අඩියෙන් අඩිය ඉහළට ආවා මිසක පහළට වැටුණෙ නැහැ – නිසංසලා මධුෂාණි

 



ඇයගේ රංගනයන් ඔබට දැකගන්නට පුළුවන්. නිසංසලා ගැන වැඩිදුර තොරතුරු දැනගන්න මීවිත ඇය හා මේ විදිහට කතාබහක යෙදුණා.

නිසංසලා ගැන විස්තර ටිකක් කියමු?


මගේ ගම කුරූණෑගල. පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි.


කොහොමද රංගන ක්‍ෂේත්‍රයට පය තියන්නෙ?


මම මුලින්ම කළේ නිරූපණය. වෙළෙඳ දැන්වීම් වගේම බ්‍රයිඩ්ල් ෂූට්වලටත් පෙනී සිටියා. ඒ අතර ඔඩිෂන්වලට සහභාගි වුණා. දවසක් මට ලලිත් වසන්ත මහත්මයාගෙන් ආරාධනයක් එනව ‘නීල පබළු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියල. ඒ අනුව මගේ මුල්ම ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නෙ ‘නීල පබළු’. ඒ විදිහට තමයි මම රංගන ක්‍ෂේත්‍රයට එන්නෙ. සඳුන් රාජකරුණා අයියා, ධනුෂ්ක රත්නායක අයියා, අසංග අයියා සහ නිවන්ත අයියාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන.


නිරූපණ ක්‍ෂේත්‍රයට එන්නෙ?


මම පොඩි කාලෙ ඉඳන්ම ආසයි ලස්සනට අඳින්න. ඒ වගේම මගෙ පෙනුම ලස්සනයි කියල බ්‍රයිඩ්ල් ෂෝස් වලට ඉදිරිපත්වෙන්න කියල කතාකරනව. මේ දේවල් එක්ක නොදැනුවත්වම වගේ නිරූපණය පැත්තට යොමු වුණේ.


මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකින් දකින්න ලැබෙනව?


ඔව්, රැල්ල වෙරළට ආදරෙයි සහ පාට කුරුල්ලෝ යන ටෙලි නාට්‍ය දෙකේම මම චරිත නිරූපණය කරනව.


වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ?


මේ නාට්‍ය දෙක අතරින් පාට කුරුල්ලෝ හි චරිතයට තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ.


කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?


පාට කුරුල්ලෝ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයිය තමයි මට මේ සඳහා ආරාධනා කරන්නෙ. ඒ අනුව මම රූගතකිරීම්වලට එකතුවෙනව. ශිවගුරුනාදන් මහත්මයා සහ ඒ කණ්ඩායම ඉතාමත් සුහදශීලියි. අපි හැමෝම බොහොම සහයෝගයෙන් වැඩකරනව. ඒ වගේම මම බලාපොරොත්තු වුණේ නැහැ චරිතය මේ තරම් ප්‍රේක්‍ෂකයන් අතරට යයි කියල. ගොඩක් දෙනෙක් මේ නාට්‍යය හරහා මාව හඳුනාගත්තා.


ආරාධනය ප්‍රතික්‍ෂේප කරන්න හේතුවක් තිබුණෙ නැද්ද?


එහෙම දෙයක් හිතුනෙ නැහැ. මෙහි අධ්‍යක්‍ෂ ශිවගුරුනාදන් මහත්මයාගෙ වැඩ කොහොමත් හොඳයිනෙ. ඇත්තටම ඒකෙන් මට හොඳක් වුණා කිව්වොත් හරි. මොකද මේ නිර්මාණයත් එක්ක මට තවත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිල තියෙනව. ඉදිරියේදී ඒවාටත් සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නව. ඒ හැරුණම මියුසික් වීඩියෝස්වලට වගේම බ්‍රයිඩ්ල් ෂූට්වලටත් ආරාධනා ලැබිල තියෙනව.


ජී. නන්දසේන මහත්මයාගෙ දැනට රූගතකිරීම් අවසන් වුණ ටෙලි නාට්‍යයක් තියෙනව. ඒකත් ඉදිරියේදී විකාශය වෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව.


නිරූපණයෙන් රංගනයට යොමුවීම පහසුවක් වුණාද?


