මේ දිනවල විකාශය වන මායාවි ටෙලි නාට්‍යයේ බර්ටිගේ චරිතය හරහා රසික හදවත් දිනා සිටින ඔහු විනෝදය, ආදරය සමඟින් බොහොම සෙනෙහෙබර සංවේදී පියකුගේ භූමිකාවක් තුළින් සිය රංගන කාර්යය ඉටු කරනවා. මෙවර හදගැස්ම අපත් සමඟ සොඳුරු කතා බහට එක් වූ ඔහු ප්‍රවීණ රංගන ශිල්පී ශාන්ත ගාල්ලගේ.
මායාවි අලුත්ම චරිතය ගැන කතා කරමු?
මම ගොඩක් රංගනයෙන් දායක වුණේ හාස්‍ය උත්පාදක, විහිළු චරිතවලට. නමුත් මේ ටෙලිනාට්‍ය තුළ මම ටිකක් සීරියස් චරිතයක්. කතාව තුළ මම ලොකු දූවරු දෙදෙනකුගේ තාත්තා කෙනෙක්. ඒ චරිතයේ ස්වභාවය ගැන කියනව නම් ඔහු සින්දු කියලා යම් මුදලක් සොයා ගන්නා ගායකයෙක්. නමුත් ජනප්‍රිය ගායකයෙක් නෙවෙයි. පැරණි ගායකයන්ගේ සින්දු කියලා ලැබෙන මුදලින් තමන්ගේ දරු පවුල රැක ගෙන ජීවත්වෙන බොහොම අහිංසක මනුස්සයෙක්. දරුවෝ දෙන්නා ගැන ලොකු වගකීමක් තිබෙන ලොකු බලාපොරොත්තු තබාගෙන සිටින චරිතයක්. ලොකු දුව අසනීප තත්ත්වයකින් පෙළෙන කෙනෙක්. පොඩි දුව රැකියාවක් කරලා, ඇයගේම ස්වඋත්සහයෙන් දියුණු වෙන්න උත්සාහ කරනවා. ඉතින් බර්ටි කියන්නේ එවැනි පවුලක් නඩත්තු කරන අහිංසක, විනෝදශීලී, සංවේදී චරිතයක්.
බර්ටිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
මායාවි ටෙලි නාට්‍ය විකාශය වන දිනවලට අනුව බර්ටිගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වෙනස් වෙනවා. මෑත දවසකදි බර්ටිගෙ පොඩි දුව නිවෙසට පැමිණීමේ සතුටට පොඩි පැදුරු සාජ්ජයක් දාලා සතුට සමරනවා. ඒ කොටස තුළ බර්ටිගේ චරිතය හරිම සතුටෙන්, විනෝදයෙන් ඉන්නේ. ඉතින් ටෙලි නාට්‍යයේ ඒ කොටසට ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර තිබුණා කියලා හිතනවා. බර්ටි දුක්වෙන අවස්ථාවලදී අහිංසක තාත්තා කෙනෙක් කියලා හිතලා ප්‍රේක්ෂකයොත් බොහොම දුක්වෙනවා. ඉතින් බර්ටි අංකල්ගේ චරිතයට ප්රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා.
නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයා තුළ හාස්‍ය රසය ජනිත කරවීම පහසු නැහැ. ඒ පිළිබඳ හැදෑරීමක් අවශ්‍යද?
