කෝ එතකොට ජගත් චමිල කියලා මම මගෙන්ම අහනවා-ජගත් චමිල

 



ජගත් චමිල යන පුද්ගලයා ප්‍රේක්ෂකයා ඉදිරියේ අමතක කරන්න තරම් ඔබ රංගනය තුළ ඕනෑම චරිතයක් හා ආත්මීය හුස්මක් ගන්න නළුවෙක් ලෙසයි මම ඔබව දකින්නෙ. ඔබ කොහොමද ඔබව ඒ තරම් ප්‍රබල විදිහට දැනෙන විදිහට ඔබව අමතක කරන්නෙ?


මම ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ මගෙන් මේ ප්‍රශ්නය ඇහුවා නම් මට දෙන්න තියෙන්නෙ වෙනස් උත්තරයක්. ඒත් මේ මොහොතේ මට ඔය ප්‍රශ්නයට න්‍යායාත්මක උත්තරයක් දෙන්න පුළුවන්. මගේ පවුල් පරිසරය තුළ තිබුණේ අධ්‍යාපනික පසුබිමක්. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. මගේ අයියලා දෙන්නා විශ්වවිද්‍යාලයට ගියා. පාසල තුළ නාට්‍ය හා රංග කලාව, කැටයම්, මූර්ති, චිත්‍ර වැනි විෂයන් ඇසුරේ ඉන්න පරිසරයක් තමයි පාසලේ මට තිබුණේ. ඒ ඇසුරේ සිටියදී මට අවබෝධ කරගන්න ලැබුණා, රංගවේදියෙක් වෙන්න නම් ආසාව විතරක් තිබුණට මදි, රංගනය කියන්නෙ න්‍යායාත්මක දත්ත, තොරතුරු සහිත විෂයක් කියන එක. එවැනි අවබෝධාත්මක ඇසුරක තමයි මම හැදුණෙ. මට හැම තිස්සෙම දැනිච්ච දෙයක් තමයි ජගත් චමිල විදිහට මම නවකතාවක්, කවියක්, මේ මොන නිර්මාණයක් කළත් මම ඉගෙන ගත්ත දේ ඇසුරින් තමයි ඒ නිර්මාණාත්මක ප්‍රකාශනය එළියට ගේන්නෙ. පිටපතක චරිතයක් ගොඩනංවද්දි ඒ චරිතයේ භෞතික හැඩයක් තියෙනවා. අංග රචනයක් තියෙනවා. බාහිර රූපය වගේම හිතන පතන විදිහ, භාවමය ස්වරූපයක් ඒ චරිතය තුළ තියෙනවා. ඕනෑම චරිතයක ඒ ස්වභාවය, රිද්මය මා තුළට කිඳා බැස්සවීම කියන්නෙ ඉතා සියුම් කාරණාවක්. උදාහරණයක් විදිහට සැමීගේ කතාවේ සැමී ගත්තම, මාණික්කාවතේ කෙටි හාමි ගත්තම තවත් විදිහක්. රවීන්ද්‍ර විජේරත්නගේ රුවන් මාලිගා හි ලීඩර් තවත් විදිහක්. මේ චරිතයන්හි වර්ණය, හැඩය, ස්වරූපය, ගැඹුර එකිනෙකට වෙනස්. ඒ වෙනස, සියුම් සහ ගැඹුරු ප්‍රවේශයක සිට හඳුනා ගන්න නම් අපිට විධිමත් අධ්‍යනයක් තියෙන්න ඕනෑ. අන්න ඒ ආකාරයෙන් චරිතයක් වෙන් කරගන්න අධ්‍යනයට අවශ්‍ය පුහුණුව තුළ අපි හැමවිටම සැරිසැරිය යුතුයි. ජගත් චමිල යට කරලා චරිතය හා ආත්මීය බද්ධ වීමකින් ඒ හා හුස්ම ගැනීම අතුරෙ යනවා වගේ සමබරව කළ යුතු දෙයක්. මානසිකවත් භෞතිකවත් තමන් අත්හැරීම කියන්නෙ ඇත්තටම ඕනෑම කෙනකුට සරල කාරණයක් නෙවෙයි. රංග කාර්යය තුළ මෙම ක්‍රියාවලියේ ඇති බරපතළම කාරණාව තමයි අදාළ රංගධරයාගේ පෞද්ගලික කිසිම දෙයක් එයාට එයාගේ කියලා එතැනදි එයා සන්තකයේ තියාගන්න බෑ. සිතුවිලිවල සිට සියලු භෞතිකයන් දක්වා තමා සන්තක සියල්ල රංගවේදියෙක් රංගනය තුළ දී අත්හල යුතුයි. චරිතයක රිද්මය ආධ්‍යාත්මිකවත් භෞතිකවත් හඳුනා ගැනීම සහ ඒ රිද්මය හා ආත්මීය බන්ධනයකින් රංගවේදියා බැඳුණු තැන තමයි ප්‍රේක්ෂකයා ඒ චරිතය හා බැඳෙන්නෙ.