අපි එකවරම රංගනයට යොමුවෙනවට වඩා නිරූපණය හරහා රංගනයට යොමුවීම, රංගනයේදී අපිට පහසුවක් වෙනව. මොකද කැමරාව වුණත් ආධුනික වෙන්නෙ නැහැනෙ. යම්කිසි අත්දැකීමක් තියෙනව. මම කියන්නෙ නැහැ රංගනය සහ නිරූපණය කියන්නෙ එක වගේ දෙයක් කියල. නිරූපණයට වඩා රංගනය ගොඩක් අපහසුයි.


නිසංසලා දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?


ඇත්තටම දැන් නිරූපණයට යොමුවෙන්නෙ ගොඩක් අඩුවෙන්. නමුත් පසුගිය දවස්වල අලුත් ආරාධනා කිහිපයක් ලැබුණා. ඉදිරියේදී ඒවාටත් සහභාගි වෙන්න අදහසක් තියෙනව.


රංගනයට යොමුවෙද්දි ගෙදරින් කැමති වුණාද?


මුලදි තාත්තගෙ ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. අම්ම තමයි හැමදේකටම පස්සෙන් හිටියෙ. ඇය නොහිටින්න අද මම ඉන්න තැනට එන්න ලැබෙන්නෙ නැහැ. දැන් නම් තාත්තගෙත් අකමැත්තක් නැහැ. ගෙදර හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනව.


පාට කුරුල්ලෝ සියවැනි කොටස වෙනුවෙන් සැමරුම් උළෙලක් පැවැත්වුණා?


ඔව්, මීට කලින් මම එවැනි අත්දැකීමල් ලබල නැහැ. එහිදී බොහෝදෙනෙක් හඳුනාගන්න ලැබුණා වගේම හැමෝම බොහොම සතුටින් ඒ අවස්ථාවට එකතු වුණා.


සිනමාවට ආරාධනයක් ලැබුණොත්?


ඇත්තටම හොඳ සිනමා නිර්මාණයකට ආරාධනයක් ලැබුණොත් සතුටින් භාරගන්නව.


ඔබේ වෘත්තිය?


මේ වනවිට මම මගේම කියල රූපලාවණ්‍ය ව්‍යාපාරයක් කරගෙන යනව. රංගනයට සම්බන්ධවීමත් එක්ක එහි වැඩකටයුතුවලත් ප්‍රගතියක් තියෙනව.


රංගන ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?


රංගන ක්‍ෂේත්‍රය වගේම ඕනෑම ක්‍ෂේත්‍රයක තමන් හරියට ඉඳල වැඩ ටික හරියට කරනව නම්, නිහතමානීව ඉන්න පුළුවන්නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ.


කැපිලි කෙටිලි තිබුණද?


ඕනෑම ක්‍ෂේත්‍රයක එහෙම දේවල් තියෙන්න පුළුවන්. මටත් එහෙම දැනිල තියෙනව. නමුත් මම නොදන්නව වගේ පාඩුවේ මගේ වැඩ ටික කරගෙන ඉන්නව.


අධ්‍යක්‍ෂවරුන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


මම මේ වනවිට අධ්‍යක්‍ෂවරු හතරදෙනෙක් එක්ක වැඩකරල තියෙනව. ඔවුන් හතරදෙනාම බොහොම හොඳින් මට සහයෝගය ලබාදුන්නා.


නිසංසලා මොන වගේ චරිතයක්ද?


නිසංසලා කියන්නෙ ගොඩක් අහිංසක හරිම ආදරණීය චරිතයක්.


වේදිකාවට කැමැත්තක් නැද්ද?


අකැමැත්තක් නැහැ. මට කරන්න පුළුවන් කියල හිතෙන චරිතයකට ආරාධනයක් ලැබුණොත් භාරගන්නව.


මෙතෙක් පැමිණි ගමන ගැන අදහස මොන වගේද?


ඇත්තටම සතුටුයි. දිනෙන් දින අඩියෙන් අඩිය ඉහළට ආවා මිසක පහළට වැටුණෙ නැහැ. මම මගේ ඉලක්කවලට අමාරුවෙන් වුණත් ආවා. ඉදිරියටත් තව යන්න තියෙනව.


නිසංසලා වැඩිපුරම කැමති සම්මානය?


ඇත්තටම මම කැමතියි හොඳම නිළිය සම්මානයට.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post