කඳු නැග්ගට දුකක් නෙවෙයි! ධාරාට මම ආදරෙයි



නිවර්තනාට පහුගිය කාලේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අනුරුද්ධ ජයසිංහගේ “ධාරා”‍ සිනමා පටයටයි. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?


“ධාරා”‍ කියන්නේ හරි බර කතාවක්. අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සටන්කාමී විමුක්තිය හොයාගෙන යනවා. ඒ ගමනේදී විවිධ දුෂ්කරතාවලට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. එයින් හත් දෙනෙක් මිය ගිහින් එක් අයෙක් ඉතිරි වෙනවා. ඒ ඉතුරු වුණු කෙනාට ආරණ්‍ය සේනාසනයේ හාමුදුරු නමක මුණ ගැහෙනවා. ඔවුන් හොයන්නෙත් විමුක්තියයි. අපි හෙව්වෙත් විමුක්තියයි. ඒ හැමෝම හොයන විමුක්තිය එකිනෙකට වෙනස් වුණා. පාරවල් දෙකක යන ගමනේදී තමන් යා යුතු මඟ තමන් තීරණය කළ යුතු වෙනවා. මගේ මුල්ම සිනමා පටය වන්නේ A ලෙවල් චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළේ දමින්ද මඩවල මහතායි. ඔහුගෙන් මට “ධාරා”‍ චිත්‍රපටයට මුලින්ම ආරාධනාව ලැබුණා. ඊට පස්සේ අනුරුද්ධ ජයසිංහ මහතාව මුණ ගැහුණා. ඔහු මාව මේ චරිතයට තෝරා ගත්තා.


“ධාරා”‍ චිත්‍රපටයේ ඔයා රඟපෑ චරිතය ගැන කතා කළොත්?


මම රඟපෑවේ සුධර්මා කියන චරිතයයි. ඇය ගුරුවරියක්. ගෙදර සාම්ප්‍රදායික විදිහට හැදුණු ගුරුවරියක්. ඒ වගේ චරිතයක් ආයුධයක් අරගෙන විමුක්තිය හොයාගෙන යනවා කියන්නෙම වෙනමම කතාවක්. නිර්මාණය ඇතුළේදී ආයුධත් අරගෙන යන ගමනේදී ඇගේ සම්ප්‍රදායික චරිතය ඉස්මතු වෙන අවස්ථා තිබුණා. ඒ හැම බැරියර් එකක්ම කඩාගෙන ඇය විමුක්තිය හොයාගෙන ආයුධය අතට අරගෙන යනවා.


නිර්මාණයේදී කඳු නගින්න තිබුණා. එහෙම නේද?


අම්මෝ ඔව්... මම කොහොමටත් කඳු නගින වැඩවලට හරි ආසයි. මම සොබාදහමට හරි ආදරෙයි. අපිට සොබාදහමෙන් බොහෝ දේවල් ලැබෙනවා. හැබැයි අපිට මේ සොබාදහමට දෙන්න දෙයක් නැහැ. ඒ නිසා මම අඩුම තරමින් මම කන ටොෆියක කොළයක්වත් මේ පරිසරයට මුදාහරින්නෙ නැහැ. මම හැම මොහොතකම ඒ දේ රැකගන්න උත්සාහ කරනවා. ඉතින් මේ කර්කෂ පරිසරයෙන් මිදිලා දවස් ගාණක් සොබාදහමත් එක්ක ජීවත් වෙන්න ලැබීමත් මගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා. අපිට ඒ පරිසරයේ දකින්න තිබුණේ කොළ පාට පරිසරයක් විතරමයි. සොබාදහමේ තියෙන හරි අපූරු සුවඳ අපි වින්දා. ඒ සුවඳ මේ කොළඹ නාගරික පරිසරයෙන් කවදාවත් අපිට විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ ගමන හරි අපූරුයි.


නිවර්තනා කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?


මම කලාවට සම්බන්ධ වෙන්නේ උසස් පෙළ කාලයේදී. ඒ A ලෙවල් චිත්‍රපටයෙන්. එය මොහාන් පෙරේරා මහතාගේ අධ්‍යක්ෂණයක්. ඊට පෙර මම අජිත් ක්‍රිෂාන්ත සේරම් ගුරුතුමාගේ නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වුණා. එතැනට මොහාන් පෙරේරා ඇතුළු සිනමා පට කණ්ඩායම ආවා. එහෙම දැකලා තමයි ඔවුන් මාව චිත්‍රපටයට තෝරා ගත්තේ.


ඔයාට ගෙදරින් ඒ ගමනට අවසර දුන්නේ නැහැ නේද?


නැහැනේ... අම්මා අප්පච්චි කැමති වුණේම නැහැ. හැබැයි චිත්‍රපට කණ්ඩායමට මාව අවශ්‍යමයි කියලා දැඩි අවශ්‍යතාවයක් තිබුණා. ඔවුන් ගෙදරට ලියුම් එව්වා. අජිත් සර්ටත් ඉල්ලීම් කළා. අවසානයේදී කොහොම හරි ගෙදරින් අවසරය දුන්නා.


පුංචි කාලේ ඉඳන් රඟපාන්න කැමැත්තක් තිබුණද?


