එයාගේ පෑනෙන් එයාගේ අත පුරා මම මගේ නම ලියුවා... - දුශේනි මියුරංගි





දුශේනිට දැනෙන විදියට ආදරේ කියන්නේ මොන වගේ හැඟීමක්ද?


ආදරය කියන දේ එක එක විදියට අපේ ජීවිතවලට එනවා. අම්මාගේ, තාත්තාගේ, සහෝදර සහෝදරියන්ගේ, යාළුවන්ගේ, ආදරවන්තයා හෝ ආදරවන්තිය ආදී විවිධාකාර විදියට ජීවිතයට ආදරය ලැබෙනවා. ආදරය එක්ක තමයි අපි අපේ ජීවිතය අර්ථවත් කර ගන්නේ. ඉතින් ආදරය කියන්නේ ජීවිතය ජීවත් කරවන එක්තරා විදිහක ඔසුවක් කියලයි මට හිතෙන්නේ.


ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ සහ වටිනා දේවල් මොනවාද?


ආදරයත් එක්ක අපිට ජීවිතයට සහයෝගය ලැබෙනවා. අම්මා මට තියෙන ආදරයත් එක්ක මට ජීවිතය ඉස්සරහට ගෙනියන්න උදව් කරනවා. ඒ වගේම තමයි තාත්තා. ඒ වගේමයි මගේ ආදරවන්තයා. ඒ ආදරයත් එක්ක තමයි ජීවිතය ඉස්සරහට යන්නේ. ඒ සහයෝගය හරිම වටිනවා. ඒ සහයෝගය, අත දීම, මගේ ජීවිතයට ආදරය නිසා ලැබුණු වටිනාම දේ කියලයි මට හිතෙන්නේ. ඒ හැමදේම තියෙන්නේ ආදරයත් එක්කයි. අපි ජීවිතේ ජයග්‍රහණ ලබන තැන්වලදී වගේම කඩා වැටෙන තැන්වලදිත් අපි වටා ඒ පිරිස ඉන්නවනම් ඒක මම ජීවිතේ ලබන ලොකු ජයග්‍රහණයක්.


ඔයාට ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම් සහ අහිමිවීම් මොනවාද?


එවැනි අහිමිවීම්, රිදුම් තියෙන තැන් තියෙනවා. අපිට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් ආදරය සොයන්න පටන් ගන්නවා. පවුලෙන් පිට ඒ ආදරය හොයාගෙන යද්දී සමහර තැන්වලදී ආදරය අහිමිවුණු තැන්, රිදුණු තැන් තියෙනවා. හැබැයි අද ආපසු හැරිලා බලද්දී මම කවදාවත් ඒ දේවල්වලට වෛර කරන කෙනෙක් නෙවෙයි. ඒ සම්බන්ධතාවලින් මම යම් යම් පාඩම් ඉගෙන ගත්තා. ජීවිතයට යම් යම් දේවල් එකතු කර ගත්තා. ඒ නිසා මම ඒ හැමදේටම ස්තූති කරනවා.


ආදරේදී රිදෙන තැන් දරාගන්න හොඳම විදිය මොකක්ද?


ඕනෑම තැනක අපිට රිදෙන්නෙත්, දුක හිතෙන්නෙත් අපි ඕනෑම දෙයක් ලැබෙනවාට වඩා බලාපොරොත්තු වුණාමයි. ලැබෙන දේ සම සිතින් බාරගන්න පුළුවන් නම් අපිට දැනෙන රිදුම් අඩුයි කියලයි මට හිතෙන්නේ. මගේ අම්මාගෙන්වත් මම දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අම්මා මම වෙනුවෙන් කරන දේවල්වලදි මම සතුටු වෙනවා. ඇයට අනේක වාරයක් ස්තූති කරනවා. ඕනෑම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්නවනම් අපිට රිදෙන තැන් ගොඩක් අඩුයි.


අපි කරන ආදරය භූමිකාවෙන් භූමිකාවට වෙනස් වෙනවා. ආදරය ළඟදී අවබෝධය වැදගත් වෙන්නේ කොහොමද?


අම්මා කියන කෙනාට “අපි මේ දේ කළ යුතුමයි” කියලා අපි හිතනවා. සමහර අම්මලා “දරුවා මේ දේ මම වෙනුවෙන් කළ යුතුමයි” කියලා හිතනවා. හැබැයි මගේ අම්මා කවදාවත් මට එහෙම වගකීම් පවරන කෙනෙක් නෙවෙයි. එයා කවදාවත් මගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේ අයට මේ වගකීම් ඉටු කරන්න ඕනේ කියලා මටම හිතෙනවා. දියණියක් කියන භූමිකාව ඇතුළේ මට ඒ වගකීම්වලදී පීඩනයක් එන්නේ නැති නිසා මම ඒ දේවල් සතුටින් කරනවා. සහෝදරියක් විදිහට, ප්‍රේමවන්තියක් විදියට ඒ ඒ භූමිකාවන්වලදී වුණත් මම අවබෝධයෙන් හා වගකීමෙන් කටයුතු කරනවා.


