මිහිරි ස්වරයෙන් රසික දෙසවන් පිනවන ඇය සුරූපී නවක ගායන ශිල්පිනියක්. ගායනයට වගේම රංගනයටත් දස්කම් දක්වන ඇය රසික සිත්හි අපූර්ව මතකයන් ලියා තබා අවසන්. ඇය නමින් අපූර්වා ආශාවරී.
ඔබේ අලුත් නිර්මාණ වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල නිර්මාණ කිහිපයක් සහ ඒවායේ රූප රචනා කටයුතු කරගෙන යනවා. ඉතින් තවත් ගීත කීපයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ අතරතුරේ ප්‍රසංග වේදිකාවටත් සහභාගී වනවා. ඒ වගේම රංගන කටයුතුවලටත් දායක වනවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.
පසුගිය දිනක සංසරණය වූ ඔබේ විවාහ ඡායාරූප පෙළ වැඩි කතාබහකට ලක්වුණා. ඉතින් ඒ ගැන අදහසක් එකතු කළොත්?
ඇත්තටම විවාහය කියන්නේ කාගේ වුවත් අතිශය පෞද්ගලික කාරණාවක්. ඉතින් සමාජ මාධ්‍ය හරහා අපේ යම්කිසි දෙයක් සංසරණය වන විට ඒ ගැන විවිධ අදහස් පළ කරන්න හැමෝටම පුළුවන්. ඒ ඡායාරූප පෙළට හැමෝම සුබ පැතුම් එක් කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තූතියි. මගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ යම් යම් කාරණා මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා හරි අඩුයි. ඉතින් සමහර දේවල් අපි ප්‍රසිද්ධියේ කතා කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් තිබෙනවා. ඉතින් එය විවාහය කියලා බොහෝදෙනකු හිතුවා. අපි ඒ අදහසට විරුද්ධ වුණේ නැහැ. ෆොටෝ ෂූට් එකක් කියලත් බොහෝ අය කියනවා. එකිනෙකාට ඒ සම්බන්ධව යම් යම් විධියේ අදහසක් දරන්න පුළුවන්.
රියැලිටි තරගවලින් එන බොහෝදෙනකුට අනන්‍යතාවක් ගොඩනඟා ගැනීම පහසු නැහැ නේද?
ඇත්තටම රියැලිටි තරගවලින් එන අයට අනන්‍යතාවක් ගොඩනඟාගැනීමේදී සමහරුන්ට පහසුයි, සමහරුන්ට අපහසුයි. මම දරන මතයට අනුව, රියැලිටි තරගයකින් බොහෝදෙනකුට තමන්ගේ ඉදිරි අනාගතය පිළිබඳව අනන්‍යතාවක් ගොඩනඟාගැනීම වර්තමානයේ හරිම පහසු කාරණාවක් බවට පත්වෙලා තිබෙනවා. ඊට හේතුව තමයි ලංකාවේ විවිධ රියැලිටි වැඩසටහන් තිබෙනවා. ඉතින් අපේ සමාජයේ ඒ ඒ රියැලිටි වැඩසටහන් තුළින් එක් එක් වැඩසටහනෙහි තිබෙන්නේ මොනවගේ ගුණාත්මකභාවයක්ද කියලා, ඒ වැඩසටහන් තුළින් බිහිවන තරු මොනවගේ කොලිටි එකකින් යුක්තද කියලා විවිධ කාණ්ඩවලට ප්‍රේක්ෂකාගාරය තුළ බෙදිලා ගිහින් තිබෙනවා. මම දකින විධියට ගොඩක් අවස්ථාවල රියැලිටි තරගවලින් නිර්මාණය වන තරු ඉක්මනට පායලා ඉක්මනට බැහැලා යනවා.
අනන්‍යතාව ගොඩනඟා ගැනීමේ දී සමාජ මාධ්‍ය කොතරම් වැදගත් වනවාද?