ඔව්... පුංචි කාලේ ඉඳන්ම ඒ ආසාව තිබුණා. අපි හැමෝම නළුවෝ. අපි හැමෝම නිළියෝ. මම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් නටනවා. රඟපානවා. කොහොමටත් මම පුංචි කාලේ ඉඳන් නර්තනය කළා. A ලෙවල් කළාට පස්සේ මම රංගනයට වැඩි නැඹුරුවක් දැක්වූවා.


නිවර්තනා ඉගෙන ගත්තේ මොන පාසලේද?


මම ඉගෙන ගත්තේ බාඳුරාගොඩ ධර්මාශෝක විදුහලෙන්. පුංචි කාලේ ඉඳන් මට හීන ගොඩක් තිබුණා. හැබැයි රංගනය කියන්නේ මගේ හීනයක් නෙවෙයි. රංගනය කියන්නේ මගේ වෘත්තියත් නෙවෙයි. හැබැයි ඒ තමයි මම ආදරය කරන තැන. මම වැඩිපුරම සතුටු වෙන තැන. මගේ විනෝදාංශය, මම නිදහසේ විඳින තැන එතැනයි. ඒක මම කවදාවත් මගේ වෘත්තිය කර ගන්නේ නැහැ. මට කොහොමටත් ප්‍රසිද්ධ වෙන්න ආසාවක් නැහැ. මම මිනිස්සුන්ට රස වගේම බර දෙයක් දෙන්න තමයි ආසා වුණේ. කලාව කියන්නේ ආයුධයක් වගේ දෙයක්. කලාවට මිනිසුන්ගේ ඔළුවලට දීර්ඝ කාලීනව බලපෑම් කරන්න පුළුවන්. ඉතින් කලාව හරියට පාවිච්චි කළොත් ගොඩක් හොඳ දෙයක් කියලයි මම හිතන්නේ.


නිවර්තනා කැලණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. විශ්වවිද්‍යාල ජීවිතය මොන වගේද?


මම පවුලේ වැඩිමලා. මට නංගි කෙනෙක් ඉන්නවා. විශ්වවිද්‍යාලය මම තෝරාගත්තේ ගෙදරින් එළියට යන්න තිබුණු එකම අවස්ථාවක් කියලා හිතලයි. විශ්වවිද්‍යාලය මට හරි අපූරු තැනක් වුණා.


පහු කාලීනව නිර්මාණවලට සම්බන්ධ වෙද්දී ගෙදරින් ගැටලු‍වක් වුණේ නැද්ද?


නැහැ... අප්පච්චියි අම්මයි මම ඉගෙන ගන්නේ නැතිවෙයි කියල මුලින් බය වෙලා ඉන්න ඇත්තේ. ඒ කාලෙ මම පාසලේදී පන්තියේ ඉන්නවට වඩා ක්‍රීඩා පිට්ටනියෙයි, නැටුම් කාමරෙයි තමයි වැඩිපුර හිටියේ. ඒ දෙකේම නැත්නම් මම ශිෂ්‍ය නායක කාමරේ හිටියා. “ඔයා ඉගෙන ගන්නේ නැහැනේ”‍ කියලා ගෙදරින් කියද්දී මම මාසයක් පාඩම් කරලා “ඒ”‍ සාමාර්ථ තුනක් උසස් පෙළට ගත්තා. මම උසස් පෙළට කලා අංශයෙන් ඉගෙන ගත්තේ. අපේ ගෙදර අය මගේ ප්‍රතිඵලය මුලින්ම විශ්වාස කළෙත් නැහැ. මම විභාගයට මාසයක් තියලා තමයි වාඩිවෙලා අර පීඩනයෙන්ම පාඩම් කළේ. ඉතින් විශ්වවිද්‍යාලයටත් තේරුණාට පස්සේ අම්මයි අප්පච්චියි මාව තේරුම් ගන්න ඇති. මාව විශ්වාස කරන්න ඇති.


විශ්වවිද්‍යාලයෙදිත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණාද?


විශ්වවිද්‍යාලයටත් වඩා මම එළියේ ඉඳන් කාලයක්ම නාට්‍ය කළා. අකිල සපුමල් මානවඩු සර් යටතේ ඉගෙන ගත්තා. “ලෝකා”‍ කියන්නේ ඔහුගේ තිර රචනයක්. ඒ ටෙලිනාට්‍යයේ රඟපෑම වෙනුවෙන් රයිගම් 2022 සම්මාන උළෙලේදී වසරේ නැගී එන නිළියට සම්මානය දිනාගන්න මට පුළුවන් වුණා. අකිල සර් හොඳ නාට්‍යවේදියෙක්. ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.


දැන් ඔයා රඟපානවට ගෙදරින් කැමතිද?


මගේ පළවෙනි ටෙලිනාට්‍යයෙන්ම මට සම්මානයක් ලැබුණා. ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්. “ඔයා හිතුවක්කාර වුණේ නැත්නම් ඔයා ඔතැනට යන්නේ නැහැ පුතේ”‍ කියලයි මගේ අම්මා කිව්වේ. මම පුංචි කාලේ ඉඳන් පොඩ්ඩක් හිතුවක්කාරයි. එපා කිව්වොත් ඒක කරන්නම ආසා හිතෙනවා. දැන් ගෙදරින් හොඳ සහයෝගයක් තියෙනවා.


• දිශානි ජයමාලි



Previous Post Next Post