වේදිකාවෙදි තමයි මම හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ -කැලුම් ගම්ලත්

 


කැලුම් ගම්ලත් වේදිකාවෙන් බිහිවුණු අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ප්‍රසිද්ධ වේදිකාවට අත්පොත් තබන්නේ යශෝදරා සරච්චන්ද්‍ර සහ කුසුම්සිරි ලියනාරච්චි කළ ‘දඟයා සහ පුංචි අන්දරේ‘ වේදිකා නාට්‍යයෙන්. ඉන් පසුව කේ. බී හේරත්ගෙ ‘කළුකුමාරි‘, හෙන්රි ජයසේනයන්ගේ ‘හුනුවටයේ කතාව‘ (ගෲෂා), දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අකුණු‘ – (ළමා තැනී), අසංක සායක්කාරගේ ‘මං කෙලින් මිනිහෙක්‘, හිමාෂි විතානගේ – ‘කාටත් හොරෙන්‘, රාජිත දිසානායකගෙ – ‘හිතලා ගත්තු තීරණයක්‘, ජයලත් මනෝරත්නයන්ගේ – ‘ගුරු තරුව‘, ‘හඬ නිහඬ‘ සහ සංජීව උපේන්ද්‍රගෙ – ‘සාක්කිකාරි‘ වැනි නාට්‍ය නිර්මාණ සමග වේදිකාව මත සිය දස්කම් පෑ ශිල්පිනියක්. වේදිකාවෙන් ටෙලි ක්ෂේත්‍රයට ආ කැලුම්, තුසිත ද සිල්වාගේ ‘සොඳුරු දඩයක්කාරයා‘ හි රඟපෑම වෙනුවෙන් 2018 දී සම්මාන උළෙලකදී ජූරියේ විශේෂ සම්මානයක් ද ලබා ගත්තාය. එමෙන්ම පසුගිය දා අප අතරින් වෙන් වූ ඩබ්ලිව්. ජයසිරි අධ්‍යක්ෂණය කළ මුල්ම නිර්මාණය වූ “මුරුගසං” හි යශෝ වූයේ ද කැලුම් ගම්ලත්ය. රංගනයට පමණක් සීමා නොවුණු ඇය, හඬ කැවීම් ශිල්පිනියක ලෙස සිය හඬ මුසු කරන හඬ ශිල්පිනියකි. කාලයකට පසුව අසංක සායක්කාරගේ ‘සින්ටෝ‘ ටෙලි නාට්‍යය තුළින් යළි කැලුම් ගම්ලත් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්.


කැලුම්, කාලෙකට පස්සෙ ආයෙමත් පුංචි තිරයෙන් ඇවිත්?


ඔව්. අවුරුද්දකට විතර පස්සේ. “මුරුගසං” ටෙලි නාට්‍යයෙන් පසුව තව එක නිර්මාණයක් කළා. නමුත් ඒක තවම විකාශය වුණේ නැහැ. ඊට පස්සේ තමයි ‘සින්ටෝ‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.


කොහොමද ‘සින්ටෝ‘ නිර්මාණයට ඇරයුම් ලැබෙන්නෙ?


‘සින්ටෝ‘ රචනය සහ අධ්‍යක්ෂණය අසංක සායක්කාරයි. සායක්කාර අයියා එක්ක මම වේදිකාවේ වැඩ කරලා තියෙනවා. ඔහුගේ හිතේ ඇඳුණු රූප ටිකකට තමයි පිටපත ලියලා තිබ්බේ. එතකොට මාත් එහි ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි මට මේ නිර්මාණයට ආරාධනා කරලා තියෙන්නේ.


මොකක් ද ඔබේ භූමිකාව?


