මටම කියලා කවුරු හරි හිටියනම්! එහෙමත් හිතුණා ඉතින් - සංගීත්

 



සංගීත්ට ආදරය කියන්නෙ කොහොම හැඟීමක්ද? ආදරයට නිර්වචනයක් දෙන්න?


ආදරය කියන්නෙ ඉතා සුන්දර වචනයක් වගේම ඉතා ලස්සන හැඟීමක්. ආදරය කියන දේ අපි හැමෝටම අවශ්‍ය වෙනවා. අම්මා, තාත්තා, ආදරවන්තිය, සතා සිවුපාවුන්, මේ හැමදෙනාටම අපි දක්වන ආදරය හරි සුවිශේෂීයි. මුලින්ම අපිට ආදරය ඇතිවෙන්නෙ අපේ අම්මගෙන්. පුංචි කාලේ ඉඳන් දැනෙන ආදරයට විවිධ අය ජීවිතයට මුණගැසීමත් එක්ක තවත් ආදරය එකතු වෙනවා. අම්මාගේ ආදරය අපිට පෙම්වතියන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. යාළුවන්ගෙ ආදරය අපිට අම්මගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය වගේ ආදරයක් පෙම්වතියගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒ ආදරය එකිනෙකට වෙනස්. ආදරයේ වර්ග ගොඩයි. හැබැයි ඒ දේවල් නැතිවුණාම දැනෙන දුක එකමයි.


ආදරය නිසා ඔයාගේ ජීවිතයට ලැබුණු ජයග්‍රහණ සහ වටිනාම දේවල් මොනවද?


ආදරය නිසා ලැබුණු ලොකුම ජයග්‍රහණය මට ලැබුණු මුල්ම සම්මානය කියලයි මට හිතෙන්නෙ. ආදරය නිසා තමයි ඒ හැමදේම අපිට ලැබෙන්නෙ. ඒ වගේම මග තොටේදී කෙනෙක් ඇවිත් අපිත් එක්ක සෙල්ෆියක් ගහන්න කතා කරනවා කියන්නෙත් අපිට වටිනාකමක් එකතු වෙනවා කියලයි. කවුරු හරි මම ළඟට ඇවිත් “අනේ සංගීත් අපි ෆොටෝ එකක් ගමුද?” කියලා ඇහුවොත් මම හරිම කැමැත්තෙන් ඒකට ඉඩ දෙනවා. ඉතාම ආදරණීය හැඟීමක් ඒ මොහොතේදී මට දැනෙනවා. මම තාම මතකයි මගේ මුල්ම සම්මානය. කාලයක් රඟපාද්දි මට මගේ මුල්ම සම්මානය ලැබුණා. මගේ අම්මා මම හැමෝම ඉස්සරහ කැපී පෙනෙන චරිතයක් වෙනවා දකින්න ආසා කළා. ඒ නිසාම මට ලැබුණු මුල්ම සම්මානය වන රයිගම් සම්මාන උළෙලේදී නැගී එන නළුවාගේ සම්මානය ලැබෙද්දි මම ඒක ගන්න අම්මාවත් එක්කගෙන ගියා. එදා ඒ සම්මානය අම්මාගේ අතට දෙද්දි අම්මා ගොඩක් සතුටු වුණා. ඒක මම ලබපු ජයග්‍රහණයක් විදියට මම දකිනවා.


ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම් සහ අහිමිවීම් එහෙමත් ඇති?


ඔව්... එහෙම දේවලු‍ත් ඕනෑ තරම් තියෙනවා. ආදරය නිසා ජයග්‍රහණ, වටිනාකම්, වගේම හිත් රිදීම්, අහිමිවීම් තියෙනවා. ඒක තමයි ජීවිතය කියන්නෙ කියලයි මම නම් හිතන්නෙ.


ආදරය නිසා රිදුණු තැන් දරාගන්න හොඳම විදිය මොකක්ද?


ආදරය නිසා දැනුණු රිදුම්, වේදනා, විඳ දරාගන්න විදි තියෙනවා. ඒවා කෙනකුගෙන් කෙනකුට වෙනස් වෙනවා. කෙනෙක් ඒකට මුහුණ දෙන විදිහ සහ ඒකට ප්‍රතිචාර දක්වන විදිය තවත් කෙනකුට අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහරු සතුටේදිත් තනියම බොනවා. තවත් සමහරු දුකේදිත් බොනවා. සමහරු අඬනවා. හැබැයි මම ඒ රිදුම් දරාගන්න හැටි තාම දන්නෙ නැහැ. ඒක විස්තර කරන්න මට තේරෙන්නෙ නැහැ.


නළුවෙක් විදියට ලැබෙන ප්‍රේක්ෂක ආදරය හුඟාක් සංවේදීව දැනුණු තැන් මොනවද?


