මිනිස් මනසට කලාව ඖෂධයක්-දනුෂ්කා ජයරත්න

 


පුංචි තිරයේ, රිදී තිරයේ, වේදිකාවේ අපූරු මතක සටහන් තැබූ ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක්. නොමියෙන මතක රසික හදවත් තුළ සනිටුහන් කළ ඇය මෙවර හදගැස්මට සොඳුරු කතාබහක් එක් කළා. ඇය නමින් “දනුෂ්කා ජයරත්න”


මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?


මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි. ටෙලි නාට්‍ය තුනක විතර වැඩකටයුතු සහ වේදිකා නාට්‍යයකත් වැඩකටයුතු කරගෙන යනවා. ඒ වැඩකටයුතුත් එක්ක ගෙදරදොරේ වැඩකටයුතු තිබෙනවානේ. ඒ වගේම මම මෙතෙක් කාලයක් නොකරපු අලුත් වැඩ කටයුත්තකටත් සම්බන්ධ වුණා. ඒ තමයි මම ප්‍රයිවට් ස්ටුඩියෝ එකක් හරහා සිදු කරන අලුතෙන් පටන්ගත් පාඨමාලාවක ලෙක්චර්ස් කරන්නත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම රූපවාහිනියේ එක හඬකැවීමකටත් දායක වෙලා ඉන්නවා.


“මායාවී” ටෙලි නාට්‍යයේ ශ්‍රියා මාලාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?


මට හිතෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ළඟම මතකයේ ළෙන්ගතුව තිබෙන්නේ මම රංගන දායකත්වය ලබා දුන් “අයිරා”ගේ චරිතය. ඉතින් අයිරා කෙළින්ම ශ්‍රියා මාලා නම්බුහේවා වුණාම ඒක ටිකක් එකපාරටම දැනෙන්නෙ නෑ වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද මම දන්නවා ප්‍රේක්ෂකයෝ අයිරාට වගේම “කියාදෙන්න ආදරේ” ටෙලි නාට්‍යයටම ගොඩක් ආදරය කළා.


ශ්‍රියා මාලා නම්බුහේවා චරිතයේ භාෂාව හසුරවන විධිය වෙනස්. ඒ ගැන කතා කළොත්?


ඉතින් ඇත්තටම ශ්‍රියා මාලා නම්බුහේවා චරිතයේ භාෂා ව්‍යවහාරයත් එක්ක ඒ චරිතය ටිකක් අභියෝගාත්මක චරිතයක් වුණා. නමුත් දැන් නාට්‍යය පටන්ගත් මුල් කාලයට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියි. අපේ ලංකාවේ පළාතෙන් පළාතට භාෂා ව්‍යවහාරයේ පොඩි පොඩි වෙනස්කම් තිබෙනවානේ. ශ්‍රියාමාලා කියන්නේ හක්මන කෙනෙක්. නමුත් එයා කොළඹ ඇවිල්ලා ගොඩක් කාලයක් වෙනවා. අපි කතාබහ කරන විධියත් වොයිස් ටෝන් එක ටෙම්පො එක එකිනෙකාට වෙනස් නේ. එක එක චරිතවලට ඒ ඒ දේවල් යොදා ගැනීමේ කිසිම වැරැද්දක් මම දකින්නේ නැහැ. දැනට පිරිමි රංගන


ශිල්පීන් භාෂාව වරගන්වන විධි සමහර දේවල්වලට භාවිත කර තිබුණත් ගැහැනු රංගන ශිල්පීන් අතර ඒ විධියේ කතාබහ භාවිත වනවා හරි අඩුවෙන් මම දැකලා තිබෙන්නේ. ඒ චරිතයේ භාෂාව හසුරවන විධිය ගැන කතා කළොත් මෑතකදී රංගන ශිල්පිනියක් එහෙම භාෂාව හසුරවනවා ඇත්තටම මම දැකලා තිබුණේ නැහැ. මම ඒ ගැන හොයලා බලද්දිත් මම දැක්කේ පිරිමි රංගන ශිල්පීන් ඔය විධියේ වෙනස්කම් සහිතව භාෂාව හසුරවනවා විතරයි.


