කලාකරුවන්ට දේශපාලනය කරන්න එපා කියන්න කාටවත් බෑ-රොෂාන් පිලපිටිය

 


වේදිකාව තුළින් සිය කලා දිවිය ඇරැඹි ඔහු කලා ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක රැසක් එක් කළ දක්ෂ කලාකරුවෙක්. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකත් රිදී තිරය තුළත් වේදිකාවෙත් ඔහුව ප්‍රේක්ෂකයාට හමුවෙනවා. හදගැස්ම අපත් සමඟ කතාබහට එක් වූ ඔහු ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් පිලපිටිය.

 මේ දිනවල අලුත්ම වැඩ කටයුතු ගැන කතා කරමු?


මේ දවස්වල හිරු ටීවී නාළිකාවේ පාට කුරුල්ලෝ, සිරස නාළිකාවේ රොකී , දෙරණ නාළිකාවේ සිකුරු ඇවිත් කියන ටෙලි නාට්‍ය තුන විකාශනය වෙනවා.ඊට අමතරව විශ්ම කියලා චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා. කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කරන සුදු ඇඳගෙන හොරු ඇවිදින් වේදිකා නාට්‍යයත් මේ දිනවල හැම සති අන්තයකම වගේ වේදිකා ගත වෙනවා.


මෑතක් වනතුරම එක දිගට පියාගේ භූමිකාව තුළින් ප්‍රේක්ෂකයා අතරට ආ ඔබ විශ්ම චිත්‍රපටයත් සමඟ නැවත පෙම්වතා බවට පත්වෙනවා. මේ වෙනස ගැන කතා කරමු?


කිසිම විධියකට මට ලැබෙන චරිත ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ. ලැබෙන චරිතවල ස්වරූපයට අනුව රංගන කටයුතු කරනවා. ඒ ලැබෙන චරිතවලට සාධාරණයක් ඉටු කරන්න මහන්සි වෙනවා හැරෙන්න පෙම්වතාද, දුෂ්ටයාද වෙනත් චරිතද කියන එක ගැන  මම වැඩිය හිතන්නේ නැහැ.


කලාකරුවකුට වේදිකාවෙන් ලැබෙන පන්නරය ඉතාමත් වැදගත්. වර්තමානයේ දී බොහෝ නවක කලාකරුවන්ට ඒ අවස්ථාව හිමි වන්නේ නැහැ. මේ ගැන ඔබේ අදහස?


වේදිකාවේ විශාල දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. වේදිකාවේ නැති වුණත් වෙනත් දක්ෂ රංගන ශිල්පීනුත් ගොඩක් ඉන්නවා. රංගන ශිල්පින්ගෙන් අඩුවක් නැහැ. හොඳ නිර්මාණ හැදෙනව නම් ඉතාමත් හොඳ රංගන ශිල්පීන් ලංකාවේ ඉන්නවා. ඉතින් අපේ  කාලේ, අර කාලේ, මේ කාලේ කියලා එහෙම දෙයක් ගැන මම නම් කවදාවත් හිතන්නේ නැහැ. හැම කාලයකම දක්ෂයෝ ඉන්නවා. තමන්ගේ දක්ෂකම අනුව සිටින අය ක්‍ෂේත්‍රය තුළ රැඳෙනවා. අනෙක් අය ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. කෙසේ වුණත් ඉතාමත් දක්ෂ පරපුරක් අපට ඉන්නවා.


ඔබට කලාව සහ සිනමාව සමඟ බැඳුණු ජාත්‍යන්තර කලා අත්දැකීම් තිබෙනවා. ඒ අත්දැකීම් සමඟ අද දවසේ නිරත වන කලා කටයුතු ගැන මොකද හිතෙන්නේ?


මට ළඟදී ජාත්‍යන්තර චිත්‍රපටයක චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉතින් එහෙම අවස්ථා ලංකාවේ අයටත් හම්බවෙනවා. ලංකාව ඇතුළේ හොඳ නිර්මාණ බිහිවෙනවා නම් හැමෝටම හොඳ අවස්ථාවන් හමුවෙනවා.


ක්ෂේත්‍රයට පැමිණෙන නවක රංගන ශිල්පීන් පිළිබඳව ඔබේ අදහස?


