පොඩි පොඩි රණ්ඩුවලින් රසික හදවත් දිනාගත් මේ පුංචි රංගන ශිල්පිනිය නමින් මිනුෂි හිමංසා. ඇය රංගන දිවියේ සොඳුරු අත්දැකීම් හදගැස්ම සමඟින් බෙදා ගත්තේ මෙලෙසිනි. ආයුබෝවන් මිනුෂි, මේ දිනවල මොකද කරන්නේ?


මම මේ දිනවල අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ෂූටින් යනවා. වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙනවා.


දුවගේ පෞද්ගලික විස්තර ටිකක් කියමුද?


මගේ නම එම්.ඒ. මිනුෂි හිමංසා. මම අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ  අට ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මගේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි.


දුවට රංගනයට අවස්ථාව ලැබුණෙ කොහොමද?


අපේ ගමේ සහන් රන්වල සර්ගේ ඩ්‍රාමා ක්ලාස් එකෙන් තමයි මට මුලින්ම වෙළෙඳ දැන්වීමක රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඉන් පස්සේ ෆේස්බුක් එකේ තිබුණ පෝස්ට් එකකට අනුව ඔඩිෂන් එකට සම්බන්ධ වුණා. ඒ ඔඩිෂන් එකෙන් පස්සේ අකුරට යන වෙලාවෙ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍ය තුළ දුවගේ චරිතය ගැනත් කතා කරමු?


අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍ය තුළ මම රඟපාන්නෙ රුවනි කියන චරිතයට. රුවනි කියන්නේ ගොඩක් කේන්ති යන නපුරු චරිතයක්. අසාධාරණය දැක්කම තරහා යන චරිතයක්. කට්ටිය මට කතාවට කියන්නේ රුවනි කියලා නෙවේ කටුස්සි කියලා. ඉතින් ටෙලි නාට්‍යයේ  ගොඩක්ම තිබෙන්නෙ ළමයි එක්ක රණ්ඩු වෙන සිදුවීම්.


අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ‘රුවනිට’ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමු?


මම පාරේ යන විටත් කට්ටිය ෆොටෝ ගහනවා.  ටෙලි නාට්‍යයේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා එහෙමත් ගොඩක් කට්ටිය අහනවා.  මම රඟපානවා හොඳයි කියලත් කියනවා. ටෙලි නාට්‍යයේ සිටින බුංජට වැඩිය බනින්න එපා, එයා එක්ක රණ්ඩු කරන්න එපා කියලත් කියනවා.


මිනුෂි රංගනයෙන් දායක වන වෙනත් නිර්මාණ ගැනත් කියමු?


See you ටෙලි නාට්‍යයේ, සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ, සිහිනයකි මේ ආදරේ  ටෙලි නාට්‍යයෙත් රංගන කටයුතු කළා. හිරු ටෙලි සිනමා සිත්තම්වලත් රංගනය කළා.


රංගනයට පාසලෙන් ලැබෙන සහයෝගය මොනවගේද?


මගේ පාසලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම රඟාපානවට ගුරුවරු ගොඩක් කැමැතියි. මට හෙට ෂූටින් තිබෙනව නම් ටීචර්ස්ලා මට හෙට කරන්න තිබෙන පාසල් වැඩ ටික අද දවසෙ කරන්න දෙනවා. ඉතින් ටීචර්ලා, සර්ලා රංගන කටයුතුවලට ලොකු  සහයෝගයක් දෙනවා. පාසලේ යාළුවොත් මට නෝට්ස් දෙනවා. සමහර වෙලාවට මම ඉල්ලන්නත් කලින්ම එයාලා නෝට්ස් එවනවා. මම රඟපානවා හොඳයි කියලා යාළුවොත්


කියනවා. ඔයා පාසලේදිත් රුවනි වගේ හැසිරෙන්නෙ කියලත් කියනවා. කතාවෙ රුවනි වුණාට පාසලේදී රුවනි වෙන්න එපා කියලා යාළුවෝ කියනවා. විශේෂයෙන්ම කොරතොට දහම් පාසලේ විජේරත්න සර්ට, පොඩි හාමුදුරුවන්ට, ගුරුවරුන්ටත් ස්තුති කරන්න ඕනෑ. මොකද මට ෂූටින් වැටුණාම සමහර දවස්වලට මාසෙම දහම් පාසල් යන්න වෙන්නේ නැහැ. ඉතින් දහම් පාසලේ ටීචර්ස්ලාත් වට්සැප් එකට නෝට්ස් දාලා උදවු කරනවා.


