මම රඟපාන්න ආදරෙයි වගේම කෑදරයි-ශ්‍රියන්ත මෙන්ඩිස්

 


යුග යුග රැව් දෙන ඔහුගේ නාමය සදා නොමියෙන මතක සටහන් ලෙස ප්‍රේක්ෂක හද තුළ සනිටුහන් කළ ගමන් මඟ අපූරුයි. කලා කෙත අස්වද්දන්නට බිහි වූ ඔහු අසහාය වූ සොඳුරු කලාකරුවෙක්. හදගැස්මේ සොඳුරු කතාබහට එක් වූ ඔහු නමින් ප්‍රවීණ රංගන ශිල්පී “ශ්‍රියන්ත මෙන්ඩිස්” 


මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතුවල විස්තර ගැන කතා කරමු?


මේ දිනවල ඉන්දියන් කෲව් එකක් ඇවිල්ලා ෆිල්ම් එකක් කරනවා ‘ආදර නිම්නය’ කියලා. ඒ නිර්මාණයට මම රංගන දායකත්වය ලබා දෙනවා. ඒක අලුත් අත්දැකීමක්. මොකද ඒ නිර්මාණයේ කාර්මික ශිල්පියා හා කැමරා ශිල්පියා ඉන්දියාවේ. ඒ වගේම ප්‍රධාන චරිතය රඟපාන්නෙත් ඉන්දියාවට


සම්බන්ධ කෙනකු තමයි. අධ්‍යක්ෂතුමාත් ඉන්දියාවට සම්බන්ධ ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන අධ්‍යක්ෂවරයෙක්. එය වෙනස් වූ හැඩයක් සහිත චිත්‍රපටයක් බවට පත්වේවි කියලා අපි කල්පනා කරනවා. එහි ශ්‍රියානි අමරසේන, මහේන්ද්‍ර පෙරේරා, පබෝධා සංදීපනී සහ මගේ කණ්ඩායමක් හා මම ඇක්ට් කරනවා. ඒත් එක්කම ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතුවලත් යෙදිලා ඉන්නවා.


‘දෙවරක් චක්කරේ’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඒ ටෙලි නාට්‍යයට ටිකක් සැර ප්‍රතිචාර ලැබෙන්නේ. ඒක ටිකක් වෙනස් චරිතයක්නේ. ඒ කියන්නේ චරිත දෙකක් විධියට රඟපාන්නේ. එක්කෙනෙක් ‘ෂර්ලි’ කියන චරිතය. අනෙක් චරිතය ‘ලෙස්ලි’ කියන චරිතය. ඉතින් එක වගේ පෙනුම තිබෙන මිනිස්සු දෙන්නෙක්. රනිල් කුලසිංහ තමයි අධ්‍යක්ෂණය කළේ. ඒක ටිකක් වෙනස් හැඩයකින් යුත් ටෙලි නාට්‍යයක්.


ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස ඔබට නවක කලා පරපුර සමඟ එකට වැඩකටයුතු කිරීමේ අත්දැකීම ගැන කතා කළොත්?


මම රඟපෑම ආරම්භ කළේ ලංකාවේ තුන්වැනි ටෙලිනාට්‍යයේ. ලංකාවේ ඒ වෙනකොට ටෙලි නාට්‍යය දෙකයි හැදිලා තිබුණේ. එකක් ‘දිමුතුමුතු’ සහ අනෙක් නිර්මාණය ළා හිරු දහසක්. එදා සිට මම හිතන්නේ ටෙලි නාට්‍යය හාරසියයක පමණ මම රඟපාලා තිබෙනවා. වර්තමානයේ නව පරම්පරාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟත් දැන් මම රඟපානවා. ඒ කියන්නේ අලුත්ම පරපුර සමඟත්. ළංවී, සංසාරිණී, දෙවරක් චක්කරේ ආදී ටෙලි නාට්‍යයන් තුළින් මට අලුත්ම කණ්ඩායම් හමුවෙනවා. ‘සංගීතේ’ ටෙලි නාට්‍යය වසර කිහිපයක් පුරා විකාශය වන නාට්‍යයක්. එහි සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ


ගායකයන් වීමේ සිහිනයෙන් පැමිණි අයත් රඟපානවා. නමුත් ඔවුන්ද ප්‍රවීණ නළු නිළියන් හා සමානව තම දක්ෂතා ප්‍රකට කරනවා. ඉතින් වැඩකටයුතුවලදී ඒ හැමෝටම මම අප්පච්චි වෙනවා. තවත් වතාවක ශ්‍රියන්ත මාමා වෙනවා. ඒ හැම දෙයක්ම මැද ඔවුන් සමඟ කතිකාවක් ගොඩනඟාගෙන අපේ අත්දැකීම් බෙදා හදා ගැනීම තුළ මට ලොකු අභ්‍යාසයකුත් තිබෙනවා. අපේ ඊළඟ පරපුර අපට වටිනවා. ඔවුන්ට ක්ෂේත්‍රය තුළ පාලමක් හදලා දෙන එකත් අපේ යුතුකම සහ වගකීමක් කියන එකයි මගේ විශ්වාසය.