ක්ෂේත්‍රයට එන නවකයෝ හැමෝම හොඳයි. සමහර අය කියනවා අපේ කාලෙ තමයි හොඳටම කළේ කියන දේ. මම නම් එහෙම හිතන්නෙ නැහැ. සෑම කාලෙම සෑම වකවානුවකම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය තුළම ගත්විට කලාව වෙනුවෙන් කැපවෙන ඉතා විශාල පිරිසක් ඉතා හොඳින් වැඩ කරගෙන ඉන්නවා. රංගන ශිල්පීන් විතරක්ම නෙවෙයි ගීත රචකයන්,පොත් ලියන ලේඛකයන්, චිත්‍ර අඳින අය,මාධ්‍යවේදීන් ආදී වශයෙන් සෑම කාලයකම දක්ෂයෝ ඉන්නවා. තමන් මහන්සි වෙන, තමන් වැඩ කරන තරමට තමන්ගේ කැපකිරීමත් සමඟ ක්ෂේත්‍රය තුළ සදාකාලිකව රැඳිලා සිටින පිරිසක් සහ එහෙම මහන්සි වෙන්නෙ නැති අය ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. මේ දේ තමයි සිද්ධාන්තයක් විධියට මම මුළු ලෝකය තුළම දකින්නේ.


ඔබ දකින විධියට කලා ක්ෂේත්‍රය තුළ කුමන ආකාරයේ වෙනසක් විය යුතුද?


රට ජාතික ප්‍රතිපත්තියකට එයි. රට සුබ දිශාවකට ගමන් කරනවා. ඒත් එක්කම කලාව තුළත්  පුනරුදයක් ඇති වෙයි. අපේ රටට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව තමයි තියෙන්නේ. අනෙක් රටවල් සෑම එකකම කලාව කියන දේ ජාතික ප්‍රතිපත්තියකට අයිති වෙනවා. ඉතින් ඒ අතර ලංකාවත් අනිවාර්යයෙන්ම ඒ තැනට යයි කියලා විශ්වාසයක් තිබෙනවා.


කලාකරුවා දේශපාලනයට යොමු වීම ගැන ඔබේ අදහස?


ඇත්තටම ඒක තමන්ට දැනෙන දෙයක්. කලාකරුවාට දේශපාලනයට යොමුවෙන්න එපා කියන දේ කාටවත් කියන්න බැහැ.  ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා වගේ සෑම වෘත්තියකම අය දේශපාලනයට යොමු වෙනවා. ඉතින් කලාකරුවාට පමණක් දේශපාලනයට යොමුවෙන්න එපා කියන්න බැහැ. ස්වාමීන් වහන්සේලත් දේශපාලනයට යොමුවෙනවා. කලාකරුවන් නෙමෙයි, ස්වාමීන් වහන්සේලා දේශපාලනයට මැදිහත්වීමක්, පාර්ලිමේන්තු


ඡන්දවලට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමක් අවශ්‍ය නැහැ කියන දේ තමයි මම විශ්වාස කරන්නේ. ඒ හැරුණහම අනෙක් අයට දේශපාලනයට යොමු වීමට අයිතියක් තිබෙනවා. දේශපාලනයට යොමුවීම සත්‍යගරුකව කරන පිරිසක් සහ එසේ නොකරන පිරිසක් සිටිනවා. ඒ තුළත් සත්‍යගරුක පිරිසට හොඳ ගමනක් තිබෙනවා.


කලා ජීවිතයට බිරියගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මගේ බිරිඳ රිද්මා පිලපිටිය. මට පුතෙකුත් ඉන්නවා.ඉතින් කලා ජීවිතයට බිරියගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.


කලාව වෘත්තිය විධියට තෝරාගැනීම තුළ ඔබ සාර්ථකද?


අනිවාර්යෙන්ම ඔව්.


වේදිකාව කියන්නේ සජීවී තැනක්. ඒ තුළ වේදිකා නළුවා මුහුණ දෙන අභියෝග ගැන කතා කළොත්?


ඇත්තටම වේදිකාවේ විතරක් නෙමෙයි සෑම ක්ෂේත්‍රයකම යම් යම් ගැටලු තිබෙනවා. පොතක් එළි දක්වන්න ගිය විටදීත් ලේඛකයකුට යම් යම් ගැටලු ඇති වෙනවා. ජාතික ප්‍රතිපත්තියකට අයිති වුණාට පස්සෙ මේ සෑම ගැටලුවක්ම නිරාකරණය කරගෙන ඉදිරියට යන්න පුළුවන්.


වර්තමාන දේශපාලන වෙනස ගැන මොකද හිතෙන්නේ?


මම හිතන්නේ මේක පොළොවෙ පය ගහලා සිටින සෑම මනුෂ්‍යයෙක්ම බලාපොරොත්තු වුණු වෙනසක්. තවත් බොරු මතවාදවලට හසු නොවී මේ වෙනසට කැපවුණු ජනතාවට ඒ වෙනස භුක්ති විඳින්න අවස්ථාව හමුවෙලා තිබෙනවා. ඉතින් ඒ කැප කිරීමේ ප්‍රතිඵල ඉදිරියේදී අපිට දකින්න ලැබේවි.


නයෝමි ෂර්මිලා



Previous Post Next Post