ආදරයට අවධානය දෙන්න වෙලාවක් නැහැ- ෂයිනි

 


ටී.වී. දෙරණ නාලිකාවෙ විකාශයවන සංගීතේ ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයො අතරට ගිය ෂයිනි නෙත්තිකුමාර රඟපාන අලුත්ම ටෙලිනාට්‍යය තමයි හිරිපොද වැස්ස කියන්නෙ. ඉතින් ෂයිනිගේ රංගන ජීවිතයේ අලුත්ම පියවර ඇයත් එක්ක කතා කරන්න අපි හිතුවා.




හිරිපොද වැස්ස එක්ක කොහොමද වැඩකටයුතු ?




තරුණ හදවත්වල ගැස්ම ගැන කියන ලස්සන ටෙලිනාට්‍යයක් තමයි හිරිපොද වැස්ස කියන්නෙ. ⁣ඒ නිසා මේ දවස්වල ගොඩක් ආසාවෙන් හිරිපොද වැස්ස එක කාලෙ ගෙවනවා.


සංගීතේ සීසන් 2 වල ෂයිනිව දකින්න නැද්ද ?




මම රඟපාපු ටෙලිනාට්‍යය අතරින් ප්‍රේක්ෂකයො මාව වැඩිපුර අඳුරගත්තෙ ටී.වී.දෙරණ නාළිකාවෙ විකාශය වුණ සංගීතේ ටෙලිනාට්‍ය සීසන් 01 නිසා. සංගීතේ කියන්නෙ ඇත්තටම පවුලක්. ඉතින් මොනම හේතුවක් නිසා මට සංගීතේ දාලා යන්න අදහසක් නැහැ. ඒ නිසා සංගීතේ සීසන් 02 වලිනුත් මම ප්‍රේක්ෂකයො අතරට එනවා.




අහිංසක චරිතවලට විතරක් කොටුවෙලාද ?




මට විශ්වාසයක් තියනවා වෙනත් විදිහෙ චරිත කරන්න මට හැකියාවක් තියනවා කියලා. ඒත් මට වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ අහිංසක දඟකාර චරිතවලින්.





සැබෑ ජීවිතයේදි මොනවගේද ?




ටී.වී. දෙරණ නාළිකාවෙ විකාශයවන සංගීතේ ටෙලිනාට්‍යයේ රඟපාන සකුනිගේ චරිතය වගේ තමයි මගේ සැබෑ ජීවිතය. සීරියස් ඉන්නෙ බොහොම අඩුවෙන්. නිතරම විහිළුවක් කරලා සතුටෙන් හිනවාවෙලා ඉන්න කෙනෙක් මම.




පහුගිය දවස්වල සම්මානයක් හම්බවුණා නේද?




ඔව්. 2023 රයිගම් ටෙලි සම්මාන උළෙලේ නැගී එන නිළියට හිමි සම්මානය මීට මාස කීපයකට පෙර මට ලැබුණා. 4චූන් ටෙලිනාට්‍යයේ වගේම නොනිමි ටෙලිනාට්‍යයේ මම කරපු රංගනයන් වෙනුවෙන් තමයි මට මේ සම්මානය ලැබුණෙ. ඉතින් ඇත්තටම ඒ ගැන කියාගන්න බැරි ගොඩක් ලොකු සතුටක් තියනවා.


කෙටි කාලයකින් සම්මානනීය නිළියක් වුණ අත්දැකීම මොනවගේද ?




දැන්ම සම්මානයකට හිමිකම් කියන්න ලැබෙයි කියලා මම බලන්න වුණේ නැහැ. හැබැයි අහම්බෙන් හරි හැකියාව නිසා මට ඒ අවස්ථාව ලැබුණා. දැන් සම්මානය හම්බවෙලා ටික කාලයක් වුණත් තාම මම හැමදාම සම්මානය ළඟට ගිහින් ඒ අවස්ථාව ගැන හිතලා සතුටු වෙනවා.




දැන් ෂයිනි කලාව ගැන තියන බලාපොරොත්තු මොනවද ?




රංගන හැකියාව තව වැඩිදියුණු කරගෙන චරිතාංග නිළියක් විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට යන එක තමයි මගේ බලාපොරොත්තුව.


ඒ කියන්නෙ රංගනය වෘත්තීය කරගන්නවා..




ගුරු වෘත්තීයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් මම අධ්‍යාපනය හැදෑරුවා. ඒත් රංගනයෙන් මට පැවැත්මක් තියනවා කියලා අඳුරගත්ත නිසා ගුරුවෘත්තිය පැත්තකින් තියලා රංගනයට මුල් තැන දුන්නා.




දැන් ප්‍රසිද්ධ නිසා ආදර යෝජනා එනවා ඇති ?




පිරිමි ළමයින්ගෙන් ආදර යෝජනා නම් ඕන තරම් එනවා. හැබැයි මේ වෙලාවෙ මම වැඩිපුර හිතන්නෙ කලාව ගැන විතරයි. ඒ නිසා ආදර යෝජනාවලට වැඩි අවදානයක් දෙන්නෙ නැහැ.





ලස්සනට ඉන්න මොනවද කරන්නෙ ?




මම ඇඟ ගැන විශේෂයෙන් හිතනවා. ජිම් ගිහින් ව්‍යායාම කරනවා වගේම කෑම පාලනය කරනවා. ඇඟ ගැන හිතලා මහන්සි වෙන නිසා ගොඩක් දෙනෙක්ගෙන් ලස්සනයි කියලා ප්‍රතිචාර ලැබෙනවා.




වැඩිපුර විලාසිතා කරන්න කැමැති මොන විදිහටද ?




මම සාමාන්‍යයෙන් තැනට ගැළපෙන විදිහට විලාසිතා කරනවා. ආගමික ස්ථාන සහ විශේෂිත තැන්වලදී දිග ඇඳුනුත් විවේකීව ගතකරන සාමාන්‍ය තැන්වලදි සැහැල්ලු කොට ඇඳුනුත් අඳිනවා. කොට ඇඳුම් කියන්නෙ ලස්සන විලාසිතාවක්. ඇඟ ලස්සන නම් කොටට ඇන්ඳට වරදක් නැහැ.





Previous Post Next Post