මගේ භූමිකාව මේනකා. මේනකා කියන්නේ හැමදේටම වැඩිය තමන්ගේ නිදහස අගය කරන කෙනෙක්. එයාගේ ජීවිතේ අංක 1,2,3 හැමදේම තමන්ගේ නිදහස. ඇත්තටම මේනකා වගේ චරිත ලාංකේය සමාජයේ හරි අඩුයි. එයා සිංගල් මාම් කෙනෙක්. හැබැයි කැමැත්තෙන් සිංගල් මාම් කෙනෙක් වෙන අය හරි අඩුයි. මුලදී කොච්චර තනියම ඉන්න අදහසක් තිබ්බත් ප්‍රෙග්නට් වුණොත් ඒ කෙනාව මැරි කරන්නම උත්සහ කරනවා. එක්කෝ ඒ ළමයා ගැන හිතලා හෝ ආර්ථික තත්ත්වය ගැන හිතලා වෙන්න පුළුවන්. හැබැයි මේනකා කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. එයා ජොබ් එකක් කරනවා. ආර්ථික මට්ටම යම් තරමකට ස්ථාවරයි. කතාව පටන් ගනිද්දී බබෙකුත් ඉන්නවා. හැබැයි ඒ බබාව හදාගන්න මැරි කරන්න ඕනේ කියන තැන නැහැ. මම මේ චරිතය ගැන සායක්කාර අයියාගෙන් ඇහුවේ, අයියා ඔයා මෙහෙම දන්නා කෙනෙක් ඉන්නව ද කියලා. මොකද මේ සායක්කාර අයියා ගේන්න හදන විදියේ අම්මා කෙනෙක් මම නම් දන්නේ නැහැ. සායක්කාර මේ ගේන්න හදන අම්මලා හය දෙනාගෙන්ම ඉතාම සරලම අම්මා මේනකා කියලා හිතුවට, ලංකාවේ සමාජයට සංකීර්ණම අම්මා. එයාට ප්‍රශ්නයක් ආවම එයා ඒ ප්‍රශ්න විසඳගන්නේ වෙනස් විදියට. අපේ සාම්ප්‍රදායික කාන්තාවට වැඩිය හරිම විවෘත මනසින් දකින කෙනෙක්. කෙළින් කතා කරන චරිතයක්. පෞද්ගලිකව මම කැමැති චරිතයක්. ඒ එක්කම මේනකාගේ සමහර ලක්ෂණ මටත් තියෙනවා. සායක්කාර අයියා ඒ නිසා මට ඒ චරිතය දුන්නා ද කියලත් හිතෙනවා. මම මේනකා කවුරු වගේ ද ඇහුවම කියන්නෙත් ඉතින් උඹම තමයි කියලා. මේනකාගේ තරම් නම් මගේ හිත ශක්තිමත් නැහැ.


‘සින්ටෝ‘ ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වෙයි ද?


අනිවාර්යයෙන්ම, සින්ටෝ ප්‍රේක්ෂකයන්ට වෙනම අත්දැකීමක් වෙයි. එකම වෙලාවක ප්‍රෙග්නට් වෙලා කියලා දැන ගන්නා අම්මලා හය දෙනෙක්ගේ කතාවක්. මම දන්නා තරමින් නම් මෙහෙම ස්ටෝරි එකක් යන නාට්‍යයක් නම් තිබිලා නැහැ. මේ අම්මලා හය දෙනාම ප්‍රෙග්නට් කියන එක විතරයි පොදු සාධකය. අනිත් හැම දෙයක්ම වෙනස්. කෙනෙක් බබෙක් නිසා සතුටු වෙද්දී තව කෙනෙක් දුක් වෙනවා. තව කෙනෙක්ට ලොකු ප්‍රශ්නයක්. එකිනෙකට වෙනස් ස්ටෝරි. එහෙම හය දෙනෙක්ගේ කතාවක් සතියේ දින පහේම බලද්දී ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වෙයි. ඒ නිසා ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගනී කියලා හිතනවා.


නිතරම නිර්මාණ තුළින් දකින්න නොලැබෙන්නේ ඇයි?


මගේ වෘත්තිය රංගනය නොවන නිසා මම ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැහැ. ඒ කියන්නේ මම කැමැති ජාතියේ නිර්මාණවලට මම මගේ දායකත්වය ලබලා දෙනවා.


වෘත්තීය කටයුතු එක්ක කලාව කරන්න වෙලාව තියෙනවා ද?


මම ආසම දේ මට දැනෙන දේ, මම ජීවත් වෙනවා කියලා හිතෙන්නේ රඟපෑම තුළ. ඒ නිසා වෘත්තීය කටයුතු එක්ක කලාව කරන්න කොහොම හරි වෙලාව හදා ගන්නවා. වෘත්තීය කටයුතු සහ ගෙදර කටයුතුවලට බාධාවක් නොවෙන විදියට මම වෙලාව හදා ගන්නවා.