ශ්‍රී ලංකාවේ වර්තමාන වේදිකා නාට්‍යය අනාගතය ගැන ඔබේ අදහස?


මම හිතන්නේ කවදාවත් වේදිකා නාට්‍යය කලාව අඩපණ වෙන්නේ නැහැ. කොරෝනා වසංගත කාලයේ යම් පමණකට වේදිකා නාට්‍යය අඩු වුණත් ඊට පසුකාලීනව තාරුණ්‍ය විසින් ශක්තිමත්ව වේදිකා නාට්‍යය කලාව ඉදිරියට ගෙන එනු ලැබුවා. පසුගිය දවස්වල රාජ්‍යය ළමා නාට්‍ය උළෙල පැවැත්වුණා. එහිදී ඉතාමත් විශිෂ්ට වූ ළමා නළුවෝ අපට මුණගැහුණා. තව නොබෝ දිනකින් වේදිකාවේ රාජ්‍ය නාට්‍ය උළෙලක් පැවැත්වෙනවා. එයටත් තරුණයෝ අලුත් අලුත් නාට්‍ය නිර්මාණය කරනවා. මේ දේවල් ඔවුන්ට හොඳ ශක්තියක්, හොඳ අත්වැලක් ඉදිරියට එන්න. අලුත් පරම්පරාවක් හැදෙනවා සහ විවිධ


අය එකතු වෙනවා. මමත් වසර ගණනාවක් රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයා විධියට වැඩකටයුතු කළා. ඒ වැඩකටයුතු කරන කාලයේ තමයි මම රාජ්‍ය නාට්‍යය උළෙලේ ත්‍යාග මුදල් වැඩි කළේ. එය මගේ කාලයේ කළ හොඳ අවස්ථාවක්. සමහර අය දන්නේ නැහැ මේ ගැන. නමුත් අපට හිතුණා අනාගතයේදී දරුවන් එයින් ප්‍රයෝජනයක් ගනියි කියා. ඒ කාලයේම අපි ‘නාට්‍ය කීර්ති’ කියල සම්මානයකුත් හැදුවා. ඒ කියන්නේ නාට්‍ය කලාව වෙනුවෙන් මහන්සි වූ ප්‍රවීණයන් අගයන්න ඕනෑ. සැලකුම් ලබන්නට ඕනෑ. ඒ නිසා මුදල් ත්‍යාගයක් සමඟ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන සුවිශේෂී ත්‍යාගයක් ඒ කලාකරුවන්ට ලබා දෙන්න අප සැලසුම් කළා. මේ පෝෂණීය අත්දැකීම් ඔස්සේ වේදිකා නාට්‍යය කලාව බිඳ වැටෙන්නේ නෑ


කියන විශ්වාසය නම් මට තිබෙනවා. සමහර වෙලාවට මට හිතෙනවා විහිළු සපයන නාට්‍යයන් ටිකක් වැඩි දෝ කියා. නමුත් ප්‍රේක්ෂකාගාරය එයත් භාරගන්නට එකඟ වෙලා තිබෙනවා. අපේ කාලයේ අපි කළේ සර්වකාලීන නාට්‍යයනේ.දැන් පවතින දේශපාලන යාන්ත්‍රණය තුළ තිබෙන විකට ස්වභාවය ඔවුන් වේදිකාවට ගෙන එනවා. ඒක කොයිතරම් දුරට පවත්වා ගැනීමට හැකිදැයි කියන දේ තමයි ගැටලුව. ඒ දේශපාලනඥයා විශ්‍රාම ගියාට පසු ඔහු ගැන කතා කර තේරුමක් නැහැ. ඒ නිසා මම කියන්නේ නාට්‍යයක් තුළ සර්වකාලීන ගුණය තිබිය යුතුයි. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය හරි ශක්තිමත්. 1956 නොවැම්බර් මාසේ හතර වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පෙන්නපු මනමේ නාට්‍යය තවමත් මිනිස්සු බලනවා.


එදා සහ අද රට තුළ විවිධ කලා ක්ෂේත්‍රයන්හි සිදුවී ඇති වෙනස්කම් ඔබ දකින්නේ කෙසේද?


