මගේ නම අමතක වෙන තරමටම කට්ටිය නිම්නාවිට ආදරෙයි-පියුමාලි එදිරිසිංහ




පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ අහිංසක නිම්නාවි කියූ සැණින් ඔබට ඇයව මතකයට නැඟෙනවා ඇති. රංගනයෙන් දායක වූ මුල්ම ටෙලි නාට්‍යයෙන්ම ප්‍රේක්ෂක හද තුළ ලැගුම් ගත් ඇය නවක සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් මෙවර මේ අපූරු කතාබහ එක් කළේ පියුමාලි එදිරිසිංහ. පසුගිය දින Popular Awards (පොපියුලර් අවෝඩ්ස්) සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම නැඟී එන නිළියට හිමි සම්මානය ඔබට හිමි වූ අවස්ථාවේ දැනුණු හැඟීම විස්තර කරමු?


ඇත්තටම මම ඒ සම්මානය නිහතමානීව භාරගන්නවා. මොකද කෙටි කාලයක් ඇතුළත තමයි මට ප්‍රේක්ෂකයෝ ආදරය කරන්න ගත්තේ. ඉතින් ඒ ආදරය නිසානේ මට ඒ අවෝර්ඩ් එක ලැබුණේ. එදා ගොඩාක් සතුටු දවසක් මට. ඒක හිතාගන්නත් බැරි වුණා.


පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ නිම්නාවිගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කතා කරමු?


ඇත්තටම නිම්නාවි කියන චරිතයට බොහෝ දෙනකු  ආදරය කරනවා. මගේ නම අමතක වන තරමටම නිම්නාවි කියන චරිතයට ආදරය ලැබෙනවා. මගේ නම කියනවට වඩා ගොඩක් අය මට කතා කරන්නේ නිම්නාවි කියලා. ඒ ගැන මට හරිම සතුටුයි.


පසුගිය දිනකදී රිලීස් වූ ‘අවාරේ’ ගීතයේ විෂුවල් එකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ කොහොමද?


ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ මියුසික් වීඩියෝ එකේ ඩිරෙක්ටර් දිනි¾දු හරහා තමයි. ඒ සඳහා මාව තෝරගෙන තිබෙන්නේ අංජලී හේරත්. පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට වගේම මියුසික් වීඩියෝ එකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මට ඒ අවස්ථාව ලබා දුන් සියලු දෙනාටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.


ඔබ ඔබේ රංගන කුසලතා වැඩිදියුණු කරගැනීමට විශේෂ ක්‍රම අනුගමනය කරනවාද?


මම පාසල් කාලයේ ඩාන්සින්, මීඩියා, සිංහල කියන සබ්ජෙක්ට් තුන හදාරලා තිබෙනවා. කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න කලින්  රංගනය හදාරලා තිබුණේ නැහැ. නමුත් දැන් මගේ රංග පාසල වෙලා තිබෙන්නේ පාට කුරුල්ලෝ. මොකද එහිදී මට වැඩකටයුතු කරන්න ලැබුණේ සීනියර් ආර්ටිස්ට්ලා බොහොමයක් එක්ක තමයි. පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ ඩිරෙක්ටර් සිවගුරුනාදන් සර් රංගනය සම්බන්ධ මගේ අඩුපාඩු සියලුම දේ මට කියාදෙනවා. මගේ සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන්


ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ  කුසල් මධුරංග අයියා සහ සජිත ඇන්තනී අයියා. මගේ පුංචි තිරයේ ප්‍රේමවන්තයා විධියට එහි ඉන්නේ සජිත අයියනේ. ඇත්තටම ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. පාට කුරුල්ලෝ කියන්නේ මගේ පළමුවැනි ටෙලි නාට්‍යය. මගේ රංගන කුසලතා තවත් වැඩිදියුණු කරගන්න මම උත්සාහ කරනවා. ඉතින් පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය හරහා ලැබෙන අත්දැකීම් එක්ක තමයි මම ඉස්සරහට යන්නේ.


වෙළෙඳ දැන්වීම්වලට රංගන දායකත්වය ලබා දෙමින් සිටි ඔබට ටෙලි නාට්‍යයකට රංගන දායකත්වය ලබාදීමේදී දැනුණ වෙනස ගැන කතා කරමු?