වේදිකාවේ ඔබේ කටයුතු කොහොමද?


මේ දවස්වල නම් අලුත් වේදිකා නාට්‍ය වල වැඩ කරන්නේ නැහැ. කලින් කරපු නාට්‍යයක් විතරයි කරන්නේ. මේ දවස් වල මගේ පෞද්ගලික කාරණා එක්ක ලොකු කාලයක් කැප කරන්න බැහැ. ඒ නිසා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණත් ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න වුණා. හැබැයි මේ අවුරුද්දේ අග අසංක සායක්කාර අයියාගේ නාට්‍යකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. වේදිකාව තමයි මම කලාවට පය තිබ්බ තැන. වේදිකාවෙදි තමයි මම හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ. වේදිකා නාට්‍යයක් කරාම මාව රිෆ්‍රෙශ් වෙනවා. ඒ හැර වේදිකාවෙන් ඈත් වෙලා නැහැ. පෞද්ගලික කාරණා නිසා පොඩි කාලයකට බ්‍රේක් එකක් තිබ්බා. මේ අවුරුද්දෙන් පස්සේ ඒ තිබ්බ බ්‍රේක් එකට බ්‍රේක් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.


චරිත තෝරා ගනිද්දි වඩාත් සැලකිලිමත් වෙන්නෙ මොනවද?


චරිත තෝරා ගනිද්දි ගොඩක් සැලකිලිමත් වෙනවා. මම ආසයි අභියෝගාත්මක චරිත කරන්න. හැමෝටම කරන්න පුළුවන් චරිත වලට වැඩිය කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් තීරණය කරනවා නම් මේක කැලුම් කරයි කියලා හිතනවා නම් ඒ අභියෝගය භාර ගන්න මම ආසයි. ඒ කියන්නේ අපේ රටේ තියෙනවා මොකක් හරි එක චරිතයක් කළාම දිගටම ඇරයුම් එන්නේ එවැනි චරිතවලට. මම ආස නැහැ එහෙම කැටගරි වෙන්න. ඒ නිසා එකම විදියේ චරිත බොහොම නිහතමානීව ප්‍රතික්ෂේප කරනවා. මම නිතරම ආසයි එකිනෙකට වෙනස් චරිත කරන්න. එතකොට ඒ චරිතයට සහ මට මමම කරන සාධාරණයක්. මම කරපු නැති චරිතයක් තුළින් ඊළඟ නිර්මාණයක් කරන්න මම සැලකිලිමත් වෙනවා.


පවුලේ විස්තර මතක් කළොත්?


මගේ පවුලේ ඉන්නේ අම්මා අක්කා. අම්මා ඉන්නේ අක්කා එක්ක. මම කාර්යබහුල නිසා අම්මව බලාගන්නේ අක්කා. එයාලා කලාවට සම්බන්ධ නැතත් මට අවශ්‍ය නිදහස පවුලෙන් ලැබෙනවා. ඉස්කොලේ යන කාලේ හවස් වෙලා ගෙදර එද්දී ඔන්න රස්තියාදුකාරයා ගෙදර ආවා කියන එකේ ඉඳන් අද වෙනකම් මගේ නිර්මාණ රසවිඳිනවා. සමහර නිර්මාණවලට ප්‍රශංසා වගේම චෝදනා සම සිතින් විඳ දරා ගන්නවා.


සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු නේද?


මම මේ වෙද්දී මොකක් හරි සාර්ථකත්වයක් ලබලා තියෙනවා නම් ඒ සාර්ථකත්වය තුළ සීයට අනූවක්ම තියෙන්නේ එයාගේ සහයෝගයයි. එයාත් කලාවට සම්බන්ධයි. එයා නාද සංගීත කණ්ඩායමේ ඉන්නේ. නම සුපුන් පීරිස්. ගෙදර වැඩවලින් ඒ බර සම්පූර්ණයෙන්ම මගෙන් නිදහස් කරන්නේ එයා. මානසික නිදහස උපරිම දෙනවා. අපි දෙන්නා හරිම සහයෝගෙන් ඉන්නවා. එයා හැම වෙලාවේම මාව දරා ගන්නවා, ඉවසනවා. හැමදේකම මා වෙනුවෙන් පෙනී ඉන්නවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post