ආචාර්ය සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ ශ්‍රී සිද්ධා හි ඔබ නිරූපණය කරන්නෙ හාස්‍යයට බර, එහෙත් වරෙක හරි හැඟීම්බර, ගැඹුරු ප්‍රකාශනයක් එළි දක්වන සංකීර්ණ චරිතයක්. එම ද්විත්ව ස්වභාවික චරිතය හා සැරිසැරීම කොහොමද ඔබ විඳින්නෙ?


හාස්‍යයට බර ඒ තරුණයාගේ හැඟීම්බර ප්‍රකාශනයන් එළි දකිද්දි ඒ ප්‍රකාශනයන් ද අර හාස්‍යයට බර පුද්ගලයාගේම ප්‍රකාශනයන් විය යුතුයි. චරිතයක අන්තර්ගත පුද්ගල චිත්තවේගයන්, මනෝභාවයන් සහ සංකීර්ණ ස්වභාවයන් හඳුනා ගැනීම වගේම එය ප්‍රේක්ෂක හද අභ්‍යන්තරයට දැනවීමත් හරි සියුම්, ඉවසිලිවන්ත දෙයක්. මා සහ මම හඳුනා ගැනීම තුළ එය කළ හැකියි. ශ්‍රී සිද්ධා තුළ මම කළෙත් ඒ දෙයයි. ශ්‍රී සිද්ධා තුළ මගේ ආත්ම තුනක කතාවක් තියෙනවා. චිත්‍රපටය පටන් ගන්නෙම මටයි මගේ බිරිඳටයි තඹ සන්නස හමුවෙන තැන. එතැන් සිට කතාව දිග ඇරෙනවා. එතැනදි මීට අවුරුදු ගණනාවකට උඩදි ඒත් මම සහ ඇය; මම ඇයට කියනවා, මම මේ සංසාරේ බැරි වුණොත් ඊළඟ සංසාරේ හරි, නැත්නම් ඊළඟ සංසාරේ හරි මම ඔයා ළඟට ඇවිත් ආදරෙන් ජීවත් වෙනවා කියලා. ඔයා එක්ක මේ ගමන යනවා කියලා. අන්න ඒ සංසාර ගමනෙ එක භව නවාතැනකින් තමයි මේ චිත්‍රපටය පටන් ගන්නෙ. එහෙම ප්‍රේමණීය ප්‍රාර්ථනාවක දිගුවක් තුළ තමයි මේ චිත්‍රපටය දිගහැරෙන්නෙ. ඒ ප්‍රාර්ථනා කොයි තරම් දුරට යථාර්ථයක්ද නැද්ද කියන එක ගැන මට තියෙන්නෙ වෙනම කියැවීමක්. ඒත් මෙතැනදි සිනමාමය ප්‍රවේශයක් තුළ එය දිගහරින්නෙ පුද්ගලයෙක්ගෙ හැඟීම් විදිහට. ඒ හැඟීම් එක්ක අපට සෙල්ලම් කරන්න බෑ. ජගත් චමිලගේ හැඟීම අදාළ නෑ ඒ චරිතයේ හැඟීමට. මේ ලෝකයේ බහුතරයක් මිනිස්සු හැඟීම් එක්ක ජීවත් වෙන්නෙ. හැඟීමක තියෙන ප්‍රාර්ථනාවක් සජීවීව යථාර්ථයක් වෙන තැනක් තමයි ඒ චිත්‍රපටයේ මුණගැසෙන්නෙ. ජගත් චමිල කියන මම ප්‍රාර්ථනාවක් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නෙවෙයි. එහෙම ප්‍රාර්ථනා යථාර්ථයක් වෙනවනම් මේ ලෝකය මීට වඩා හුඟාක් වෙනස් තැනක්.