රඟපාන චරිතය එක්ක මට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. විශේෂයෙන් ගම්වලට ගියාම ඒ ආදරය හරි අපූරුයි. සමහර ගම්වලට ගියාම ඒ ගම්වල ආච්චිලා සීයලාගෙන් ලැබෙන ආදරය හරි වටිනවා. විශේෂයෙන් මම රඟපෑ “සල් සපු නා”‍ නාට්‍ය නිසා ඒ ආදරය මට  උපරිමයෙන්ම ලැබුණා. මට කාලයක් ප්‍රේක්ෂකයන් විදිහට වැඩිපුරම හිටියෙ ආචිච්ලා සීයලා. කවඩියාට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාර ඒ සල් සපු නා චරිතයට ලැබුණා. ඒ නාට්‍ය පුරාවට ආච්චියි සීයයි මුණුපුරයි එක්ක ගලා යන නිර්මාණයක්. ඉතින් මම හිතන විදිහට ඒ නාට්‍ය යද්දී වැඩිහිටියන්ට තමන්ගේ මුණුපුරාව මතක් වෙන්න ඇති. ඒ නිසා ඒ චරිතයත් එක්ක වැඩිහිටියන්ගෙන් හරි සංවේදී ප්‍රතිචාර ලැබුණා.


ජීවිතයේ වැඩියෙන්ම ආදරය දැනුණු තැන්වලදී සංගීත් ඒවාට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?


මට ආදරය කරන තැන්වලදී මම ඒ අයට උපරිමයෙන්ම ආදරය ලබා දෙනවා. සමහර අය මාව හඳුනාගෙන මාත් එක්ක කතා කරද්දි මමම “අපි ෆොටෝ එකක් ගමුද?” අහලා මගේ ෆෝන් එකෙන්ම ඒ අය එක්ක ෆොටෝ එකක් ගන්නවා. සමහරු අපිට හරි ආදරෙයි. නමුත් ෆොටෝ එකක්වත් ගහගන්න විදිහක් නැති වෙද්දී මම ෆොටෝ අරගෙන මතක් වෙන්න තියාගත්ත අවස්ථා තියෙනවා.


ආදරය නිසා රිදවන අයට වෛර නොකර ඉන්න හිත පුරුදු කරගන්න ඕනෑ හොඳම විදිය මොකක්ද?


ආදරේදී කවදාවත් කාටවත් වෛර කරන්න හොඳ නැහැ. ආදරය කියන්නෙ හරි අපූරු බැඳීමක්. ඒක පරිත්‍යාගයක්. අපි පෙම්වතිය හා පෙම්වතාගේ ආදරය ගැන හිතමු. ඒ දෙන්නා ආදරය කරලා තරහ වුණාට පස්සේ කිසිමදාක අනිකාට වෛර කරන්න හොඳ නැහැ. ඒ කෙනාගේ අඩුපාඩු, වැරදි හොයනවට වඩා හැම මොහොතකම ඒ කෙනාගේ හොඳ ගැනම හිතන්න පුරුදු වෙන්න ඕනෑ. මේ මම කිව්වේ සාමාන්‍ය පොදු කාරණාවක්. ඒක ඒ වගේ ආදර සම්බන්ධතාවයකදී විතරක් නෙවෙයි, ඕනෑම ආදර බැඳීමකදී වුණත් පොදු දෙයක්. තමන් ළඟින් හිටපු හොඳම යාළුවා තරහා වුණාට පස්සේ ඒ යාළුවගේ වැරදි, අඩුපාඩු, පෞද්ගලික දුර්වලතා, තැන් තැන්වල කියනවට වඩා ඒ යාළුවාගේ හොඳ මතක් කර ගන්න. එතකොට හිතට වෛරයක් ඇතිවෙන්නෙ නැහැ.


ඔයා ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවාද?


ඔව්... අනිවාර්ෙයන්ම. මේ විශ්වයේ සියලු‍ම දේවල් බැඳීම් කියලයි මට හිතෙන්නෙ. අපි මැරි මැරී ඉපදෙමින් ජීවත් වෙන්නෙ අපිට සංසාරයේ එකට මුණගැහුණු අය එක්කයි. මඟ තොටේ යද්දී මුණගැහෙන සමහර මිනිස්සු අපි එක්ක ළෙන්ගතුව කතා කරන්නෙ, අපිට හුරු පුරුදු ගතියක් දැනෙන්නෙ ඒ නිසාම වෙන්න ඇති. අපිට සතුන් ගැන හුරු පුරුදු බවක් දැනෙන්නෙත් ඒ සංසාරගත බැඳීම් නිසා වෙන්න ඇති.


ආදරය නිසා ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?


ආදරය නිසා මට ලැබුණු වටිනාම තෑග්ග ආදරයම තමයි.


ජීවිතේ ඒකපාර්ශ්වික ආදරයක් කවදා හරි විඳලා තියෙනවද?


මෙහෙමයි... මම සිනමාවේදී ආදරය කරන චරිත දෙකක් ඉන්නවා. ඒ ආලියා බාත් සහ අමීර් ඛාන්.


සංගීත්ට ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැන් මොනවාද?


හැම මොහොතකම අපිට ආදරය අවශ්‍ය වෙනවා. හැබැයි ජීවිතේ ප්‍රශ්න වැඩිවෙන වෙලාවට මේක විසඳගන්න කවුරු හරි ළඟින් හිටියා නම් කියලා හිතුණු වෙලාවල් තිබිලා තියෙනවා.

 


• දිශානි ජයමාලි



Previous Post Next Post