මම හාස්‍ය උත්පාදනය කියන දේ ගැන හදාරලා කරන දෙයක් නෙවෙයි. මම හාස්‍යයට කොහොම ආවද කියන එක ගැන මට හරියටම මතකයක් නැහැ. මගේ කුඩා කාලයේදී, ඒ කියන්නේ හැත්තෑව දශකයේදී පමණ ලංකාවේ විනෝද මාධ්‍ය විධියට තිබුණේ සිනමාව. සිනමාව තුළ ඒ කාලේ ඉතාම දක්ෂ, ප්‍රබල රංගන ශිල්පීන් ශිල්පිනියන් හිටියා. ඒ වගේම හාස්‍ය උත්පාදක රංගන ශිල්පීන් ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් හිටියා. ඉතින් මම පුංචි කාලෙදි ගොඩක් සිනමා නිර්මාණ නැරැඹූ නිසා මට ඒ අයගේ ආභාෂය ලැබෙන්න ඇති. කෙසේ වෙතත් යම්කිසි සිද්ධියක් හෝ කරුණක් ප්‍රේක්ෂකයාට සිනහව උපදවන විධියටත් තේරෙන විධියටත් ඉදිරිපත් කරනවා වගේම එහි ඇතුළාන්තයේ තිබෙන පණිවිඩයත් තේරෙන ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්
නම් එය සුවිශේෂී හැකියාවක්. අපි එදිනෙදා ජීවිතයේ කරන කියන දේවල් රඟ දක්වන එක සාමාන්‍යයි.මොකද ඒ තමයි අපේ ජීවිතය. නමුත් හාස්‍ය කියන දේ අපි සිටින තලයට වඩා වෙනස්, එම තලය සාමාන්‍ය ජීවිතයේදී කැපිලා පෙනෙනවා. හාස්‍ය උත්පාදනය අමාරු දෙයක්. මම ඒ විෂය පිළිබඳ ගොඩක් ඉගෙන ගෙන නැහැ. නමුත් මම අහලා තිබෙන විධියට ලෝකයේ දියුණු රටවල මේ ගැන අභ්‍යාස සහ ඉගැන්වීම් ක්‍රමවේද තිබෙනවා. නමුත් ලංකාව තුළ, අපි තවම ඒ තැනට ඇවිත් නැහැ. අපේ රට තුළ නළු නිළියන්ගේ සහ නිර්මාණකරුවන්ගේ හැකියාව මත කරන දේවල් තමයි ගොඩක් තිබෙන්නේ. කෙසේ හෝ යම් අයකු හාස්‍ය රංගනය ඉදිරිපත් කරනවානම් එක්තරා විධියක සුවිශේෂි හැකියාවක් තිබිය යුතුයි නේදෝ කියලා හිතෙනවා.
ඔබ බොහෝ අවස්ථාවල කාන්තා චරිත රංගනයෙන් දායක වෙනවා. ඒ සඳහා විශේෂ හේතුවක් තිබෙනවද?
මීට අවුරුදු විසිපහකට තිහකට පමණ පෙර කාලයේදී රූපවාහිනියෙන් නන්දන වින්දන කියලා අතිශය ජනප්‍රිය වැඩසටහනක් ඉදිරිපත් කළා. එම වැඩසටහනේ විනෝද සමය කියන කොටස තුළ සිටි ඉතාම දක්ෂ හාස්‍ය රංගන ශිල්පීන් ඇනස්ලි ඩයස් මහත්මයා, බර්ටි ගුණතිලක මහත්තයා, සැමුවෙල් රුද්‍රිගු මහත්තයා කියන තුන්දෙනා රංගනය කළා. ඉතින් ඒ කාල වකවානුවේදි මේ වැඩසටහනට මර්සි එදිරිසිංහ නෝනා මහත්මියගේ දක්ෂ රංගනයත් එකතු වුණා. මේ රංගනය දැකලා අපිට ගොඩක් ආස හිතුණා. ඉතින් අපි ටියුෂන් පන්තිවල නන්දන වින්දන වැඩසටහනේ තිබුණු දේවල්
අනුකරණය කරමින් රඟපෑවා. නමුත් අපිට කාන්තා චරිතයක් කරන්න කෙනෙක් හිටියේ නැහැ. අපිට ඒ චරිතය සඳහා ගැහැනු ළමයෙක් සොයා ගන්නත් බැරි වුණා. ඉතින් මම ඒ කාන්තා චරිතය රඟපාන්න ඉදිරිපත් වුණා. එතැනින් තමයි කාන්තා චරිත ඉදිරිපත් කරන්න යොමු වුණේ. මම කාන්තා චරිත කරන විට සුරංග සතරසිංහ මහත්තයා සමඟ කරපු ආටක නාටක වැඩසටහනට මගේ ගමේ සිටි ආච්චි කෙනෙක්ව ඇයට අපහාසයක් නොවන විධියට අනුකරණය කරන්න සිදු වුණා. මම හිතනවා ඒ චරිතය ගොඩක් ප්‍රේක්ෂක ජනතාව වැලඳ ගත්තා කියලා. පිරිමි කෙනෙක් ආච්චි කෙනකුට, කාන්තාවකට අඳිනවා කියන්නෙත් එක්තරා විධියකට අභියෝගයක්.
කලාකරුවකුට වේදිකාව කියන්නේ කලාවට පැමිණීමට ලැබෙන හොඳ අවස්ථාවක්. එතැනින් ලැබෙන පන්නරය ගැන ඔබේ අදහස කියනවා නම්?