 ‘කඩවුණු පොරොන්දුවෙන්’ පටන්ගත් අපේ සිනමාව ‘රේඛාවෙන්’ වැඩිවියට පත්වෙනවා. විවිධ අධ්‍යක්ෂවරු එය පරිස්සමින් ඉදිරියට ගෙනගියා. පහළින් පටන් අරගෙන ඉහළට ගෙන ගියා. නමුත් ටෙලි නාට්‍ය කලාව ඊට වඩා වෙනස් වූ හැඩයක් ගන්නවා. ඉහළින් පටන් ගත් ටෙලි නාට්‍ය කලාව පහළට ඇවිත් වගේ පෙනෙනවා. කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව, යශෝරාවය, දඬුබස්නාමානය වගේ ඉහළ තැනකින් පටන්ගෙන අද පොඩ්ඩක් පහළට ආවාදෝයි


වගේ දැනෙනවා. ටෙලි නාට්‍ය කලාව පරිස්සමින් විච්ඡේදනය කර බලන කොට එය අපට දැනෙන්න පටන් ගන්නවා. චිත්‍රපට කලාවේ නම් මේ දවස්වල විවිධ ශානරයන් ඔස්සේ යන චිත්‍රපට පෙනෙනවා. ‘ගිනි අවි සහ ගිනිකෙළි’ ටිකක් ත්‍රාසජනක අත්දැකීම් ලැබිය හැකි චිත්‍රපටයක්. පාස්පෝට් වගේ චිත්‍රපටයක් නව තාරුණ්‍යයේ ඛේදවාචක ගැන කතා කරන චිත්‍රපටයක්. සිහින නෙළුම් මල්, කම්බිලි ආදී විවිධ ශානරයන්ගේ චිත්‍රපට පෙනෙනවා. ඒ වගේම නව අධ්‍යක්ෂවරු සිනමාවට ප්‍රවිෂ්ට වන බවක් පෙනෙනවා. ඒක හොඳ ගුණාංගයක්.


එදා මෙදා තුර විවිධාකාර චරිත හමුවේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඔබ වර්තමානයේ නව පරම්පරාවේ කලාකරුවන් එකම ආකාරයේ චරිතයන්ට කොටුවීම දකින්නේ කෙසේද?


නළුවා කටුස්සෙකි කියලා එක්කෙනෙක් කිව්වා. ඒ කියන්නේ එක එක විධියට පාට වෙනස් කරගත හැකි, විවිධ චරිත නිරූපණයට හැකි හැඩයකින් යුක්ත වෙන්න ඕනෑ. තවත් අයකු කීවා නළුවා උකුස්සෙක් කියා. ඒ කියන්නේ චරිතය ඩැහැගැනීමේ ගුණය තිබෙන්න ඕනෑ. මේ ඔක්කොම අතරේ පිටපත ශක්තිමත් වෙන්න ඕනෑ. එවිට නළුවාට තම කාර්යභාරය මැනවින් ඉටු කිරීමට හැකි වපසරියක් ගොඩනැඟෙනවා. නළුවෙක් එක චරිතයක් හොඳට කළාම ඔවුන්ව ඒ ආකාරයේම චරිතවලට ගන්නවා. පලිඟු මැණිකේ ටෙලනාට්‍යයේ සූරසේනට රඟපෑවම මාව ඒ් වගේම චරිතවලට කොටු කරගන්න


හදනකොට මම දඬුබස්නාමානයේ ආරච්චිට රඟපෑවා. නළුවන්ට එහෙම විවිධාකාර හැඩයන්ගෙ චරිත නිරූපණයට අවස්ථාව තිබෙන්න ඕනෑ. නමුත් පිටපත්වල තිබෙන ඌනතාව නිසා එකම චරිතය රඟපාපු නළුවෝ යුගයක් ඉවර වෙනකල්ම ඒ චරිතයම රඟපානවා. පිටපත් රචකයන්ගේ අඩුවකුත් දැනට අපට පෙනෙනවා. විවිධාකාර චරිත රඟපාන්න ලැබෙන එක නළුවකුගේ වාසනාවක්. මම රඟපාන්න ආදරෙයි වගේම කෑදරයි. අලුත් පරපුරට තව වෙනස්කම් වූ චරිතයන් රඟපෑමට අවස්ථාව ලැබෙනවා නම් මම කැමැතියි.


ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත්?


දැනට මම සමාජ කාර්යයන්වල යෙදෙනවා. කලාකරුවන් සඳහා රෝද පුටු ව්‍යාපෘතියක් කරනවා. නොමිලේ රෝද පුටු ලබාදෙනවා. එය මගේ පින් පොතට එකතු වන්නා වූ කාරණාවක්. මම මගේ ආයතනයේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දරුවෝ වෙනුවෙන් නාට්‍ය උත්සවයක් පවත්වනවා. ඒ වගේ සත්කාරමය කාරණා ටිකකුත් අප කරනවා. එය නිහඬව කරන්නේ. මොකද අපි නිහඬව යමක් කළොත් අපට කවදාහරි යහපත් නිදහස් ඍජු කශේරුකා සහිත මිනිසෙක් විධියට මියැදෙන්න පුළුවන්. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව.


රුවිනි අමරකෝන්



Previous Post Next Post