ඇත්තටම රංගනය කියන්නෙ එක්තරා භාවනාවක්. ඒ භාවනාව තුළ තමන් තමන්ව අත්හැරීම කියන්නෙ සරල කාරණයක් නෙවෙයි. එය අතිශය දුෂ්කර, වගකීම් සහගත, ගැඹුරු කාරණයක්. රංගවේදියෙක් තම අවසන් හුස්ම තෙක් ඒ අත්හැරීම පුහුණු කළ යුතුයි. ඔබ කොහොමද ඔබ අත්හරින්නෙ?


ඇත්තටම තමන්ට තමන් බැඳුණු චරිතයෙන් ගැලවෙන්න බැරි වුණාම සියදිවි නසාගන්න තැනට පත්වෙච්ච නළුවන් පිළිබඳ සංසිද්ධින් ලෝක සිනමාව තුළදී හමුවෙනවා. සංකීර්ණ චරිත රඟපාද්දී තමන්ට තමන් අහිමි කර නොගෙන එම චරිතය තුළ ජීවත් වීමේ ක්‍රමවේදයක් තියෙනවා. මම එය නොදැන මාණික්කාවතේ රඟපාද්දී එම ක්‍රමවේදය අනුගමනය කරලා. ඇත්තටම අතිශය සංකීර්ණ මනෝභාවයන් සහ චර්යාත්මක ප්‍රවේශ සහිත චරිත රඟපාද්දි එම රංගවේදියා මනෝ උපදේශකවරයෙක් හා මුහුකර තැබීම ලෝක සිනමාව තුළ සිදුවන ක්‍රමවේදයක්. එතැනදි රංගවේදියෙක් එම චරිතය රඟපාලා එයා ඉන්න තැනට එද්දි එයාට මුණගැසෙන්නෙ එයාගේ පෞද්ගලික ජීවිතයේ කැමති දේවල් ටික. උදාහරණයක්, ඒ රංගවේදියා සපත්තුවලට කැමති කෙනෙක් නම් එයාගේ කාමරයේ එයාට දකින්න, එයාට ප්‍රකෘතිමත්, එයාව සිහිපත් කරන්න එයා ආසා සපත්තු තියලා තියෙනවා. තමන්ට තමන් මුණගැස්සවීමේ මනෝ විද්‍යාත්මක න්‍යායක් තමයි එතැනදි ප්‍රායෝගිකකරණය කරන්නෙ. එතැනදි නළුවා මඟහැරී තමා තුළ සිටින තමා හමුවෙනවා. නොඑසේ නම් අර චරිතය තුළම පරාරෝපණය වී සිටියොත් තමන්ට තමන් අහිමි වී යනවා. මාණික්කාවත කරද්දි මම නොදැන එම ක්‍රමවේදය භාවිත කළේ මෙහෙමයි. මම හරි ආසා දෙයක් තමයි නෙස්කැෆේ රසය. ඇත්තටම නෙස්කැෆේ රසට මම හරි කැමති මනුස්සයෙක්. මම ඒ දවස්වල මගේ රසට හරියන නෙස්කැෆේ එකක් අරගෙන ඇවිත් රඟපාන්න ඉස්සර සහ රඟපාලා ඉවරවෙලා ඇවිත් මම තේ එකක් බොද්දි ඒ තේ එකට නෙස්කැෆේ ටිකක් මුසුකර ගත්තා. ඒ නෙස්කැෆේ බිංදුව මට මාව මුණගස්සවන උත්තේජකයක් වුණා. එය එසේ නොවුණා නම් මම හිතන විදිහ, මගේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන විදිහ වෙනස් වෙනවා. ඒ වෙනස්වීම් සියල්ල හානිකර තත්ත්වයන්. තමන් තමන්ව අත්හැරීම තුළ ඒ සියල්ල සිදුවිය හැකියි.


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාවේදියෙක් වීම කෙතරම් ශ්‍රේෂ්ඨද යන්න නිර්වචනය කර ගැනීමට එය හොඳ පැහැදිලි කිරීමක්?