රියැලිටි තරගවලින් අනන්‍යතාව තහවුරු කර ගැනීම දැන් පහසු වී තිබෙන්නේ සමාජ මාධ්‍යය එක්ක තමයි. මොකද ටී.වී. එකෙන් අපි නරඹන රියැලිටි තරගය සමාජ මාධ්‍ය තුළ ඊට පසුදා බිලියන ට්‍රිලියන ගණන් විව්ස් යන වැඩසටහන් බවට පත්වනවා. ඉතින් ප්‍රේක්ෂකයෝ ටී.වී. එකට වඩා දුරකථනයෙන් රියැලිටි තරග නැරඹීම නිසා ප්‍රේක්ෂකයෝ අතරට රියැලිටි තරුවලට යන්න තිබෙන අවස්ථාව වැඩියි. ඉතින් ඒ හරහා තමයි බොහෝදෙනකු තම අනන්‍යතාව තහවුරු කර ගන්නේ. මම කියන්නේ මේ ආරයේ සින්දු, මම අනුකරණය කරන්නේ මේ පුද්ගලයන් කියන තම අනන්‍යතාව තහවුරු කරගන්නේ එහෙමයි.ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ රියැලිටි තරගයකින් අපව ඔසවා තැබුවටම මදි. ඒ වෙනුවෙන් වැඩ කරන්න, ඒ වෙනුවෙන් විවිධ පියවර ඉදිරියට තබන්න සහ අපේ අනාගතය වෙනුවෙන් ඉදිරි මාර්ගය නිර්මාණය කරගන්න මහන්සි වෙන්න ඕනෑ අපි තමයි. ප්‍රේක්ෂකයන්ට දැනෙන නිර්මාණ කිරීමෙන් අපට අපේ ක්ෂේත්රය තුළ අනන්‍යතාව රඳවා ගන්න පුළුවන්. මිනිසුන්ට මතකයේ රැඳෙන විධියේ වැඩ කළාම අපේ අනන්‍යතාව නිර්මාණය කර ගැනීම පහසුයි.
ඔබේ කටහඬ නිසාම ලංකාවේ නේහා කක්කර් නමින් ඔබව හඳුන්වනවා නේද?
ඔව්. සාමාන්‍යයෙන් මම ඇයගේ ගීත ගායනා කරන විට සහ ගොඩක් හින්දි ආරයේ ගීත ගායනා කරන විට නේහාගේ කටහඬට ඉතාම සමානයි කියලා, බොහෝදෙනකුට කටහඬ වෙන් කර හඳුනාගැනීමටත් අපහසුයි කියලා කියා තිබෙනවා.
ජනප්‍රිය පුද්ගලයන්ට සමාජ මාධ්‍යවල හොඳ ප්‍රතිචාර වගේම චෝදනාත් ලැබෙනවා. ඔබ එවැනි අදහස්වලට මුහුණ දෙන්නේ කොහොමද?
ඇත්තටම සමාජ මාධ්‍ය කියලා කියන්නේ බොහෝදෙනකු ගේ අදහස් ප්‍රකාශ කරන්න තිබෙන ඕනෑ තරම් ඕන දෙයක් ලියන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඒ තුළ ඕනෑ අයකුට බනින්න පුළුවන්, හිනාවෙන්න පුළුවන්, අසභ්‍ය විධියට බැන ගන්න පුළුවන්. තමාගේ සිතැඟි පරිදි තම පීඩනය පිට කරගන්නත් පුළුවන්. සමාජ මාධ්‍ය තුළ දී තමාට හිමි නැති දේවල් තව අයකුට තිබීම සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවෙන් පසුවන අයගෙන් කවදාවත් කිසිම
දෙයක් සම්බන්ධයෙන් පොසිටිව් කමෙන්ට් එකක් ලැබෙන්නේ නැහැ. තමන්ට නැති දෙයක් තව කෙනකු සංවර්ධනය කර ගන්නවා නම්, තමන්ට නොහැකි දෙයක් තව අයකු කරනවා නම් අනිවාර්යෙන්ම ඍණාත්මක අදහස් ලැබෙනවා. ඒක අපි මුහුණ දිය යුතුම දෙයක්. පල ඇති රුකට ගල් ගහනවා වගේ ලස්සන දේවල් කරන දක්ෂ හොඳ තත්ත්වයේ දේවල් කළ හැකියි යැයි සමාජයේ පිළිගන්න අයට හොඳ කමෙන්ට්ස් ලැබෙන්නේ නැහැ.
