රඟපෑමට එන්න ඕනෑම හින්දා නමත් වෙනස් කළා – කුමාර වඳුරැස්ස

 


මේ දිනවල තිරගත වන උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනිඅවි සහ ගිනිකෙළි chapter2′ චිත්‍රපටයේ ප්‍රබල දේශපාලන චරිතයකට පණපොවන ඔහු නමින් කුමාර වඳුරැස්සය. ටෙලිනාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් හරහා ඔබ හමුවට එන ඔහු නිෂ්පාදකවරයකු ලෙසද හඳුන්වාදිය හැකිය. මෙවර මීවිතෙන් කුමාර වඳුරැස්ස වෙනුවෙන් අපි ඉඩක් වෙන්කරන්න අදහස් කළා.


ගිනිඅවි සහ ගිනිකෙළි නිර්මාණය ගැන මුලින්ම කතා කළොත් ?


ඇත්තටම උදයකාන්ත මහත්මයා මට දුන්න ලොකුම අභියෝගය තමයි ගිනිඅවි සහ ගිනිකෙළි චිත්‍රපටය. මම ඔහුගේ චිත්‍රපට වන ගින්දරී, මධුර චාරිකා, බන්ධනය, ගිනිමල් පොකුරු, රිදී සීනු කියන චිත්‍රපට සියල්ලේම රඟපාලා තියෙනවා. ඔහුගේ අලුත්ම චිත්‍රපටය තමයි ගිනිඅවි සහ ගිනිකෙළි 2 චිත්‍රපටය. මේ චිත්‍රපටය වෙනුවෙන් මගේ උඩුරැවුලත් කපන්න සිද්ධවුණා. උඩුරැවුල කපනකොට මම තවත් භාරගත්තු වැඩ කිහිපයක් තිබුණා. ඒ දවස්වල මම හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ වෛද්‍යවරයාගේ චරිතය රඟපානවා. අන්තිමේ ඒ නාට්‍යයට මම බොරු රැවුලක් දාලා තමයි රඟපෑවේ. නලීන් ප්‍රේමතිලක කිව්වා සතියකට කලින් රැවුල කපන්න කියලා. නමුත් හෙට ෂූටින් නම් මම අද රෑ තමයි රැවුල කැපුවේ. ඒ වෙලාවේ මටම මාව අඳුරගන්න බැරිවුණා. අපේ ගෙදර කට්ටියටත් මාව අඳුරගන්න බැරිවුණා. ඒ වෙලාවේ මට උදය අයියා කිව්වේ ප්‍රබල දේශපාලන චරිතම කොපි කරන්න එපා කියලයි. ඔයාට හැඟෙන විදිහට කරන්න කියලා. මේ වෙලාවේ නලීන් ප්‍රේමතිලකව මතක් කරන්න ඕනෑ. ඔහු තමයි මාව ඒ විදිහටම වේෂ නිරූපණය සිදුකළේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර ?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මංගල දර්ශනය වෙලවේ මට අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක්ම කතා කරලා කිව්වේ ‘මචං අපි හිතුවාට වඩා උඹගේ චරිතයට උඹ සාධාරණයක් කරලා තියෙනවා’ කියලයි. සමහරුන්ට මාව එකපාරටම අඳුරගන්න බැහැ. තවත් සමහරු කටහඬින් මාව අඳුරගෙන අහනවා ‘උඹනේද මංච උදයගේ වැඩේ ඉන්නේ කියලත්’. බිරිඳගෙනුත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


මේ දවස්වල අලුත් ටෙලිනාට්‍යයකින් දකින්න ලැබෙනවා ?


ඔව්. ඉන්දික ධර්මතිලකගේ විසේකාරී කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. එහි මම රඟපාන්නේ ධනවත් පවුලක ව්‍යාපාරිකයකුගේ චරිතයක්. ඒකත් වෙනස්ම අත්දැකීමක්. ඔය අතරේ මේ දවස්වල සිත නිදි නෑ, රොන්, අකුරට යන වෙලාවේ වගේ ටෙලිනාට්‍ය කිහිපයකම රඟපානවා.


ඔබට නිතරම ලැබෙන්නේ ධනවත් පවුල්වල චරිතද?


මම කැමැති විවිධ චරිත රඟපාන්න. නමුත් මට හම්බවෙන්නේ පොලිසියේ ප්‍රධානියෙක්, නඩුකාරයෙක්, නීතිඥවරයෙක්, වෛද්‍යවරයෙක්, රජයේ උසස් නිලධාරියෙක් වගේ චරිත. එකදිගටම පොලිස් චරිත රඟපාපු අවස්ථාත් තියෙනවා. මේ දවස්වල විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යයෙත් පොලිස් චරිතයක් රඟපානවා. දුප්පත් චරිත, ගමේ චරිත රඟපාන්නත් මම ආසයි. මගේ පෙනුමටද මන්දා ටිකක් සැර පරුෂ චරිත හම්බවෙනවා.


මොකක්ද ඔබ කරපු රැකියාව ?