මිනුෂි පාසල් වැඩ සහ රංගනය සමබර කර ගන්නේ කොහොමද?


මම උදේ ෂූටින් ගිහින් රෑට ගෙදර ආවට පස්සේ නෝට්ස් ලියනවා. ඉන් පස්සේ පහුවැනිදා පාසලට ගිහින් ඉතුරු නෝට්ස් සම්පූර්ණ කරනවා. සමහර දවස්වලට උදේ පාසලට ගිහින් හවස  ෂූටින්වලට  යනවා.


රංගන කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද?


තාත්තා කමියුනිකේෂන් එකක් කරනවා. ඉතින් තාත්තා සමහර දවස්වලට මාව ෂූටින් ගිහින් දානවා. මල්ලිටයි මටයි දෙන්නටම ෂූටින් තිබෙන දවස්වලට අම්මගෙ යාළුවෝ මල්ලිව ෂූටින්වලට එක්කගෙන යනවා. මාව අම්මා ෂූටින්වලට එක්කගෙන යනවා. අපේ ගෙවල් ළඟ දිනූෂා කියලා අක්කා කෙනෙක් ඉන්නවා. එයත් මට ගොඩක් උදවු කරනවා. ෂූටින් නිසා පාසල් යන්න අතපසු වෙන වෙලාවට ඒ අක්කා මට පාසල් වැඩ එහෙම කියලා දෙනවා.


මිනුෂි මුලින්ම කැමරාවක් ඉස්සරහට ගියාට පස්සේ මොකද හිතුණේ ?


දෙබස් කියන විට මට වැරැදෙයිද, නැවැත නැවැත ඒ කොටස් රඟපාන්න වෙයිද කියලා මුලින් මට බය හිතුණා. නමුත් පස්සේ මට ඒ බය නැති වුණා.


රංගන කටයුතු අතර අමතක නොවන සිදුවීම් ගැනත් මතක් කළොත්?


අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ සමහර ළමයින්ට ගහන්න වෙන අවස්ථා තිබුණා. ඒ වගේ එක අවස්ථාවකදී ළමයෙක්ගෙ කොන්දට ගහන්න කියලා කිව්වා. ඒ වුණාට මම ඒ ළමයගෙ කම්මුලට ගැහුවෙ. ඉතින් ඒ ළමයට ගොඩක් රිදිල තිබුණා.


පොඩි කාලෙදිම රංගනයට අවස්ථාව ලැබුණු එක ගැන මිනුෂිට මොකද හිතෙන්නේ?


මම පාසලේ, දහම් පාසලේ තිබෙන සෑම දෙයකටම ඉදිරිපත් වෙනවා. හත ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලෙදි තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණෙ. ඇත්තටම ගොඩක් සතුටුයි. පොඩි කාලේ ඉඳලම රංගන කටයුතු කරන නිසා මට බය නැතිව ඕනෑම දෙයකට ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා.


පුතාගේ අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?


නැටුම් ටීචර් කෙනෙක් වෙන එක තමයි මගෙ අනාගත බලාපොරොත්තුව.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තිබෙනවද ?


මම  මිහිදුම් තරණය කියලා ෆිල්ම් එකක් කළා. ඒ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විධියට මම රංගනය කරනවා. ඒ ෆිල්ම් එකේ විධියට මම කැලේ අතරමං වෙලා ඉන්නෙ. ඉන් පස්සෙ මන්තරකාරියෙක් මගෙ ඇඟට වැහෙනවා. ඊට පස්සේ මම හොල්මනක් වෙලා ළමයින්ව අල්ලගන්න යනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර මාමා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය ලබන අවුරුද්දේ තිරගත වේවි.


නයෝමි ෂර්මිලා



Previous Post Next Post