දැන් ගෝලීයකරණයත් එක්ක ඒ කතා විලාස වෙනස්කම් අඩුයිනේ. ඒ වගේම විශේෂයෙන් මහේෂ් අයියගේ පිටපත තුළ අපි හැරෙන්නේ කොතැනද, හිනාවෙන්නේ කොතැනද, ඔළුව කසන්නෙ කොතැනද මේ හැමදේම හරිම විස්තරාත්මකව ලියලා එවනවා. ඉතින් මහේෂ් අයියට කරන ගෞරවයක් විධියට ඒ ගැන මම නම් ලොකු උනන්දුවකින් වැඩකටයුතු කරන්නේ. ඇත්තටම ඒ චරිතය ලොකු අභියෝගයක්. දැන් දැන් සමහර වෙලාවට ගෙදරත් ඒ භාෂාවෙන් මම කතා කරන්නේ. ඉතින් මම තවමත් ශ්‍රියා මාලා නම්බුහේවාව හොයනවා.


ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස ඔබ නවක කලා පරපුර දකින්නේ කෙසේද?


මෑතකදී මට ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ නවක පරපුරේ අය සමඟ මහන්සි වී හෝ මේ වෙනුවෙන් කැප වී වැඩ කරන අයත් සමඟ. පැහැදිලිවම මහන්සි වී කැපවී වැඩ කරන නවක පරපුරේ අයගේ අඩුවක් දැක්කා. මම මේ කියන්නේ සමස්තයම නෙවෙයි. බොහෝ දෙනකු වෙන වෙන අරමුණුත් එක්ක ඉන්නේ. මේ ක්ෂේත්‍රයට ආදරයෙන් ආපු අය හරිම අඩුයි මට හමුවුණා. නමුත් මම විශේෂයෙන් කියන්න ඕනෑ මායාවී සහ කියා දෙන්න ආදරේ ටෙලි නාට්‍යයන්වලදී හොඳ කණ්ඩායමක් හමුවුණා. ඒ ගැන කියන්නත් සතුටුයි. “මායාවී” හි මගේ දුවලා දෙන්නට රඟපාන්නේ දුෂේනි හා සමාධි.


ඔවුන් ගැන මට හරි සතුටුයි. සමාධි චරිතයට පණ දෙන විධිය ගැන නම් මගේ හිතේ ලොකු කැමැත්තක් තිබෙනවා. ඒ වගේම සමාධිට ලොකු වුවමනාවක් තිබෙනවා කරන වැඩේ හරියට කරන්න. ඒක මම හරි ප්‍රශස්ත විධියට දකිනවා. මම මේ කතා කරන්නේ මට හමුවන කීපදෙනා ගැන විතරයි. ඒ වගේම හෂාන්ටත් ලොකු උනන්දුවක් තිබෙනවා. හෂාන් සාමාන්‍යයෙන් අනාගතයේදී මොකක් හරි දෙයක් කරයි කියලා පෙනෙන ලකුණු තිබෙනවා. ශාන්ත අයියවත් මතක් කරන්න ඕනෑ. ඔහුත් ලොකු සහයෝගයක් ලබා දෙනවා.


එදා සහ අද කලා ක්ෂේත්‍රය තුළ සිදුවී ඇති වෙනස්කම් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


ඇත්තටම ඒ ගැන කතා කළොත් මමත් ඒ ගැන දුක් වෙනවා. අපි ක්ෂේත්‍රයට ආපු මුල් කාලයට සාපේක්ෂව ගුණාත්මක ටෙලි නාට්‍යය ප්‍රතිශතය ඉස්සර කරපු නිර්මාණවල වැඩි අගයක තිබුණා. දැන් නම් ටිකක් බිස්නස් පැත්තට බර වෙලා තමයි තිබෙන්නේ. මට දැනෙන විධියට නම් ලංකාවේ රසවින්දනය වෙන තැනකට මාරු වෙලා තිබෙනවා. ඒ කියන්නෙ මීට අවුරුදු දහයකට, පහළොවකට උඩදී අපි මිනිස්සුන්ගෙන් දැකපු රසවින්දනය නම් ගිලිහිලා තිබෙන්නේ. ගීත කලාව, ටෙලි නාට්‍යයේ කලාව තුළත් මම ඒක දකිනවා. නමුත් පොඩි හැරවීමකුත් දකින්නට තිබෙනවා. කලාව කියන්නේ මිනිසුන්ගේ මනසට ඖෂධයක්. එය ආකල්ප සංවර්ධනයට භාවිත කරන්න පුළුවන් මෙවලමක්.