ලොකු වෙනසක් තිබෙනවා. වෙළෙඳ දැන්වීම් ෆීල්ඩ් එකයි, ටෙලි නාට්‍ය ෆිල්ඩ් එකයි ඇත්තටම හාත්පසින්ම වෙනස්. ටෙලි නාට්‍යයකදී දෙබස් කියාගෙන ඒවාට රියැක්ට් කරගෙන තව ආර්ටිස්ට් කෙනෙක් එක්ක තමයි රංගන කටයුතු කරන්නේ. නමුත් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් හදන්නේ තත්පර ගාණකටනෙ. අපේ ඇක්ෂන් එක හරියටම එනතුරු වෙළෙඳ දැන්වීම් තුළ ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ටෙලි නාට්‍යය තුළ එය හාත්පසින්ම වෙනස්. මොකද අපි කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මට පළමුවැනි දවසෙම ටෙලි ඩ්‍රාමා එකේදී ලොකු අභියෝගයක් තිබුණා. නමුත් දැන් ටික ටික හදාගෙන ඉදිරියට යනවා.


ඔබ චරිත තෝරා බේරා ගැනීමේදී ඔබම පනවා ගනු ලැබූ සීමා තිබෙනවාද?


චරිතයක් ලැබෙද්දී අපට ස්ක්‍රිප්ට් එකක් ලැබෙනවා. ඒක කියවලා බලලා තමයි මට කරන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ. මම මේ චරිතය විතරමයි කරන්නේ කියලා එහෙම රූල්ස් මම දාගෙන නැහැ. ස්ක්‍රිප්ට් එක කියවල බලල තමයි තීරණය කරන්නේ.


ඔබ ඉන්දියාවේ දමිළ මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණා. ලැබුණු අත්දැකීම් ගැන කතා කරමු?


ඒ අත්දැකීම ගැන නම් මතක් කරන්නම ඕනේ. මම පළමුවැනි වරට තමයි රටින් පිට වැඩකටයුත්තකට සම්බන්ධ වුණේ. ඒකත් ලොකු අභියෝගයක්. මොකද අපි සිංහල භාෂාව එක්කනේ ගොඩක් වැඩ කටයුතු කරන්නේ. ඉතින් භාෂාව සම්බන්ධ අභියෝග තිබුණා. ලොකු පිරිසක් එක්ක තමයි  මම වැඩ කළේ. ඒ හැමෝමත් හරිම මිත්‍රශීලියි.


ඉදිරියේදී විදේශගත වීමට බලාපොරොත්තුවක් තිබෙනවා කියලා ආරංචියි?


 ඇත්තටම දැනට මම ලංකාවේ ඉන්නවා. මම විදෙස්ගත වෙන්න තමයි හිටියේ. ඒ අතරතුර තමයි මම පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට  දායක වුණේ. නමුත් දැනට අවුරුදු කීපයක් ඉදිරියට මම ලංකාවේ තමයි ඉන්නේ. විදේශගත වෙන්න බලාපොරොත්තුවකුත් තිබෙනවා. නමුත් මම කිසිම වෙලාවක වැඩක් කරද්දී අතරමඟ දාලා යන්නේ නැහැ. මම ජනප්‍රියත්වය පසුපසම යන්නේ නැහැ. ප්‍රසිද්ධිය කියන දේ දවසින් දවස වෙනස් වෙනවා. මම කරන වැඩේ හරි සාධාරණව කරලා මට සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් නම් මම හරිම කැමතියි. එහෙම තමයි මම මගේ ජීවිතය ප්ලෑන් කරගෙන යන්නේ.


රංගන ක්ෂේත්‍රයට අමතරව ඔබ ව්‍යාපාරිකාවක්ද?


ඔව් ඇත්තටම මගේ බිස්නස් එකක් තිබෙනවා. මම කරන්නෙ ඡපඪඤඥත ඤපඥඵඵඥඵ තමයි. ඉතින් දැනට මම  බිස්නස් එකක් කරගෙන යනවා. රංගන ජීවිතය වගේම ව්‍යාපාර කටයුතුත් ඉදිරියට දියුණු කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.


ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


දැනට මම පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයත් සමඟ හරිම කාර්ය බහුලයි. ඊට අමතරව සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියට ඒවායේ රූගත කිරීම් කරගෙන යන්න තමයි ප්ලෑන් එක තිබෙන්නේ. මම හරිම ආසයි වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට. මාව බොහෝ දෙනකු හ¾දුනා ගත්තේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයෙන්. ඉතින් මම ගොඩනැඟුණේ එතැනින් තමයි.


රුවිනි අමරකෝන්



Previous Post Next Post