මම අවුරුදු විසිදෙකක් යුද හමුදාවේ සැපයුම් අංශයේ සේවය කරලා විශ්‍රාම ගියා.


ඒ කාලේ යුද්ධයේ බිහිසුණු අත්දැකීම්වලට එහෙම මුහුණදීලා ඇති නේද?


අපි යුද්ධයට ගියේ නැහැ. නමුත් මම යාපනයේ එහෙම සේවය කරලා තියෙනවා. එක පාරක් අපි සප්ලයි අරගෙන යනකොට චාවාකච්චේරියේදී ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට හසුවුණා. පිටුපසින් ගිය බයස ඉස්සරකරලා යනකොට තමයි පිපිරුවේ. නමුත් ත්‍රස්තවාදීන් ඉලක්ක කරලා තිබුණේ අපි හිටපු මුලින්ම ගිය බස් රථය. අන්තිමේ බ්ලාස්ට් එකට අහුවුණේ පිටුපසින් ගිය බස් එක. එහෙම වුණේ ඒ බස් එක අපි ගියපු බස් එක ඉස්සර කරපු හින්දා. ඒකෙ හිටපු කට්ටියම නැතිවුණා. හැබැයි හමුදා මූලස්ථානට තොරතුරු ඇවිත් තිබුණේ අපි හිටපු බස් රථයත් හසුවෙලා අපිත් නැතිවෙලා කියලා. මොකද පළමුවැනි බස් එක අහුවුණා කියලයි හැමෝම හිතුවේ. නූලෙන් තමයි මම බේරුණේ. මම යුද හමුදාවෙන් විශ්‍රාම ගියේ 2006 වසරේ.


ඊට පසුවද රඟපාන්න ගත්තේ ?


ඔව්. ඊට පසුව තමයි පූර්ණකාලීනව රඟපාන්න ගත්තේ. මම ඉස්කෝලේ යනකාලේ ඉඳලා රඟපාලා තියෙනවා. ඉස්කෝලේ ගියේ වාරියපොල. ඒ කාලේ ගමේ කලායතනවල, ටීටර්වල පවා රඟපාලා තියෙනවා.


මුලින්ම රඟපෑ චිත්‍රපටය එහෙම මතක් කළොත් ?


මම මුලින්ම රඟපෑවේ රහයි ජීවිතේ කියන චිත්‍රපටය. ඒක තවම ආවේ නැහැනේ. ඒක රූගත කරලා දැන් අවුරුදු පහළොවක් විතර වෙනවා. මම රඟපෑ තවත් චිත්‍රපට දහයක් විතර තිරගත වෙන්න තියෙනවා. දැනට මම ටෙලිනාට්‍යත් හැටක විතර රඟපාලා තියෙනවා. ඒවායින් තිහක් විතර විකාශනය වෙන්න තියෙනවා.


ඔබ නිෂ්පාදකවරයෙක් විදිහටත් ප්‍රසිද්ධයි ?


ඔව්. මම මුලින්ම කේෂ්ත්‍රයට ආවේ නිෂ්පාදකවරයෙක් විදිහට. ඉහිරුණු කිරි තමයි මගේ පළමු නිෂ්පාදනය. මම එහි චරිතයක් පවා රඟපෑවා. ඊට පසුව ටෙලිනාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කළා.


රඟපෑමට එන්න ඕනෑ හින්දාද නම එහෙම වෙනස් කළේ ?


මගේ සැබෑ නම හේරත් මුදියන්සේලාගේ ආරිය කුමාර. කලාවට ආවට පස්සේ දිනේෂ් ප්‍රියසාද් කිව්වා ආරිය කුමාර කියලා චිත්‍රපටයට නම දාන්න එපා. ආරිය කුමාර වඳුරැස්ස කියලා දාන්න, ඝන හොඳයි කියලා. ඔහුගේ චිත්‍රපටයේ මගේ නම දාල තියෙන්නේ ආරිය කුමාර කියලා. ඒ වෙලාවේ මම කිව්වා මට ඕනෑ කුමාර වඳුරැස්ස කියලා. මගේ අයිඩින්ඩියේවත්, පාස්පෝට්එකේවත් ඒ නම නැහැ. කලාවට ඕනෑ හින්දයි ඒ නම යොදාගත්තේ.


වඳුරැස්ස කියන්නේ මගේ ගම. මගේ ඇත්ත නම ආරියකුමාර. නමුත් රටම මාව දන්නේ කුමාර වඳුරැස්ස කිව්වහමයි.


පවුලේ විස්තර එහෙම ?


මගේ බිරිඳ මල්ලිකා. ඇය විශ්‍රාමික පුස්තකාලයාධිපතිනියක්. දුව අමන්දි. ඇයත් කැලණිය සරසවියේ ජීව විද්‍යා අංශයේ උපාධිය හැදෑරුවා. පුතා සාලිය උපාධිය හැදෑරුවා. එයා දැන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.


දිනේෂ් විතාන




Previous Post Next Post