ඔබ දක්ෂ හඬකැවීම් ශිල්පිනියක්. එකිනෙකට වෙනස් චරිතවලට හඬ කැවීමේ අත්දැකීම කොහොමද?


ඇත්තටම රංගන ශිල්පිනියක් විධියට ඒ ගැන මම කොහෙත් කියනවා. හඬකැවීම රඟපානවාටත් වඩා අමාරුයි. විශේෂයෙන් ඒක රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණාම තවත් අමාරුයි. මොකද ස්ක්‍රිප්ට් එක කියවද්දි අපට මූඩ්ස් එනවනේ. හඬ නළුවෙක් හෝ නිළියක් වෙනවා කියන්නේ අපි කවුරුහරි රඟපෑ බාහිර පුද්ගලයකුටනේ හඬ දෙන්නේ. ඉතින් ඒ බාහිර පුද්ගලයා ඒ අවස්ථාවේ රඟපාලා තිබෙන විධියට අපි ඩයලොග්ස් දෙන්න ඕනෑ. රඟපෑමේදී නම් සාත්වික අභිනයන් අපට තිබෙනවා. නමුත් හඬ කැවීමේදී හඬ විතරනේ අපට තිබෙන්නේ. මට දැනෙන විධියට රංගනයට වැඩිය භාරදූර කාර්යයක් තමයි හඬ කැවීම කියන්නේ. මම හරි ආසයි අපේ ටෙලි නාට්‍යයක් හඬ කවලා පිටරටක පෙන්වනවා කියන දේ අහන්න.


මිනිසුන්ට කලාව ගැන ලොකු උනන්දුවක් ඇතිවෙලා. රසිකයෝ දැන් කලාව සමාජ මාධ්‍ය හරහා විචාරය කරන තත්ත්වයකට ඇවිත්. මේ ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම වේදිකා නාට්‍යයකදී හෝ මට මුහුණට හමුවෙලා හෝ කෙනකු දෙන ඒ කමෙන්ට් එක මම හරි ආසාවෙන් භාරගන්නවා. ඇත්තටම සමාජ මාධ්‍ය හරහා විචාරය හොඳ දෙයක්. මොකද මම රඟපාපු ටෙලි නාට්‍යයක ජීවිතයට මට විදේශ රටක කෙනකුගේ අනුරාධපුරේ ඉන්න කෙනකුගේ හෝ වෙනත් ප්‍රදේශයක ඉන්න කෙනකුගේ කමෙන්ට් එකක් හමුවෙලා ගන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්නේ. නමුත් ඒ සමාජ මාධ්‍ය හරහා ලියැවෙන


විචාරවල ඇත්තම ලියැවෙනවා නම් හොඳයි. සමහර වෙලාවට අත්දැකීමෙන් මම දකිනවා අනවශ්‍ය අගය කිරීම් නිසා රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ තිබෙන දක්ෂතා නැතිවෙලා යනවා. සමහර වෙලාවට සමාජ මාධ්‍ය තුළ හික්මීමක් නොමැති වචන භාවිත වෙනවා. ඉතින් හිතෙන ඔක්කොම අනවශ්‍ය දේවල් එක්ක ලියන්නේ නැතිව අවශ්‍ය දේ විතරක් ලියැවෙනවා නම් හොඳයි කියලා හිතනවා.


ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


දැනට සම්බන්ධ වෙලා ඉන්න ටෙලි නාට්‍ය තුනත් සමඟ ටික කාලයක් ඉන්න වෙයි. ඊට අමතරව ලොකු වැඩකට අතගහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම පෞද්ගලික මාධ්‍ය ආයතනයක තිර රචනා කළා කාලයක්. ඒ අත්දැකීම් සහ රංගන දිවියේ අත්දැකීම් එකතු කරගෙන ලොකු වැඩකට අතගහන්න ඉන්නවා. බලමු ඉතින් ඉස්සරහට. මම හරි සරල සැහැල්ලු කෙනෙක්. බලාපොරොත්තුවකට කියලා තිබෙන්නේ මගේ පුතාගේ අනාගතය ගැන තමයි.


රුවිනි අමරකෝන්



Previous Post Next Post