දුශේනි... නිළියක් විදියට ලැබෙන ප්‍රේක්ෂක ආදරය හුඟාක් සංවේදීව දැනුණු තැන් මොනවාද?


ප්‍රේක්ෂකයන්ගේ ආදරය සංවේදීව දැනුණු තැන් කිහිපයක්ම තියෙනවා. මෑතකදී මම රූගත කිරීම් කරලා අවසන් වෙලා වාහනයට නගින්න හදද්දිම මානසික ආබාධිත වගේ කෙනෙක් වාහනය ළඟට ඈත තියාම දුවගෙන එනවා අපි හැමෝම දැක්කා. එයා මගේ ළඟට ආවා. මම වාහනෙන් බැහැලා ඒ මනුස්සයා දිහා බැලුවා. ඒ කෙනා අතේ තිබුණු පෑන මට දීලා මුළු අතේම මට කියලා මගේ නම ලියවා ගත්තා. අත පුරාම නම ලියා ගත්තට පස්සේ එයා මාත් එක්ක ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ තමයි ඔහු අත වනලා ආචාර කරලා සුහද විදියට එතැනින් ඈත් වුණේ. ඒක මම හරිම සංවේදී සිදුවීමක් වුණා. ඒ වගේ ප්‍රේක්ෂක ආදරය හිතට දැනුණු සිදුවීම් කිහිපයක්ම ජීවිතේ තියෙනවා.


ආදරයෙන් රිදවන අයට වෛර නොකර ඉන්න හිත හදාගන්න පුරුදු වුණේ කොහොමද?


අපි අසීමාන්තිකව ආදරය කරද්දී ඒ ආදරය සමහර වෙලාවට වෛරයකට පෙරළෙනවා. නමුත් ඒ ආදරය එක් තැනකදී අතහරින්න අපිට පුළුවන් වෙන්න ඕනෑ. මලකට වතුර දාලා ඒ මල ලස්සනට හදාගන්න අපි උත්සාහ කරනවා. ඒත් මල කඩලා බිඳලා දාන්න ගියොත් ඒ මල විනාශ වෙනවා. ආදරය කරපු කෙනෙක් හැර ගියාට පස්සේ ඒ අයට වෛර කරන්න අපිට බැහැ. අසීමාන්තික ආදරය වෛරයකට පෙරළන්න එපා. අනිත් කෙනා යන්න හදද්දි ඒ කෙනාට නිදහසේ යන්න ඉඩ හරින්න අපි හිත ශක්තිමත් කරගන්න ඕනෑ. ඒකට මුලින්ම තමන් තමන්ට ආදරය කරන්න ඕනෑ.


ඔයා ආදරයේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවද?


සමහර විට එහෙම විශ්වාස කරන්න සිදු වෙනවා. මම පුනරුත්පත්තිය ගොඩක් විශ්වාස කරනවා. සමහර විට සංසාරේ පතාගෙන එන සම්බන්ධතා තියෙන්න පුළුවන්. සමහර බැඳීම්වල අපිට මොකක්දෝ හුරු පුරුදු ගතියක් දැනෙනවා. මෙච්චර බැඳෙන්නේ කොහොමද කියලා හිතෙන තැන් තියෙනවා. ඒ නිසා සංසාරගත බැඳීම් යම් දුරකට මම විශ්වාස කරනවා.


ආදරය නිසා ලැබුණු වටිනාම ත්‍යාගය මොකක්ද?


ආදරේදී ජීවිතයට ලැබුණු වටිනාම දේ තමයි, කෙනෙක් මම වෙනුවෙන් කාලය වෙන් කිරීම.


ආදරය ඕනෑමයි කියලා වැඩියෙන්ම දැනුණු තැන මොකක්ද?


මම අවුරුදු හයක් විතර ප්‍රේමවන්තියක් නොවී තනියම ජීවිතය ගත කරපු කෙනෙක්. මගේ ගෙදර පොඩි බැල්කනියක් තියෙනවා. ඒ අවුරුදු හය පුරා සමහර දවස්වල රෑට ඒ බැල්කනියට වෙලා හඳ දිහා බලාගෙන “මට කවුරු හරි හිටියනම්” කියලා හිතුණු දවස් තිබුණා. ජීවිතේ සතුටු දේවල් ලැබුණත් ඒ සතුට බෙදාගන්න එදා මට කෙනෙක් හිටියේ නැහැ.


ඒක පාර්ශ්වික ආදරයක් විඳලා තියෙනවද?


ඔව්... ඒකත් හරි සුන්දර අත්දැකීමක්. ඒක තමයි ලෝකයේ තියෙන සුන්දරම සහ ප්‍රශ්න අඩුම ආදරය.


• දිශානි ජයමාලි




Previous Post Next Post