ඇත්තටම මට කවදාවත් වේදිකාවට යන්න ලැබිලා නැහැ. මට ඒ අවස්ථාව ලැබුණත්, රංගනයට අමතරව මම රජයේ රෝහලක ඖෂධවේදියෙක් විධියට කටයුතු කරන නිසා මම ටිකක් කාර්යය බහුලයි. ඒ නිසා රැකියාව හොඳින් කරගෙන යන ගමන් ලැබෙන විවේකයේ දී රැකියාවට කිසිම විධියකින් බාධාවක් නොවෙන විධියට තමයි මම රංගන වැඩ කටයුතු කරන්නේ. ඉතින් වේදිකාව කියලා කියන්නේ අසාමාන්‍ය දැනුමක් ලබා ගන්න පුළුවන් ලස්සන තැනක්. ඒ මොහොතෙම ප්රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලබා ගන්න පුළුවන් වීම එහි තිබෙන වටිනාම සුන්දරම දෙයක් වෙනවා. වෙනත් චිත්‍රපට
හෝ ටෙලි නාට්‍යයකදී අපි යම් චරිතයක් ඉදිරිපත් කරන විට ඒ චරිතයේ අඩුපාඩු හදාගෙන කොටස් විධියට ගන්න පුළුවන්. නමුත් වේදිකාව තුළදී චරිතයට අවතීර්ණ වූ පසු ඒ චරිතයේ ගලායෑමක් තියෙන්න ඕනෑ. එයින් වේදිකාවේ රඟපාන නළුවට හෝ නිළියකට විශාල අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා. ඒ වගේම ඔවුන්ට එය විශාල අභියෝගයක්. වේදිකාව කියන්නේ කලාකාරයකුට හෝ කලාකාරිනියකට ලැබෙන හොඳ ව්‍යායාමයක්. මට වේදිකාවේ රංගනය කරන්න නොලැබුණත් මම දුටු නාට්‍ය සහ නාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දක්ෂතා දකින විට වේදිකාව තමයි අංක එක.
කලාවේ ඉදිරි ගමන් මග ගැන ඔබේ අදහස?
වසර කිහිපයකට පෙර අපේ රට මුහුණ දුන්නු කොරෝනා වසංගත කාලවකවානුවට පස්සේ, කලාව ටික ටික ක්‍රමානුකූලව හිස ඔසවමින් යනවා. දේශපාලන ලෝකය ඇතුළු අනෙක් ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ඉහළට එමින් ඉන්නවා. බොහෝ නළු නිළියන්ට වැඩ නොතිබුණූ කාලයක්. ඒක ස්වාභාවිකවම ආපු කාලයක්. ඉතින් දැන් ටික ටික ඒවායින් මිදිලා රට හොඳ මට්ටමකට එමින් සිටිනවා. මගේ විශ්වාසය නම් ලස්සන කලා නිර්මාණවලට හොඳ තෝතැන්නක් වෙන අනාගතයක් අපට ලැබේවි කියලා. එවිට තරුණ පරපුරට වඩා හොඳ නිර්මාණවලට දායක වෙන්න පුළුවන් වේවි. අපේ රට මීට වඩා ඉහළ තැනකට ඒවී. අනාගතේ මොන දේශපාලන ලෝකයක් තිබුණත් දැන් සිටින තරුණ පරපුරේ හොඳ සිතිවිලි තිබෙනවා. ඔවුන් සොරකම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් දේශපාලනයේ යම් යම් දේ ප්‍රතික්ෂේප කරනවා. එයින් අදහස් වන්නේ ලංකාවේ අනාගතය හොඳ තත්ත්වයට එමින් සිටින බව. ඉතින් මම හිතනවා අනාගතේ කලාවත් හොඳ තැනකට එයි කියලා.
ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?
ටෙලි නාට්‍ය කිහිපයකට කතා කරලා තිබෙනවා. ඇතැම් ටෙලි නාට්‍ය රූප ගත කරලා තිබෙනවා. ඉමේෂ් ලොකු බණ්ඩාර මහත්තයාගේ ටෙලි නාට්‍යයක රංගන කටයුතු කළා. මට දැනෙන විධියට ඒ චරිතය ලොකු ප්‍රබල චරිතයක් නම් නෙවෙයි. එහෙම කියන එක හරිද නැද්ද දන්නෙත් නැහැ. මේ දවස්වල මම ස්වාධීන රූපවාහිනියේ විකාශය වන බේකරි ගෙදර කියලා ටෙලි නාට්‍යයක රඟපානවා. එම ටෙලි නාට්‍ය සහ සිරස ටීවී විකාශය වන මායාවි ටෙලි නාට්‍ය දෙක තමයි මගේ වැඩ කටයුතුවලින් මේ දිනවල ඉදිරියෙන්ම තිබෙන්නේ. ඒත් එක්කම පුද්ගලික ගුවන් විදුලි නාළිකාවක පටිරෝල් කියන වැඩසටහනට හඬකැවීම් කරනවා. මේ දේවල් තමයි දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