ඇත්තටම ලෝකයේ වැඩිම මිලක් ඉල්ලන, ඒ ඉල්ලන මිලට එකඟවෙන හරිම ගෞරවපූර්ව වෘත්තියක් තමයි රංගනය කියන්නෙ. රංගනය වෙනුවෙන් ඔවුන්ගේ අභ්‍යන්තරයේ හානිවෙන ස්නායුවක් වෙනුවෙන් ඔවුන්ට ඇත්තටම මිලක් කියන්න බෑ. ඇත්තටම එක මොහොතකදි රංගවේදියකුට තමන් තුළට ආරෝපණය කරගන්න චරිතයක් නිසා මානසික ක්ෂය වීමක් ඇතිවෙන්න පුළුවන්. එම ක්ෂය වීම යළි උපද්දවන්න බෑ කියලා තමයි කියන්නෙ. ඒ නිසාම තමයි රංගන වෘත්තියේ වටිනාකම මැනවින් වටහාගත් එය කර්මාන්තයක් ලෙස ස්ථාපිත වූ රටවල රංගවේදියකුට ඒ තරම් මූල්‍යමය වටිනාකමක් දීලා තියෙන්නෙ. අද සැහැල්ලු වී ගිය තැන් තිබුණත් රංගනය කියන්නෙ ඒ තරම් ගැඹුරු වටිනාකමක් සහිත විෂයක්. ඇත්තටම රංගනය කියන්නෙ භාවනාවක් වගේ දෙයක්.




ප්‍රියංකර විතානාච්චි අධ්‍යක්ෂණය කළ සැමීගේ කතාව (Sam's story) තුළ ඔබ සනිටුහන් කළ රංගනය මම දකින්නෙ ලාංකික සිනමාවේ රංගවේදියෙක් තැබූ ස්වර්ණවත් මුද්‍රාවක් ලෙසයි. මේ මොහොතේ ජගත් චමිල සැමීව සිහිපත් කරන්නෙ කොහොමද?