ජනප්‍රිය පුද්ගලයන්ට පමණක් නොව ජනප්‍රිය නොවන තමන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් ඉස්සරහට එන්න හදන හැම කෙනකුටම සමාජ මාධ්‍ය තුළින් විවිධ වූ මඩ ප්‍රහාර එල්ල කරනවා. එය හොඳ ද නරකද කියන දේ භාරගැනීම තුළින් තමයි අපේ මානසිකත්වය අපි හදාගන්න ඕනෑ. මොකද අපි වැඩ කරන්නේ අපේ ප්‍රේක්ෂක ජනතාව සතුටු කරන්න. අපි දෙන ඒ දේ උපරිමයෙන් දරාගත නොහැකි පිරිසක් ඒවාට හේට් කමෙන්ට්ස් දානවා. හේට් කමෙන්ට්ස් ඇතුළේ ඉන්න කෙනාගේ ප්‍රොෆයිල් එක ගොඩක් වෙලාවට ලොක් කරලා. එහෙම නැත්නම් රැකියාවක් නොකරන අයෙක්.
නැත්නම් කිසිම විධියේ ජීවිතයේ ඉලක්කයන්, ජයග්රහණයන් ලබා ගැනීමක් නොකරපු කෙනෙක්. මොකද සමහර කමෙන්ට්ස් බලනකොට ඇයි මෙහෙම කරන්නේ කියලා හිතෙනවා. සමහර වෙලාවට ඒ අය අපිව දන්නෙවත් නැහැ. මම කියන්නේ හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා. අපට අයිතිය තිබෙනවා ඒවා භාරගැනීම සහ නොගැනීම කියන දේ තීරණය කරන්න. ඉතින් මම පෞද්ගලිකව ඍණාත්මක අදහස්වලට උත්තර දෙන්න යන්නෙ නෑ.
බොහෝදෙනකු ප්‍රසංගවලදී ගායනා කරන්නේ අන් අයගේ ගීත නේද?
ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයේදී මම තෝරා ගන්නේ මගේ ආරයට ගැළපෙන ගීත. ඉතින් මට අවසරය සහිත ගීත මම ගායනා කරනවා. අන් අයගේ ගීත වුණත් ප්‍රේක්ෂකයන් අතරට ගියපු ගීත ඒ අය අපේ කටහඬින් අහන්න ආසයි. මල් මල් හිනා කියන ගීතයට ෂර්ලි සර් පවා මට කියලා තිබෙනවා පුතේ ඔයා ඒ ගීතයට නව පණක් දුන්නා කියලා. ඉතින් මම විශ්වාස කරන්නේ අන් අයගේ වැළලිලා ගියපු ගීතවලට පණ දෙන්න මේ ජෙනරේෂන් එකේ
බොහෝදෙනකු කටයුතු කරලා තිබෙනවා. ඔයාලා අනුන්ගේ ගීත කියලනේ ආවේ කියලා ගොඩක් අය අපට කියනවා. නමුත් අනුන්ගේ ගීත වුණත් ඒ අයත් අපට කියන්නේ අනේ හරිම ලස්සනයි ඔයා නිසා මගේ ගීතයට මෙහෙම වටිනාකමක් ලැබුණා කියලා. අපි ගායනා කරන්නේ අපේ කටහඬින්අ, පේ විධියකට අන් අයගේ ගීත අපේ ආරයකට. ඒ දේ වැලඳ ගත්ත පිරිසක් තමයි ඇත්තටම අපට ආදරය කරන්නේ. අපි ඒ වෙනුවෙන් අන් අයගේ ගීත ඔවුන්ට ආකර්ෂණීය විධියට ආදරයෙන් ගායනා කරනවා.
ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
රංගන කටයුතු, ගායන කටයුතු ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ගීත නිර්මාණය කරමින් තිබෙනවා සහ ඒවායේ රූප රචනා කරමින් තිබෙනවා. ලස්සන වැඩ ටිකක් ඉස්සරහට ප්‍රේක්ෂක ජනතාවට බලාගන්න පුළුවන්. බොහොම ස්තුතියි මාව මේ කතා බහට සම්බන්ධ කරගත්තාට.
රුවිනි අමරකෝන්