සැමී දත් පෙන්නලා කට අරින්නෙ බොහොම සීමිත අවස්ථා කිහිපයකදී විතරයි. සැමී කියන්නෙ ප්‍රකෘති සමාජ සම්මුතිය තුළ සවිඥානික පුද්ගලයෙක් නෙවෙයි. සැමී දැනගෙන හිටපු එකම දේ තමයි එයාට මේ ලෝකයේ තියෙන එකම සරණ, එයා විශ්වාස කළ එකම දේ එයාගේ අම්මාගේ ආදරය කියන එක. අම්මා ඉන්න හැමතැනකම එයා දත් පෙන්වලා හිනා වුණා. අනික් හැම තැනකදිම එයා උත්සාහ කළේ කට අරින්නෙ නැතුව ඉන්න. සැමී හාම්පුතාගේ ගෙදර ගියාම එයාට තේරුණා එයාට කිසිම බාධාවක් නෑ, එයාට නිදහසේ ඉන්න පුළුවන් කියලා. හාම්පුතා අහනවා, හරි උඹ දැන් රස්සාවකටනෙ ආවේ. උඹට මොනවද කරන්න පුළුවන් කියලා. සැමී දන්නෙ නෑ මොනවද කරන්න පුළුවන් කියලා කියන්න. ටිකක් වෙලා බලාගෙන ඉඳලා හාම්පුතා අහනවා, උඹට රෙදි හෝදන්න පුළුවන්ද කියලා. සැමී බෑ කියනවා. උඹට අතුගාන්න පුළුවන්ද අහනවා. ඒකත් බෑ කියනවා. සැමීට ඒ ගෙදරට යද්දිම තේරෙනවා අම්මාගේ ආදරය වගේම ආරක්ෂාවක් මේ ගේ ඇතුළේ තියෙනවා කියලා. ඒ ආදරය එයාට දැනෙනවා. එතැන ඉඳන් සැමී තමාගේ ආත්මය හෙමි හෙමින් නිරාවරණය කරනවා. සැමී කට ඇරලා හිනා වෙනවා. මම හැම වෙලාවකම උත්සාහ කරන්නෙ චරිතයක යටි පෙළත් එක්ක ගනුදෙනු කරන්න. මට වැදගත්ම දේ ඒක. ජගත් චමිල කියන සංස්කෘතික මිනිහයි ප්‍රකෘතියේ මිනිහයි වෙනස් වෙන්නෙ එතැනදි. ජගත් චමිල කියන්නෙ සංස්කෘතික මිනිහෙක්. හැබැයි සැමී කියන්නෙ ප්‍රකෘතියේ මිනිහා. ඒක වෙන්නෙ ජගත් චමිලට තියෙනවා මේ සංස්කෘතික රාමුව තුළ රැකගන්න සහ යාවත්කාලීන කරන්න ටිකක්. මම හදාගත්ත හෝ හදාගත යුතු දේවල් ටිකක් තියෙනවා. සැමීට එහෙම දේවල් නෑ. ඒ නිසා සැමී සැමීට දැනෙන ඇත්ත කියනවා. හාම්පුතා මේක කරන්න පුළුවන්ද කියලා යමක් අහද්දි එයා බෑ කියන්නෙ එයාගේ ඇත්ත ඒක. ජගත් චමිල ගියා නම් රස්සාවක් හොයාගෙන ඒ හාම් පුතාගේ ගෙදරට, සැමී වගේ ඇත්තටම ඇත්ත කතා කරයිද? හාම්පුතා අන්තිමට අහනවා, උඹට මොනවද කරන්න පුළුවන් කියලා. සැමී කියනවා මට කරන්න පුළුවන් මකුළු දැල් කඩන්න කියලා. සැමී හිතන්නෙ මකුළු දැල් කඩන එක රස්සාවක් කියලා. මම මේ කියන්නෙ මනුස්සයෙක් බාහිර සමාජයට විවෘත වෙන ස්වභාවය. සැමීව රැකියාවට අරගත්තට පස්සේ හාම්පුතා කියනවා, උඹ හැමදාම උදේ 7.00 වෙද්දි මේ මාළු ටැංකියේ මාළුන්ට කෑම දාපන්. ආය 12.00 ට දාපන් කියනවා. සැමී හාම්පුතාගේ කට දිහා බලාගෙන ඉන්නවා. හාම්පුතාට තේරෙනවා සැමීට වෙලාව පිළිබඳව හැඟීමක් නෑ කියලා. හාම්පුතා කියනවා නෑ නෑ නෑ.. උඹ 7.00 ට 12.00 ට ඕනෑ නෑ, උඹ උඹට බඩගිනි දැනෙන වෙලාවට උඹ මේ මාළුන්ට කෑම දාපන්කො කියලා. එතකොට සැමී හිනා වෙනවා. සැමීගේ බරපතළම ප්‍රකාශනය එළියට එන්නෙ ඊට පස්සෙ. සැමී කියනවා මාළුන්ගේ බඩගින්න නිවන්න කෑම දාන්න ඕනෑ නම් ඇයි මාළු ටැංකියක්. අර තියෙන්නෙ ගඟක්. ගඟෙත් මාළු ඉන්නවනෙ කියලා. ඇත්තටම සැමීගේ ඒ ප්‍රකෘතියත් එක්ක අපි මේ ගනුදෙනු කරන සමාජයේ හිස්තැන් කොච්චර මතුවෙලා පේනවද? ඒ නිසා තමයි සැමී වගේ අය මේ සමාජ ක්‍රමවේදය තුළ හැමදාම විකෘතියක් වෙන්නෙ. මම කැමති එවැනි චරිත තුළ යටි පෙළ හා ඈඳුණු කථිකාවතක්, සංවාදයක් ගොඩනගන්න. මොකද ඕනෑම චරිතයක යටි පෙළ පෙනෙන දේ විනිවිදව කියවන්න බැරි වූ තැන කවදාවත් ඒ චරිතය තුළ හුස්ම ගන්න බෑ.




රිටිගල සුමේධ කියන දුලබ රංගවේදියා ඔබ නිර්වචනය කරන්නෙ කොහොමද?


රිටිගල ගුරුන්නාන්සේ පැහැදිලිවම රංගනය කියන විෂය වෙන් කරගෙන ඉන්නෙ. එයාට පුද්ගලයෙක් වශයෙන් විෂය පථයේ ඇලෙන්න කිසිම උවමනාවක් නෑ. එයා සමහරවිට ආය කවදාවත් අපිට මුණගැසෙන එකකුත් නෑ. රිටිගල ගුරුන්නාන්සේට තියෙන්නෙ ආධ්‍යාත්මික අරමුණක්. ඒ ආධ්‍යාත්මික අරමුණ වෙනුවෙන් එයා කැප වී ඉන්නවා. මම හිතන විදිහට එයා ඒ අරමුණ වෙනුවෙන් මාර්ගය සකස් කරගෙන ඉන්නෙ එයාගේ ශිල්පීය ශක්තිය, ගුණය පාදකව. සෞන්දර්ය කියන්නෙ බෞද්ධ දර්ශනය අනුව ගත්තත් ලෝකය හදන, නිර්මාණය කරන මෙවලමක්. සංස්කාර හදමින්, ගොඩනගමින් අපි මේ සංසාර ගමන යනවා. රිටිගල ගුරුන්නාන්සේ එතැනින් ඈත් වී ආධ්‍යාත්මික ගමනක් යනවා. ඇත්තටම ජගත් කියන මම සෑහෙන දුරට මේ මොහොතේ ඉන්නෙ ජීවිත අවබෝධයක් එක්ක. ඒ අවබෝධය තමයි සංස්කාර හදාගන්න එක හැකි තරම් නතර කරගත යුතුයි යන අරමුණ. ජගත් චමිලව අත්හැරලා චරිතයකට යද්දි මට හැමදාම ශුණ්‍යාත්මක මොහොතක් හමුවෙනවා. ඒ ශුණ්‍යාත්මක මොහොතෙදි මට මෙනෙහි වෙනවා මම කියන කෙනා එතැන නෑ නේද කියලා. එතැන ඉන්නෙ වෙන කෙනෙක්. මම මාව පැත්තකින් තියලා වෙන කෙනෙක් වෙනුවෙන් පෙනී ඉද්දි මමම ප්‍රශ්න කරනවා, කෝ එතකොට ජගත් චමිල කියලා. බුද්ධ දර්ශනයේ ගැඹුරු සිද්ධාන්ත මම ගවේෂණාත්මකව හොයාගෙන යන්නෙ එතැනදි. ඒ ශුණ්‍යාත්මක මොහොත තුළ මට මා සංවේදී වෙන දැනුමක් මුණගැහෙනවා. මම කැමති නෑ, මම හරහා ප්‍රේක්ෂකයන්ට ෆැන්ටසි හදන්න, බාහිරව දිලිසෙන්න මම කැමති නෑ. මා තුළ හීන කුමාරයෙක් නෑ. මට ඕනෑ මිනිසුන් යථාර්ථය තුළ රඳවන්න. මම මගේ ප්‍රේක්ෂකයන්ට කියන්නෙ මාව බාහිරින් අඳුරාගන්න එපා, මම කළ කී දෑ වල අරුත සොයන්න කියලා. මම ඉන්නෙ එතැන.


පාස්පෝට් අමරෙට ප්‍රේක්ෂකාගාරය ආදරෙයි. අමරෙ හා ගත් හුස්ම දැනුණේ සහ දැනෙන්නෙ කොහොමද?


රංගන ශිල්පියෙක් විදිහට චරිතයක් හා ගත කළ කිසිම මොහොතක් කළ කිසිදු කැප කිරීමක් මට විශේෂ නෑ. ඒක මගේ රාජකාරිය, මගේ වෘත්තිය. රංගනය තුළ මගේ උපරිම සීමාවට යන වගකීම් වෙනුවෙන් මා පෙනී ඉන්න ඕනෑ. රංගනය වෙනුවෙන් විඳින්න ඕනෑ දුකක් නම් ඒ දුක විඳින්නත් මම ලෑස්තියි. එය මට මගේ විෂය තුළ පැවරුණ රාජකාරියේ කොටසක්.


ඔබ කී සියල්ල අවසානයේ පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් වෙනවා. රංගන ශිල්පියා කියන්නෙ අසීමාන්තික සැරිසැරීමක් සහිත ජීවියෙක්!


ඔව්. එය එසේ විය යුතුයි. මාණික්කාවත ඉවර කරලා අවුරුදු එකහමාරක් යනතුරු මම රඟපෑවේ නෑ. ආයෙමත් මට මගේ ඇත්ත ජීවිතය දනවන සංවේදනාවන් තුළ තමා මම රංගනයට ආවේ. ඔව් රංගන ශිල්පියෙක් කියන්නෙ කොන්දේසි විරහිත අසීමාන්තික මානවයෙක්.


• සංජීවිකා සමරතුංග




Previous Post Next Post